'ආර්ටිකල් 370' අහෝසි කිරීම දේශපාලන සූදුවක් නොවෙයි -අගමැති මෝදි

Image copyright Getty Images
Image caption "මට - මට වඩා වැදගත් රට" ඉන්දියානු අගමැතිවරයා නිදහස් දින සමරු උළෙල අමතමින් කියා සිටියේය

ජම්මු -කාශ්මීරය භුක්ති විඳින ලද විශේෂ බලතල ඉවත් කිරීමට තමා ගත් තීරණය නිසා සියරටේ කලින් පැවති ශ්‍රී විභූතිය යළිත් ස්ථාපනය වීමක් සිදු විනැයි අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

අගමැති මෝදි එම ප්‍රකාශය කළේ, බ්‍රහස්පතින්දා(අගෝස්තු 15) දිල්ලි අගනුවර රතු බලකොටුවේ සිට ඉන්දීය නිදහස් දින සමරු උළෙල අමතමිනි.

තවදුරටත් අදහස් දැක්වූ අගමැති මෝදි, ඉන්දියාවේ අනාගත සංවර්ධනයේ දී කාශ්මීරය "අතිශයින් වැදගත්" කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද කියා සිටියේය.

අගමැති මෝදිට අනුව 'ආර්ටිකල් 370' ව්‍යවස්ථා ප්‍රතිපාදන මගින් කාශ්මීරයට දී තිබුණ, වෙනත් ප්‍රාන්තවලට නොමැති විශේෂ බලතල මගින් සිදුව ඇත්තේ "දූෂණ දිරිගැන්වීමක්" පමණි.

එහෙත් එම 'ආර්ටිකල් 370' ව්‍යවස්ථා ප්‍රතිපාදනය පසුගිය සතියේ පටන් බල රහිත කරනු ලබීමෙන් අනතුරුව කාශ්මීරය බාහිර ලෝකයෙන් වෙන්කර තැබීම සහ පණිවුඩ සබඳතා අඩාල කරනු ලැබීම සම්බන්ධයෙන් අගමැතිවරයා සිය නිදහස් දින කතාවේ දී කිසිවක් සඳහන් නොකළේය.

1947 දී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලද ඉන්දියාව පාකිස්තාන් නිදහස් සමරු දිනයට දවසකට පසු සිය නිදහස් දිනය සමරනු ලැබුණි.

ඉන්දියාව සහ පාකිස්තානය යනුවෙන් බෙදී වෙන්වූ රටවල් දෙකක් ලෝක සිතියමට එකතු වුණේ 1947 වසරේදීය.

Image copyright AFP
Image caption 'ආර්ටිකල් 370' අහෝසි කිරීමට එරෙහිව මහජන නැගිටීම්

ඉම්රාන් ඛාන්ගේ ඉදිරි පියවර

බදාදා (අගෝස්තු 14) පාකිස්තාන් නිදහස් දින කතාවේදී අදහස් දැක්වූ අගමැති ඉම්රාන් ඛාන්, ජම්මු-කාශ්මීරය සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳ ඉන්දියාව දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

"ලෝකයේ ඇස පාකිස්තානය වෙත යොමු වෙමින් පවතිනවා.ඉන්දියාව විසින් ඇති කරන ලද මේ අඳුරු සමය තුළ මේ කාරණයට ඔබේ වගකීමක් ඇති බව අපි ලෝකයට කියනවා. වේදිකාව කුමක් වුනත් මම ඒ හැම වෙදිකාවකම කාශ්මීර් ප්‍රශ්නය මතු කරන නියෝජිතයා බවට පත් වෙනවා" අගමැති ඉම්රාන් ඛාන් අවධාරණය කළේය.

එහෙත් සිය කතාවේ දී අගමැති මෝදි පාකිස්තාන් අගමැතිවරයා ගේ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නැත.

ඒ වෙනුවට ඔහුගේ දෝෂදර්ශනයට ලක්වුණේ 'ආර්ටිකල් 370' ව්‍යවස්ථා ප්‍රතිපාදනය අවලංගු කිරීමට එරෙහිව සියරට තුළම අදහස් දක්වන කණ්ඩායම්ය.

"ඔවුන් දේශපාලන සූදුවක නිරත වෙමින් සිටිනවා" ඉන්දීය අගමැතිවරයා කියා සිටියි.

"අතීතයේ අපේ රටේ බලයේ සිටි ආණ්ඩුවලට මේ වගේ නිර්භීත තීන්දුවක් ගැනීමේ ශක්තියක් තිබුණේ නැහැ. මොකද? එම ආණ්ඩු ඔවුන්ගේ දේශපාලන අනාගතය ගැන සැලකිලිමත් වුණා" ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

"මම මගේ දේශපාලන අනාගතය ගණන් ගන්නේ නැහැ. මට 'මට වඩා' වැදගත් වෙන්නේ රටේ අනාගතයයි" අගමැති නරේන්ද්‍ර මෝදි නිදහස් දින සමරුව අමතමින් කියා සිටියේය.

Image copyright Reuters
Image caption ලෝකයේ ඇස පාකිස්ථානය වෙත යොමු වෙමින් පවතිනවා- පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන්

ජම්මු- කාශ්මීරය හුදෙකලා කොට මේවනවිට සතියකට අධික කාලයක් ගතව ඇත.සියලු සන්නිවේදන පහසුකම් අත්හිටුවමින්, මහජනයා රංචු ගැසීම තහනම් කරනු ලැබ, ඇඳිරි නීතිය පනවන ලද අවස්ථාවකට සමාන වූ පරිසරයක් එහි දක්නට ලැබෙයි.

එහෙත් හින්දු බහුතරයක් වෙසෙන 'ජම්මු' කලාපය තුළ පමණක් එවැනි තහංචි ලිහිල් කර ඇතැයි නිලධාරීහු බදාදා ප්‍රකාශ කළහ.

ඉන්දියානු බලධාරීන් විසින් දැඩි තහංචි පනවනු ලැබ ඇතත්, 'ආර්ටිකල් 370' ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ මෙතෙක් භුක්ති විඳින ලද විශේෂ වූ තත්ත්වයන් අහෝසි කරනු ලැබීමට එරෙහිව කාශ්මීර් නිම්නයේ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වූ කලාපයන්හි විරෝධතා ව්‍යාපාර දියත් වෙමින් තිබුණි.

සිකුරාදා මධ්‍යාහ්නයෙහි ඉස්ලාම් ආගමික යාඥාවලින් පසු දහස් ගණනක් සහභාගී වූ එවැනි විරෝධතා පිළිබඳව 'ශ්‍රී නගර්' අගනුවරින් වාර්තා විය.

Image copyright Reuters
Image caption කාශ්මීර් ජනගහන රටාවේ වෙනසක් ඇතිවේදැයි බියපත් ජනතාව

ජම්මු- කාශ්මීරයේ ජනගහන සිතියමේ වෙනසක් ඇති කිරීමේ යටි අරමුණෙන්, හින්දු ජාතිකවාදී ආණ්ඩුව විසින් 'ආර්ටිකල් 370' අහෝසි කිරීමේ තීන්දුව ගෙන ඇති අතර, එමගින් සෙසු ප්‍රාන්තවල ඉන්දියානුවන්ට කාශ්මීරයේ ඉඩම් මිල දී ගනිමින්, එහි නිත්‍ය ලෙස පදිංචි වීමට අවස්ථාව උදා කෙරෙන්නේය යන්න බොහෝ කාශ්මීර් වැසියන්ගේ අදහස වෙයි.

එහෙත් එම අදහස් බැහැර කරන ඉන්දියාව, තමන් එවැනි පියවරක් ගන්නා ලද්දේ ආරක්ෂාව සහ ආර්ථික සංවර්ධනය උදා කිරීමේ අභිප්‍රායයෙන් යයි කියා සිටියි.

කියවන්න;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර