ගබ්සාව සාපරාධී වරදක් නොවන බවට නවසීලන්ත පාර්ලිමේන්තුවට යෝජනාවක්

Image caption අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන්

ගබ්සා කිරීම සාපරාධී වරදක් නොවන බව ප්‍රකාශයට පත් කිරීම සඳහා නවසීලන්ත රජය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව අනුව පිළිසිඳ ගැනීමෙන් සති 20ක දක්වා කාලයක් තුළ ගබ්සා කිරීමකට යොමු වනවා ද යන්න තීරණය කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

1977 වසරේ සිට බලාත්මක එරට ගබ්සා කිරීම් නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතෙහි අඩංගු කරුණු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ප්‍රමුඛ රජය විසින් නිකුත් කරනු ලැබීය.

එහි පවතින වත්මන් නීතිය අනුව ගබ්සා කිරීමකට අනුමැතිය ලැබෙනුයේ අදාළ පිළිසිඳ ගැනීම නිසා ගර්භණී කාන්තාවගේ මානසික හෝ ශාරීරික සෞඛ්‍යය අනතුරුදායක වැටෙනු ඇති බවට වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් සහතික කරනු ලැබුවහොත් පමණි.

අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පැවසුවේ, පනත පිළිබඳව "රහස්‍ය" ඡන්ද විමසීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බවය.

නව නීති කෙටුම්පත පළමු වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනුයේ, අගෝස්තු 08 වෙනිදාය.

පනත් කෙටුම්පතේ ඇතුළත් කරුණු මොනවා ද?

අදාළ යෝජනාව සම්මත වුවහොත්, පිළිසිඳ ගැනීමෙන් සති 20ක දක්වා කාලය තුළ කාන්තාවකගේ මානසික හෝ ශාරීරික යහපැවැත්ම සම්බන්ධයෙන් වෛද්‍ය නිර්දේශ අවශ්‍ය නොවේ.

කාන්තාවන්ට ගබ්සා කිරීමේ සේවා සපයන ආයතනයක් සමග සම්බන්ධ වී උපදේශන සේවා ලබා ගත හැකි වනු ඇත.

ගර්භණීභාවයෙන් සති 20 කට පසු, ගබ්සාව සම්බන්ධයෙන් සේවා සපයන්නා අදාළ කාන්තාවගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය ඉදිරියට යාම සඳහා ප්‍රමාණවත් යැයි "හේතු සහිතව විශ්වාස කළ යුතුය."

ගබ්සාවට එරෙහි විරෝධතාකරුවන්ගෙන් විය හැකි තර්ජනවලින් මිදීම සඳහා ගබ්සා සේවා සපයන ආයතන ආශ්‍රිතව ආරක්ෂිත කලාප පිහිටුවීමට ද මෙම නීතිය මගින් අවසර ලැබේ.

"මේ වෙනස ඇති කරන්න දැන් කාලය හරි," නවසීලන්ත අධිකරණ අමාත්‍ය ඇන්ඩෲ ලිට්ල් පැවසීය.

"ආරක්ෂිත ගබ්සාව සෞඛ්‍යමය කාරණයක් ලෙස සැලකීමත් නියාමනය කිරීමත් කළ යුතුයි. තමන්ගේ ශරීරයට කුමක් සිදු විය යුතු ද යන්න තීරණය කිරීමට කාන්තාවන්ට අයිතියක් තිබිය යුතුයි," ඔහු සඳහන් කළේය.

නවසීලන්ත පවුල් සැලසුම් ආයතනය පවසන පරිදි පවතින නීතිය අනුව ගබ්සාවක් සිදු කළ හැකි උපරිම කාල සීමාවක් නොමැත. එහෙත්, සති 20කින් පසු ගබ්සා කිරීම දුර්ලභය.

Image copyright Getty Images
Image caption නවසීලන්ත අධිකරණ අමාත්‍ය ඇන්ඩෲ ලිට්ල්

ප්‍රතිචාර

ගබ්සා හිමිකම් පිළිබඳ පෙනී සිටින කණ්ඩායමක් වන අල්රාන්ස් ආයතනය පවසන්නේ, පවතින තත්ත්වයට වඩා යෝජිත නීතිය යහපත් බවය. එහෙත්, එම ආයතනයේ සභාපති ටෙරී බෙලාමැක් යෝජනා කරනුයේ, සති 20ක කාල සීමාව වැඩි කළ යුතු බවය.

"ස්කෑන් කිරීම් සිද්ධ වෙන්නේ සති 20ක කාලයක් තුළදීයි. ඒ නිසා තීරණයක් ගන්න ලැබෙන කාලය මදි," ඇය පැවසීය.

නවසීලන්ත ගබ්සා නීතිය ගර්භණී කාන්තාවන්ගේ මානව හිමිකම් නොසලකා හැර ඇති බවට අල්රාන්ස් ආයතනය මීට පෙර මැසිවිලි නගා තිබිණි.

ගබ්සා විරෝධී කණ්ඩායමක් වන වොයිස් ෆෝ ලයිෆ් ආයතනය පවසන්නේ, අදාළ පනත "අතිශයින් ම හානිකර" එකක් වන අතර ආර්ඩන්ගේ රජයට එවැන්නක් හඳුන්වා දීම සඳහා මහජන වරමක් නොමැති බවය.

නව පනත "කාන්තාවන්ගේ සෞඛ්‍යයට හානිදායක" බව වොයිස් ෆෝ ලයිෆ්හි කේට් කෝමැක් රේඩියෝ නිව්සීලන්ඩ් සමග පවසා තිබිණි.

පනත සම්මත වෙයි ද?

ජසින්ඩා ආර්ඩන් නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූයේ 2017 වසරේදීය. ඇය තමන් නියෝජනය කරන කම්කරු පක්ෂය සහ ජාතිකවාදී නිව්සීලන්ඩ් ෆස්ට් යන පක්ෂ සමග සන්ධාන ගත වූයේ හරිත (Green) පක්ෂයේ ද සහාය ඇතිවය.

එහෙත්, මෙම පනත සම්බන්ධයෙන් සන්ධානයේ පක්ෂ අතර එකඟත්වයක් නොමැත.

මෙම නීතිය පාර්ලිමේන්තුවේදී සලකා බැලෙනු ඇත්තේ, "හෘද සාක්ෂිය" පිළිබඳ කරුණක් ලෙසය. ඒ අනුව, මන්ත්‍රීවරුන්ට පක්ෂ මතවාද ඔස්සේ ඡන්දය දීමට හැකි නොවනු ඇත.

තවදුරටත් කියවන්න.