අධෝවාත අවුලක් නිසා කෙන්යා කථානායක විවාදයක් කල් තබයි

Image copyright Shutterstock
Image caption "දැඩි දුර්ගන්දයක් පවතින තැනක අපිට ඉන්න බැහැ"

වෙළෙඳ පොළක කඩ කාමර සම්බන්ධයෙන් ප්‍රාදේශීය මන්ත්‍රණ සභාවක් තුළ උණුසුම් විවාදයක් පැවැත්වෙන අතරවාරයේ පිට කරන ලද අධෝවාතයක් හේතුවෙන් එම විවාදය අතරමග අත්හිටවීමේ පුවතක් කෙන්යාවෙන් වාර්තා වෙයි.

විවාදය පැවති 'හොමා බේ' ප්‍රාන්ත මන්ත්‍රණ සභාව තුළ දැඩි දුර්ගන්දයක් හමන්නට පටන් ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් එහි සිටි සාමාජිකයන් එකිනෙකා වෙත ඇඟිල්ල දිගු කර ගත් බව වාර්තාවල දැක්වෙයි.

"ගරු කථානායකතුමනි, අප අතර සිටින එක නියෝජිතයෙක් 'වාතයක්' පිට කර තිබෙනවා. ඔහු කවුද කියළ මම දන්නවා" යයි ජුලියස් ගයා (Julius Gaya)මන්ත්‍රීවරයා සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.

එහෙත් අධෝවාතය පිට කළ බවට චෝදනා එල්ල වූ මන්ත්‍රීවරයා එය ප්‍රතික්ෂේප කරයි.

"ඒ මම නොවෙයි. සෙසු සාමාජිකයන් ඉදිරියේ මට එවැනි දෙයක් කළ නොහැකියි" මන්ත්‍රීවරයා කියා සිටියේය.

අනතුරුව, එහි පැවති දැඩි දුර්ගන්දය පහව යන තෙක් ප්‍රාදේශීය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරුන්ට සභා ගර්භයෙන් පිටතට ගොස් විවේකයක් ලබා ගන්නා ලෙස කථානායක එඩ්වින් කකාච් ( Edwin Kakach) උපදෙස් දී ඇත.

ඒ සමග සභා ගර්භය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වාතය සුවඳ ගන්වන කුමන හෝ විලවුන් (air freshener) වර්ගයක් රැගෙන එන ලෙස කථානායකවරයා නිලධාරීන්ට දැනුම් දුන් බවත් කෙන්යාවෙන් ලද වාර්තා මගින් පැවසෙයි.

"දැඩි දුර්ගන්දයක් පවතින පරිසරයක අපට දිගටම රැඳී ඉන්න බැහැ" කථානායකවරයා පවසා ඇත.

සබැඳි විෂයයන්