හොංකොං උද්ඝෝෂණ: ගුවන්තොටුපොළ මෙහෙයුම් දෙවන දිනටත් අඩාලයි

Image copyright AFP
Image caption විරෝධතාවාදීන් අතරින් ගමන් කිරීමට ගුවන් මගීන් යත්න දරන ආකාරය

ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ගේ ක්‍රියා හේතුවෙන් හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් පිළිවෙලින් දෙවැනි දිනයටත් අඩාල විය.

හොංකොං, ලොව ඉතාම කාර්යබහුල ගුවන් තොටුපොළවලින් එකකි.

ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ දින පහක කාලයක් ගුවන් තොටුපොළ තුළ විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටිති.

සඳුදා (අගෝස්තු 12) එම ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ගුවන් ගමන් අවලංගු කිරීමට සිදු වූ අතර එහි ලඟා වීමෙන් වළකින ලෙස මගීන්ට දැනුම් දී තිබුණි.

අඟහරුවාදා (අගෝස්තු 13) දින ගුවන් මගීන් සෝදිසිය සහ ලියාපදිංචිය අත්හිටුවීමට සිදු වූ බව හොංකොං වාර්තා මගින් පැවසෙයි.

Image copyright Getty Images
Image caption හොංකොං ගුවන්තොටුපොළ තුළ සිටින විරෝධතාකරුවන්

ගුවන් තොටුපොළින් පිටත්ව යාමේ පර්යන්තය අහුරාලමින් වාඩිලා සිටින විරෝධතාකරුවන් අතරින් ගමන් කිරීමට ගුවන් මගීන් යත්න දරන ආකාරය එම ගුවන් තොටුපොළේ අලුත්ම තත්ත්වය ප්‍රදර්ශනය කෙරෙන වීඩියෝ පටවල දැක්වෙයි.

චීනයට අයත් හොංකොං දූපතේ බලධාරිනී කැරී ලෑම් විසින් කරනු ලබන අනතුරු ඇඟවීම නොතකා හරිමින් විරෝධතාකරුවෝ ගුවන් තොටුපොළේ දිගටම රැඳී සිටිති.

සිය දූපත "ඉතාම අනතුරුදායක මට්ටමකට" ලංව ඇතැයි සඳහන් කරන ඇය දැනට ගෙනයමින් පවතින විරෝධතා ව්‍යාපාර තුළ සිදු කෙරෙන හිංසන නැවත සිදු නොකෙරෙන තත්ත්වයකට පත් කරන බවත් කියා සිටියාය.

ආරක්ෂක රැකවරණ මැදින් ගමන් නොගන්නා ලෙසත්, ගුවන් ගමන් පර්යන්තයෙන් "හැකිතාක් ඉක්මනින්" ඉවත්ව යන ලෙසත් හොංකොං ගුවන් තොටුපොළ වෙබ් අඩවියක පළ කරනු ලැබ ඇති ප්‍රකාශනයක් මගින් මගීන්ට උපදෙස් දී ඇත.

ගුවන් ගමන් අවලංගු කරනු ලැබීමට පෙර විරෝධතාකරුවන් මගී ගමන් මළු පටවන ට්‍රොලි යොදා ගනිමින් බාධකයක් ඉදිකර ඇති ආකාරයත් ඇතැම් ගුවන් මගීන් එම අඩාල කිරීම් නිසා ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටි ආකාරයත් හොංකොං ගුවන් තොටුපොළ තත්ත්වය පෙන්නුම් කෙරෙන ඡායාරූපවල දැක්වෙයි.

මෙම විරෝධතා රැල්ල ආරම්භ වුණේ අපරාධ චෝදනා එල්ල වෙන හොංකොං වැසියන් චීනයට ගෙන යාමට අවසර ලැබෙන නව නීතියකට (extradition bill) එරෙහිවය.

චූදිතයන් චීනයට ගෙන යාමට අවසර ලැබෙන නව පනත් කෙටුම්පතෙහි ඉලක්කය හොංකොං දූපතේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීම යයි එම යෝජිත නීතිය දෝෂ දර්ශනයට ලක් කරන විවේචකයෝ පවසති.

මහජන විරෝධයකට මුල් වූ එම පනත් කෙටුම්පත අත්හිටුවීමට පියවර ගත් බව හොංකොං ප්‍රධාන විධායක පාලිකා කැරී ලෑම් (Carrie Lam) මීට ඉහතදී නිවේදනය කර තිබිණි.

මේ ගැනත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර