ශ්‍රී ලංකාවේ එක ම "මහා සංඝ සභාවක ඉලක්කයක්: "සියම් නිකායේ පාර්ශවත් සාකච්ඡාවක"

Image copyright vajirarama.lk
Image caption කතිකාවතක නිරත භික්‍ෂූන් පිරිසක්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ඒකාබද්ධ වෙමින් "ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව" පිහිටුවනු ලැබීම ශ්‍රී ලංකාවේ සමස්ත භික්ෂු සමාජයට වැදගත් පණිවුඩයක් සපයන අතර සියම් මහා නිකායේ සියලු පාර්ශව අතර ද එකමුතු වීමක් සඳහා කාලය උදා වී ඇති බව සියම් මහා නිකායේ රංගිරි-දඹුලු පාර්ශ්වයේ මහානායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ පවසති.

ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව පසුගිය දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පිහිටුවා ගැනිණි.

එම ඓතිහාසික ගිවිසුමට අත්සන් තබන ලද්දේ ඉහත කී දෙනිකායේ මහානායක හිමිවරුන් විසිනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ආරම්භයේ පටන් (1864) එක ම පාර්ශවයක් වශයෙන් දිගට ම ක්‍රියාත්මක ඒකාබද්ධ සංඝ සංවිධානයක් වන නමුත් අමරපුර නිකාය (1803) පාර්ශව විසි දෙකකට(22) බෙදී ගිය සංඝ සංවිධානයකි.

"ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව" පිහිටුවනු ලැබීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කළ රංගිරි-දඹුලු පාර්ශ්වයේ මහ නාහිමියෝ "සමග්ගා හෝථ භික්ඛවේ" යන බුදුවදන අනුව යමින් සියලු නිකාය අතර එකමුතුවක් ඇති වීම බුදු සසුනේ පැවැත්මට හේතු වෙන බව පෙන්වා දුන්හ.

එහෙත් ඇති කර ගනු ලබන සමගිය "හුදෙක් අත්සනකට පමණක් සීමා නොවූ" වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ප්‍රායෝගික ක්‍රියාදාමයක් විය යුතුය යන්න ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන්ගේ උපදේශය වේ.

"දැන් අපේ සියම් නිකායටත් පාර්ශ්ව අටක් තිබෙනවා. ඒ අස්ගිරි,මල්වතු, රංගිරි-දඹුලු, කෝට්ටේ, ශ්‍රී කල්‍යාණි, රෝහණ, ඌව සහ වනවාස ආදී වශයෙන්. මේ පාර්ශව අතරත් ඒකාබද්ධ වීමක් සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් වීම කාලීන උවමනාවක්" රංගිරි-දඹුළු පාර්ශවයේ මහානායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ සඳහන් කළහ.

Image copyright AMARAPURA NIKAYA
Image caption අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි මහනාහිමිවරුන්

'භික්‍ෂූන්ට බෙදීම් ගැලපෙන්නේ නැහැ'

භික්‍ෂූන් වහන්සේ කුල-පාර්ශව හෝ නිකාය වශයෙන් බෙදී සිටීම වත්මන් යුගයට නොගැලපෙන අතර, එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය සන්ධානගත වීම ඉහළින් අගය කරන බව සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.

බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් උන්වහන්සේ, "අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය සාකච්ඡා කරමින් යම් එකඟතාවකට පැමිණ එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම මේ යුගයේ ලද ජයග්‍රහණයක්. ඒක වටිනා කාර්යයක්. මෙවැනි එකමුතුභාවයක් ඇති කර ගැනීමට හැකි නම් එය යහපත් දෙයක් වන බව අපේ සියම් නිකායේ පාර්ශව කිහිපයකුත් වරින්වර සාකච්ඡා කරලා තියෙනවා," මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ පවසති.

"එක ම භික්ෂු සංස්ථාවක් බවට පත්වීමට එකවර ම නොහැකි නම් තම තමන්ගේ සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් එකමුතු වුණොත් එය වැදගත් ඉදිරි පියවරක් වෙන බව මගේ අදහසයි," මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

එවැනි සන්ධානයක් ඇති කර ගැනීමේදී සියම් නිකායේ පාර්ශව මුහුණ දෙන අභියෝග මොනවා දැයි බීබීසි සිංහල සේවය කළ විමසීමට උන්වහන්සේගේ පිළිතුර වූයේ, එවැනි අභියෝගයක් ඇතැයි තමන් වහන්සේ නොසිතන බවකි.

"හොඳ වැඩක් කරන්න ගියා ම අභියෝග එනවා. ඒවාට අපි මුහුණ දිය යුතුයි. මම හිතනවා -නිකාය තුන ම සාකච්ඡා කරලා අනාගතයේ දවසක එක මතයකට ඒවි කියල"

Image copyright SLRAMN.LK
Image caption රාමඤ්ඤ නිකායේ භික්‍ෂූන් බුරුමයෙන් උපසම්පදාව රැගෙන ගාලු වරායෙන් ගොඩබැසීම

විහාර දේවාලගම් පනතේ අඩුපාඩු

ශ්‍රී ලංකා අමරපුර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය අතර ඇතිකර ගත් ඓතිහාසික සන්ධානගත වීම ශ්‍රී ලංකාවේ සියලු භික්ෂු නිකාය එකමුතු කර ගනිමින් 'එක ම සංඝ සමාජයක්' ආරම්භ කිරීමේ මූලික පියවර වනු ඇතැයි අමරපුර නිකායේ ලේඛකාධිකාරී ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර නාහිමියෝ පවසති.

උන්වහන්සේ අමරපුර මහා නිකාය තුළ 'අමරපුර වජිරවංශ පාර්ශවය' නියෝජනය කරති.

සියවසකටත් වැඩි කාලයක් වෙන්ව පැවති නිකාය දෙකක් එපරිද්දෙන් එකමුතු වීමට චිරාත් කාලයක් එම නිකාය දෙකේ භික්‍ෂූන් මුහුණ දුන් සමාජමය සහ ශාසනික ගැටලු හේතු වූ බව ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර නාහිමියෝ බීබීසී සිංහල සේවය කළ විමසීමේදී සඳහන් කළහ.

"උදාහරණයක් වශයෙන් දැනට බල පැවැත්වෙන විහාර දේවලගම පනත පෙන්වා දෙන්න පුළුවන්. එම පනත භික්ෂු ශාසනයේ යහපතට වඩා දේපොළ උරුමය පිළිබඳව යොමුවූවක්. භික්ෂු අයිතිවාසිකම් තහවුරු කෙරෙන විධිවිධාන එහි නැහැ. අපේ නිකාය දෙක ඉතිහාසයේ ක්‍රියාත්මක වෙද්දී විවිධ අසාධාරණකම් මදි පුංචිකම්වලට ලක්වෙලා තිබෙනවා. ඒ නිසා මේ නිකාය දෙක එකමුතුව පොදු එකමුතුවක් ඇතිකර ගැනීම කලක පටන් තිබුණ අදහසක්"

"දළදා මාළිගාවේ දියවඩන නිලමේ තෝරාපත්කර ගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය දෙකට ඡන්ද බලයක් නැහැ .මේගැන කිහිප වතාවක් දැනුවත් කිරීම් සිදු කර ඇති නමුත් තවමත් එම අයිතිය ලැබුනේ නැහැ. දළදා මාළිගාවේ තේවාවත් ඒ වගේමයි. එම තේවාව පැවරෙන්නේ මල්වතු-අස්ගිරි පාර්ශ්ව දෙකට.එම අවස්ථාව අනිත් නිකාය දෙකටත් ලබා දෙන්න කියල අපි ඉල්ලා සිටිනවා" අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර නාහිමියෝ පවසති.

"විහාර දේවාලගම් නීතිය අනුව ඥාති ශිෂ්‍ය උරුමය අනුව විහාරාරාමවල දේපොළ උරුමවීම වෙනස්වීමට කාලය ඇවිත්. සාංඝික දේපොළ එවැනි ඥාති උරුමයකට යටත් කරනු ලැබීම අපරාධයක්. ඒක බුදුන්ගේ කාලයේ පමණක් නොවෙයි අදත් කවුරුවත් අනුමත කරන දෙයක් නොවෙයි"

Image caption මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි - සියම් නිකායේ පාර්ශව අටකි

අනාගත බලාපොරොත්තු

"වෙනත් බෞද්ධ රටවල පවතින්නේ නිකාය වශයෙන් බෙදී නොගිය එක භික්ෂු සංස්ථාවක් පමණයි. අපේ අරමුණත් ශ්‍රී ලංකාවේ භික්ෂු සමාජයත් එවැනි තත්ත්වයකට ගෙන ඒම. තායිලන්තයේ පාවිච්චි කරනු ලබන 'සංඝරාජ' වගේ යෙදුමක් අදට උචිත නැත්නම් අපේ අනාගත එකමුතු සංඝ සංස්ථාවේ ප්‍රධාන භික්ෂුව 'මහානායක' යන යෙදුමෙන් ම හඳුන්වන්න පුළුවන්" උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

ශ්‍රී ලංකා අමරපුර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ යන නිකාය දෙක සන්ධානගත වීම ප්‍රධාන අරමුණු අටක් මුල්කර ගත් වැඩපිළිවෙළක් වන බව නව ඒකාබද්ධ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ප්‍රකාශනයක සඳහන් වේ.

  • ශ්‍රී ලංකාවේ මතු වෙන ශාසනික සහ ජාතික ගැටලුවලදී එකාබද්ධව තීන්දු තීරණ ගැනීම මෙන්ම ඒවා ක්‍රියාවට නැංවීම
  • රටේ ඉතිහාසය පුරා තවමත් සාධාරණීකරණය කෙරෙමින් පවතින සමාජ භේදවාදී සංස්කෘතීන් සහ අංග නිවැරදි කිරීම
  • දැනට ව්‍යාප්ත වෙමින් පවතින ධර්ම විනය විරෝධී ප්‍රවනතාවන්ට මුහුණදීමට ත්‍රිපිටකධාරී විනයගරුක භික්ෂු සමාජයක් බිහි කිරීම
  • උගත් සහ තරුණ භික්‍ෂූන්ට සමාජ අභියෝග ජය ගැනීමට මග පෙන්වීම
  • අන්‍යාගමික මූලධර්මවාදී බලවේගයන්හි ස්වභාවයන් හැඳින ගනිමින් ජාත්‍යන්තර සහයෝගය දිනා ගැනීමට අවශ්‍ය සංරක්‍ෂණ ක්‍රියාවලීන්හි නිරත වීම
  • ත්‍රිපිටක ආයතනයක් පිහිටුවීම
  • ඒකාබද්ධ සංඝාධිකරණයක් පිහිටුවීම
  • අමරපුර සහ රාමඤ්ඤ නිකායන් සඳහා එක කතිකාවතක් පිහිටුවීම

එකී සියලු අපේක්‍ෂා සාක්‍ෂාත් කර ගනිමින්, අදාළ ක්‍රියාමාර්ග පෙරට ගෙන යාම සඳහා එක් නිකායකින් 225 බැගින් තෝරාගත් භික්‍ෂූන් 450 නමකගෙන් සමන්විත "මහා සංඝ සභාවක්" පිහිටුවන අතර, අමරපුර සහ රාමඤ්ඤ දෙනිකායේ මහ නාහිමිවරුන් අභිනව නිකායේ සම සභාපතිවරුන් ලෙස කටයුතු කරති.

ඉහත කී ආකාරයේ සන්ධානගත වීමක් තුළින් එක නිකායක් ලෙස ඒකාබද්ධ වූ නමුත්, අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒ ඒ නිකායට අයත් විනය කර්ම, පෝය කිරීම සහ පැවිදි උපසම්පදා කිරීම් ආදී කර්තව්‍ය එක්තරා කාලයක් දිගට ම වෙන වෙන ම ක්‍රියාත්මක කරනු ඇත.

Image caption "සමග්ගා හෝථ භික්ඛවේ" යන බුදුවදන අනුව යමින් සියලු නිකාය අතර එකමුතුවක් ඇතිවීම බුදු සසුනේ පැවැත්මට හේතුවක්- ඉනාමළුවේ සුමංගල මහනාහිමි

අමරපුර සහ රාමඤ්ඤ නිකාය අනාගතයේ එක ම නිකායක් බවට පත්වීම සහ අනාගතයේදී සියම් නිකායත් එක් කර ගනිමින් නිකායත්‍රය වෙනුවට එක ම "මහා සංඝ සභාවක්" පිහිටුවා ගැනීම මේ සැලැස්මේ අවසන් ඉලක්කය බව ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර නාහිමියෝ පවසති.

රෝහණ පාර්ශවයේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය එකමුතු වීම ඉතා ම වැදගත් පියවරක් බවත්, තමන් වහන්සේ ඒ සම්බන්ධයෙන් සතුටු වන අතර ම, එවැනි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන මෙන් සියම් මහා නිකායේ පාර්ශවවලින් ද ඉල්ලා සිටින බවත් ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ඕමාරේ කස්සප හිමියෝ බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළහ.

"සියම් මහා නිකායේ පාර්ශව අටක් තිබෙනවා. මෙයින් පාර්ශ්ව හයක් එක්ක අපි එකමුතුවක් ගැන සාකච්ඡා කරලා තිබෙනවා. ඒ ගැන මල්වතු විහාරයටත් දැනුම් දී තියෙනවා. අනාගතයේදී එම කාරණය අතින් යම් පියවරක් ගැනීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු තබනවා," ශ්‍රී රෝහණ පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ඕමාරේ කස්සප හිමියෝ බලාපොරොත්තු පළ කරති.

කියවන්න ;