ඉරාන නැව: 'ග්‍රේස් ' යෝධ නෞකාව භාරයට ගන්නා ලෙස ඇමරිකාවෙන් වරෙන්තුවක්

Image copyright Reuters
Image caption 'ග්‍රේස් ' යෝධ නෞකාව

රඳවාගනු ලැබ ඇති ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අත්පත් කර ගැනීම සඳහා ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව වරෙන්තුවක් නිකුත් කර තිබේ.

එවැනි පියවරක් ගනු ලැබුවේ ජිබ්‍රාල්ටර් දූපතේ විනිසුරුවකු විසින් අදාළ නෞකාව නිදහස් කරන ලෙස දිනකට පෙර නියෝග කරනු ලැබ තිබියදීය.

'ග්‍රේස් 1' නෞකාව ජුලි 4 වෙනිදා රඳවා ගනු ලැබුවේ නීතිවිරෝධීව සිරියාවට තෙල් ප්‍රවාහනය කරමින් සිටි බවට පැවති සැකය මතය.

ඒ වනවිට එහි තෙල් බැරල් මිලියන 2.1 ගබඩා කර තිබිණි.

නැව රඳවා ගනුවස් ඇමෙරිකාව, අවසාන මොහොතේ ගත් නීතිමය උත්සාහයක් ජිබ්‍රාල්ටර් බලධාරීන් විසින් බ්‍රහස්පතින්දා (අගෝස්තු 15) ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි.

'ග්‍රේස් 1' නෞකාව රඳවා ගනු ලැබීම, ඉරානය විසින් මීට ඉහතදී හඳුන්වනු ලැබුවේ "නීතිවිරෝධී බාධා කිරීමක්" ලෙසය.

Image copyright PA Media
Image caption ස්ටේනා ඉම්පෙරෝ

'ග්‍රේස් 1' නෞකාව රඳවා ගනු ලැබීමෙන් සති දෙකකට පසුව ජුලි 19 වෙනිදා, 'ස්ටේනා ඉම්පෙරෝ' නම් බ්‍රිතාන්‍ය ධජය සහිත නෞකාව හොර්මුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය විසින් සිය භාරයට ගනු ලැබිණි.

නෞකාව "ජාත්‍යන්තර සමුද්‍ර නීති" උල්ලංඝනය කළ බව ඉරානය පැවසුව ද, 'ස්ටේනා ඉම්පෙරෝ' භාරයට ගනු ලැබුවේ එකට එක කිරීමක් ලෙස යැයි විශ්වාස කෙරෙයි.

ඇමෙරිකාව කියන්නේ කුමක් ද?

වොෂිංටන්හි පිහිටි ෆෙඩරල් අධිකරණයක් විසින් ඉහත කී වරෙන්තුව නිකුත් කර ඇත්තේ සිකුරාදාය (අගෝස්තු 16).

එය යොමු කර ඇත්තේ "එක්සත් ජනපද මාර්ෂල් සේවයට සහ/හෝ වෙනත් ඕනෑම බලයලත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකු" වෙතය.

නෞකාව සහ එහි ප්‍රවාහනය කෙරෙන ඉන්ධන සිය භාරයට ගන්නා ලෙස එමගින් දන්වා ඇත.

එසේම 'පැරඩයිස් ග්ලෝබල් ට්‍රේඩින් එල්එල්සී' නමැති ඉරාන සමාගමකට සම්බන්ධ ගිණුමකට අයත් ඇමෙරිකානු ඩොලර් 995,000 ක මුදලක් පවරා ගන්නා ලෙස ද එමගින් නියෝග කෙරෙයි.

අදාළ ගිණුම නම සඳහන් නොකළ ඇමෙරිකානු බැංකුවක පවත්වා ගෙන යන්නකි.

ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඉහත කී ඉරාන නෞකාව සහ සමාගම ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත උල්ලංඝනය කිරීම, බැංකු වංචා, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්ත විරෝධී අණපනත් උල්ලංඝනය කිරීම වැනි ක්‍රියාවල නිරත වී ඇති බවකි.

"මෙවැනි නැව්ගත කිරීම්වල සහාය ඇතිව සමාගම් ජාලයක් එක්ව ඩොලර් මිලියන ගණනක් විශුද්ධිකරණය කර ඇති බව පැවසෙනවා" යනුවෙන් ෆෙඩරල් නීතිවේදිනිය ජෙසී ලියු පවසයි.

එම ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශ්ව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සමග එක්ව කටයුතු කරන කරන බවට ඇය චෝදනා කරයි.

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විදෙස් ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව සලකයි.

ජිබ්‍රාල්ටර්හි සිදුවූයේ කුමක් ද?

මේ අතර ජිබ්‍රාල්ටර් ආණ්ඩුව පවසන්නේ "යුරෝපා සංගමයේ සම්බාධක පනවනු ලැබ ඇති සිරියාව" වැනි රටවලට 'ග්‍රේස් 1' නෞකාව යාත්‍රා නොකරන බවට ඉරානයෙන් තමන්ට සහතිකයක් ලැබුණු බවය.

බ්‍රිතාන්‍ය පාලනයට අයත් එහි ප්‍රධාන අමාත්‍ය ෆේබියන් පිකාඩො කියා සිටියේ "අපි, සිරියාවේ අසාද් පාලනයට ඩොලර් මිලියන 140ක බොර තෙල් අහිමි කර තිබෙනවා" යනුවෙනි.

විනිසුරුවකු නෞකාව නිදහස් කරන ලෙස නියෝග කිරීමෙන් අනතුරුව පිකාඩො බීබීසීයට පැවසුවේ නෞකාවට හැකි ඉක්මනින් පිටත් වීමට හැකි බවයි.

බ්‍රිතාන්‍යය හෝ ජිබ්‍රාල්ටර් ආණ්ඩුව ඇමෙරිකානු වරෙන්තුවට ප්‍රතිචාර දක්වා නැත.