ශ්‍රී ලංකාවේ වසරක සර්ප දෂ්ටකිරීම් අසූ දාහක්!

Image caption විෂ සහිත සර්පයකු වන නාගරාජයෙක්(king cobra)

සර්පයන් දෂ්ට කිරීමෙන් ලොව පුරා සිදුවෙන මරණ අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තාවන රටක් ලෙස ශ්‍රී ලංකාවත් නම් කරනු ලැබ ඇත.

සර්පයන් දෂ්ට කරනු ලැබීම දකුණු ආසියාවේ සුලභව වාර්තා වෙන ආපදාවකි.

ලොව පුරා මාරක සර්ප දෂ්ට කිරීම් සම්බන්ධයෙන් ලැබෙන වාර්තාවලින් 70% ක්ම සිදුවන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ පාකිස්තානයේ බව සර්ප ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරුණ සමීක්ෂණවලින් හෙළි වී ඇත.

දැනට ලැබී ඇති සංඛ්‍යාලේඛන අනුව වසරකට ලොව පුරා සර්ප දෂ්ට කිරීම් පනස් ලක්‍ෂයක් පමණ වාර්තා වන අතර එමගින් සිදුවන මරණ සංඛ්‍යාව 138,000 ක් පමණ වෙයි.

ඊට අමතරව සර්ප විෂට ගොදුරුවූවන්ගේ අත් පා කපා ඉවත් කිරීම් සහ ජීවිත කාලය පුරා ආබාධිත තත්ත්වයන්ට පත්වීම් හාර ලක්‍ෂයක් පමණ වාර්තා වෙයි.

බොහෝ මිනිසුන් සර්පයන් සිය සතුරන් ලෙස සලකන්නේ කුමක් නිසාද යන ගැටළුව මෙහිදී පැන නගියි.

එහෙත් සර්පයා මිනිසාගේ සතුරකු නොව, මිනිස් වර්ගයා වෙනුවෙන් ප්‍රයෝජනවත් කාර්යභාරයක් ඉටු කරන ජීවියකු ලෙස සැලකිය යුතුව ඇතැයි ජෛව විද්‍යා විශේෂඥයෝ පෙන්වා දෙති.

එම විද්‍යාඥයන් එසේ ප්‍රකාශ කරන්නේ, සර්පයන් පරිසරය පවත්වා ගැනීම අතින් දක්වන දායකත්වය සැලකිල්ලට ගැනීමෙනි.

උරග සහ උභයජීවීන් පිළිබඳ විද්‍යාඥයන්ට අනුව, දැනට ලෝකය පුරා හඳුනා ගනු ලැබ ඇති පන්දහසක් පමණ වූ සර්ප විශේෂ අතරින් විෂ සහිත වන්නේ ඉන් 15% ක් පමණි.

ඇදහිලි

Image copyright RSS
Image caption සර්ප (නාග) වන්දනාවේ යෙදෙන නේපාල හින්දු බැතිමතුන්

නේපාලයේ හින්දු සහ බෞද්ධ ජනතාව සර්ප වන්දනාවේ නිරත වන බව බීබීසී නේපාල සේවය වාර්තා කරයි.

විෂ්ණු දෙවියන් 'සේෂනාග' (Seshanaga) යනුවෙන් හඳුන්වා ඇති යෝධ සර්පයකු මත වැතිර සිටි බව හින්දු දේව පුරාණයේ දැක්වෙයි.

ඒ අතර ශිව දෙවියෝ සිය ගෙළෙහි සර්පයන් සහ අලංකාර ආභරණ ආයිත්තම් පළඳිති යැයි ද විශ්වාසයක් පවතී.

හින්දු බැතිමත්හු සර්පයන් මානව වර්ගයාගේ මිතුරන් ලෙස සලකන අතර වාර්ෂික 'නාග් පන්චමී' උත්සව දවසේ සර්ප වන්දනාවේ නිරත වෙති.

නවීන විද්‍යාව

ආහාර චක්‍රය අඛණ්ඩව පවත්වා ගැනීමට දායක වෙමින් සර්පයන් අපේ පරිසරයට වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේය යන්න නවීන විද්‍යාඥයන්ගේ අදහස වෙයි.

වසර හතලිස් දෙකක කාලයක් සර්පයන් සම්බන්ධයෙන් හැදෑරීමක යෙදුන නේපාල ජාතික සත්ව විද්‍යාඥයකු වන කරන් බහදුර් ෂා (Karan Bahadur Shah) පවසන පරිදි මීයන් ,ලේනුන් සහ මැඩියන් වැනි සත්ව වර්ග සහ කෘමීන් සර්පයන් විසින් වැඩි වශයෙන් ගොදුරු කර ගනු ලබන ආහාර වෙති.

"මීයන් ජෝඩුවකට අවුරුද්දකට සිය ගණනක් පැටවුන් බෝ කරන්න පුළුවන්. සර්පයන් ගොදුරු හොයාගෙන මීගුල්වලට රිංගනවා. සර්පයන් නැතනම් මීයන් පාලනය කර ගන්න බැරි තත්ත්වයකුයි උදා වෙන්නේ" කරන් බහදුර් ෂා පවසයි.

මිනිස් පරිභෝජනයට අවශ්‍ය ධාන්‍ය සහ ඇටවර්ග විශාල ප්‍රමාණයක් මීයන් විසින් විනාශ කරනු ලබන බවත් නේපාල ජාතික සත්ව විද්‍යාඥයා පෙන්වා දෙයි.

පිඹුරන් වැනි විශාල සර්පයන්ට එකවර මුවකු තරම් විශාල ගොදුරක් වුවද ගිල දැමිය හැකිය.

කරන් බහදුර් ෂා (Karan Bahadur Shah) පවසන ආකාරයට විශාල නාගයන්ගේ (King Cobra) ප්‍රධාන ගොදුරු වන්නේ සර්පයන්මය.

මේ අතර මොණරුන්, බකමූණන්, ගුරුළන් ඇතුළු විවිධ පක්ෂීන් මෙන්ම කැලෑ බළලුන් සහ නරින් සර්පයන් ඔවුන්ගේ ආහාරයට ගනිති.

ශ්‍රී ලංකාවේ සර්පයන්

Image caption පරීක්ෂණ සඳහා සර්ප විෂ ලබා ගැනීමක්

ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ 105 ක් හඳුනා ගෙන ඇතැයි උරග හා උභයජීවී විශේෂඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ පවසයි.

"ශ්‍රී ලංකාවේ සර්පයන් අතරින් මාරක විෂ සහිත විශේෂ විසිතුනක් හඳුනා ගනු ලැබ තියෙනවා. එයින් වර්ග පහළොවක් ජීවත්වන්නේ මුහුදේ. ගොඩබිම දී මාරාන්තික විෂ සහිත සර්ප විශේෂ අටක් හමුවෙනවා. කුනකටුවා ගොඩබිම වෙසෙන මාරාන්තික සර්ප විශේෂයක්. නාගයා, තිත් පොළඟා, වැලි පොළඟා සහ කරවලා වැනි ජීවීන් විෂ සහිත සර්පයන්. දෙපත් කළුවා විෂද නැද්ද යන්න සැක සහිතයි" මෙන්ඩිස් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය කළ විමසීමක දී විස්තර කළේය.

මුහුදු නයි සහ වාලක්කඩි (sea snakes) දැල්වල පැටලීමෙන් ඇතැම්විට ධීවරයන්ට හමුවෙන නමුත්, එම සතුන් බොහෝ වෙලාවක් දැල් සපාකෑම නිසා ධීවරයා සමඟ ගැටෙන විට විෂ අඩුවී ඇති හෙයින් විශාල තර්ජනයක් නොමැති බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ මඳ විෂ සර්පයන් අතරට කුනකටු වර්ග තුනක් සහ පලා පොළඟ වර්ගයක් ඇතුල්වෙන බව පවසන උරග හා උභයජීවී විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ, සුළු විෂ සර්ප විශේෂ දහතුනක් ද සිටින බව සඳහන් කරයි.

ඔහු ශ්‍රී ලංකාවේ සෙසු සියලුම සර්ප විශේෂ 'නිර්විෂ' ගණයට ඇතුළත් කරයි.

ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ අතරින් අඩකටත් අධික සංඛ්‍යාවක් නිර්විෂ 'අහිංසක' ජීවීන් වන බවත් ඔහු පෙන්වා දෙයි.

වසරකට ශ්‍රී ලංකාවෙන් සර්ප දෂ්ට කිරීම් අසූ දහසක් පමණ වාර්තා වෙතත්, එමගින් සිදුවෙන මරණ සංඛ්‍යාව හාර සීයක් තරම් වෙන බවත් උරග හා උභයජීවී විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ සඳහන් කළේය.

මිනිසුන් සඳහා ඖෂධ නිපදවීමට සර්ප විෂ

Image caption මෙන්ඩිස් වික්‍රමසිංහ

සර්ප විෂට ප්‍රතිකාර කිරීම සඳහා පාවිච්චි කරනු ලබන ඖෂධ නිෂ්පාදනය සඳහාත් සර්ප විෂම යොදාගනු ලැබෙයි.

එපමණක් නොව, පිළිකා, පටකවල අසාමාන්‍ය වැඩීම් සහ ගැටිති (Tumours), හෘදරෝග සහ ආඝාතය ආදී තවත් රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට සර්ප විෂ යොදා ගනිමින් නිපදවන ඇතැම් ඖෂධ උපයෝගී කර ගනිති.

'කොබ්රොක්ෂින්' (Cobroxin) නම් වේදනා නාශකයෙහි නාග විෂ ඇතුළත්ය.

ආයුර්වේද සහ හෝමියෝපති වෙදකමේ දී සර්පයන්ගේ විවිධ ඉන්ද්‍රියයන්ගෙන් ලබාගන්නා විෂ පාවිච්චි කරන බව විශේෂඥයෝ පවසති.

ආයුර්වේද වෛද්‍යවරුන් කොලරාවට ප්‍රතිකාර කිරීමේ දී සර්ප විෂ යොදා ගන්නා බව නේපාල ජාතික සත්ව විද්‍යාඥ කරන් බහදුර් ෂා (Karan Bahadur Shah) සඳහන් කරයි.

ඔහුට අනුව සර්ප මේදය, සර්ප චර්මය සහ සර්ප රුධිරය වෛද්‍යමය වටිනාකමක් සහිතය.

කෘමීන්ගෙන් සිය ධාන්‍ය ආරක්‍ෂා කර ගැනීමට පිටිවහලක් ලැබේය යන විශ්වාසයෙන් යුක්ත නේපාල ගොවීහු සර්ප හැව පුළුස්සති.

තවද, සිය ගවයන් ලෙඩ රෝග ආදියෙන් ආරක්ෂා වේය යන බලාපොරොත්තුව ඇතිව ඔවුන් 'සර්ප හැව' (අපි චර්මය) මඩුවක් තුළ දවා ලති.

මේ අතර මහලු වියේ පසුවෙන්නෝ සර්ප හැවෙහි කොටස් පැරණි පෙළපොත් ඇතුලේ තබන්නේ එමගින් ඒවායේ පිටු ආරක්ෂා වේය යන විශ්වාසයෙනි.

"ඉහත කී සිරිත් විද්‍යාත්මක මට්ටමින් තහවුරු වූ ඒවා නොවෙයි.ඒත් එමගින් ප්‍රතිපලයක් ලැබේය කියන දැඩි විශ්වාසයක් මිනිසුන් තුළ තියෙනවා" සර්පයන් සම්බන්ධයෙන් රචිත කෘතියක කතුවරයාද වෙන කරන් බහදුර් ෂා (Karan Bahadur Shah) පවසයි.

නයි නැටවීම

Image copyright Getty Images
Image caption "සර්පයන් මිනිසුන්ගේ මිතුරෝ වෙති" - කරන් බහදුර් ෂා"

'නයි නැටවීම' (snakes charm) ශ්‍රී ලංකාව ද ඇතුළුව දකුණු ආසියාවේ ඇතැම් කලාපයන්හි බොහෝ ප්‍රජාවන් අතර පාරම්පරිකව පැවත එන රැකියාවකි.

සර්පයන් ආරක්ෂා කර ගැනීමේ පියවරක් වශයෙන් නේපාලය නව නීති සම්පාදනය කරමින් 'නයි නැටවීම' තහනම් කරනු ලැබ ඇතත්, එය තවමත් සිදු වෙයි.

නේපාලයේ සර්ප වර්ග 81 ක් හඳුනා ගනු ලැබ ඇතත්, විධිමත් පර්යේෂණයක් සිදුකළොත් එම සංඛ්‍යාව 150 ක් තරම් වැඩි වීමට ඉඩකඩ ඇතැයි කරන් බහදුර් ෂා අනාවැකි පළ කරයි.

මේ අතර ඉන්දියාවෙන් සර්ප විශේෂ තුන්සීයක් (300) පමණ ද ,චීනයෙන් දෙසිය පනහක් පමණ ද වාර්තා වෙයි.

"ඉන්දියාවේ සහ චීනයේ පවතින්නේ සමාන භූ ලක්ෂණ සහ දේශගුණ රටාවක්. පර්යේෂණ සඳහා වැඩිපුර ආයෝජනය කළොත් නේපාලයේ සර්ප විශේෂ සංඛ්‍යාත් තවත් වැඩිවෙන බව මට සහතිකයි" යනුවෙන් කරන් බහදුර් ෂා වැඩිදුරටත් සඳහන් කරයි.

කරන් බහදුර් ෂා පවසන ආකාරයට නේපාලයෙන් වාර්තා වෙන සර්ප විශේෂ 81 න් විෂඝෝර වන්නේ වර්ග 18 ක් පමණි. කරන් බහදුර් ෂා සර්පයන් ගින්නට උපමා කරයි.

Image copyright Getty Images
Image caption දකුණු ආසියානු රටවල ඇතැමුන් 'නයි නැටවීම' ඔවුන්ගේ රැකියාව ලෙස කරගෙන යති

සර්පයන් තමන්ට බාධා කිරීමක් හෝ තර්ජනයකින් තොරව කිසිවකුට දෂ්ට නොකරන බව කරන් බහදුර් ෂාගේ තක්සේරුවයි.

"ලෝකයේ සර්ප වර්ගවලින් විෂ සහිත වන්නේ 15% ක් පමණයි. එම විෂ සහිත සර්පයනුත් විෂ සහ විෂඝෝර කියල කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. එයින් විෂ අඩු සර්පයෙක් දෂ්ට කිරීමකින් වෙන්නේ තුවාලයක් ඉදිමීමක් වීම විතරයි. ඒත් විෂ වැඩි සර්පයෙක් දෂ්ට කළ විටක නියම වෙලාවට ප්‍රතිකාර කළේ නැත්නම්, මරණය පවා සිදුවෙන්න පුළුවන්" කරන් බහදුර් ෂා ජනතාව දැනුවත් කරයි.

සර්පයන් මිනිස් වර්ගයාගේ මිතුරු සත්ව විශේෂයක් බව මිනිසුන්ට අවබෝධ කර දීමට බොහෝ ක්‍රියාකාරකම් ඉටුකළ යුතුව ඇති බව සත්ව විද්‍යාඥ කරන් බහදුර් ෂා සහ සර්ප සංරක්‍ෂණයේ නිරත තවත් ක්‍රියාධාරයෝ කියා සිටිති.

කියවන්න;