ශ්‍රී ලංකාවේ වම බෙදුනු හැටි: වම දකුණට කැපූ මාක්ස්වාදියෝ

Image copyright Getty Images
Image caption වාමාංශික දේශපාලන පක්‍ෂ තමන් කාර්ල් මාර්ක්ස්ගේ දේශපාලන ඉගැන්වීම් අනුගමනය කරන බව පවසති

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ දේශපාලනමය අසාර්ථකභාවයට සහ දිගින් දිගට ලබන පරාජයට හේතුව 'වම බෙදීයාම' බව බොහෝ විශ්ලේෂණ මගින් කියැවේ.

'වම' දේශපාලනික වශයෙන් කාණ්ඩවලට බෙදීයාම එහි ආරම්භක අවධියේ පටන්ම පෙනීයන ප්‍රවනතාවකි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව සංවිධානය වූ දේශපාලන පක්‍ෂවල (ඇතැමුන් හඳුන්වන පරිදි දක්ෂිණාංශික පක්‍ෂ) අභ්‍යන්තර ගැටුම්, නායකත්ව අර්බුද සහ වෙනත් පෞද්ගලික න්‍යායපත්‍ර නිසා උද්ගත වියහැකි නමුත්, වාමාංශික දේශපාලන පක්‍ෂයක් අභ්‍යන්තරයේ හෝ ඒ ඒ වාමාංශික පක්‍ෂ අතර ඇතිවන ගැටුම්වලට වැඩි වශයෙන් පදනම් වන්නේ න්‍යායික ප්‍රතිවිරෝධතා ය.

ලෝක වාමාංශික ව්‍යාපාරය තුළත් සුලභ එවැනි මතවාදී බෙදීම් ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරය තුළත් අඩුවක් නැතිව දක්නට ලැබේ.

ආරම්භයේදී ශ්‍රී ලංකාවේ වාමාංශික බුද්ධිමතුන් එකම පක්ෂයක් ලෙස දේශපාලන වශයෙන් සංවිධානගත වූයේ නමුත්, ඉතා කෙටි කලක් තුළ එම සංවිධානය භේදභින්න වී ගිය ආකාරය වසර අසූ හතරක්(84) පමණ වන සම සමාජ ඉතිහාසය විමසන විට පෙනී යයි.

ලංකා සම සමාජ පක්ෂය

ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ මුල්ම සහ පැරණිතම දේශපාලන පක්‍ෂය වේ.

1935 දෙසැම්බර් මාසයේ 'සමසමාජ ව්‍යාපාරය' ආරම්භ වූයේ එවක ශ්‍රී ලංකාවේ සිටි වාමාංශික සහ වෙනත් ප්‍රගතිශීලී බුද්ධිමතුන් එකමුතු වීමෙනි. එම වාමාංශික බුද්ධිමතුන්ගෙන් බොහෝදෙනා එංගලන්තයේ හෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලද කාලයන්හි මාක්ස්වාදී දේශපාලන දර්ශනය කෙරෙහි ආශක්ත වූවෝ වූහ.

ලන්ඩන් නගරයේ දී වෛද්‍ය උපාධියක් සම්පූර්ණ කොට සියරට ළඟා වූ පළමු මාක්ස්වාදියා වූ 'දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ' ලංකාවේ දේශපාලනයට අවතීර්ණ වෙමින්, 1931 පැවති පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් ජය ගැනීම 'වාම මතධාරීන්ගේ' දේශපාලන ආශ්වාදයට හේතු විය.

Image copyright LSSP
Image caption ලංකා සමසමාජ පක්ෂයය ශ්‍රී ලංකාවේ මුල්ම සහ පැරණිතම දේශපාලන පක්‍ෂයයි.

ඉන් අනතුරු වසරවල ලංකාවට පැමිණි ආචාර්ය එන්.එම්.පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සහ පිලිප් ගුණවර්ධන ඇතුළු සියලු වාමාංශික නායකයන්ගේ මෙහෙයුමෙන් බිහි වූ සංවිධානාත්මක දේශපාලන එකතුව ලංකා සම සමාජ පක්ෂයය.

ආචාර්ය එන්.එම්.පෙරේරා සහ පිලිප් ගුණවර්ධන සම සමාජ නායකයන් ලෙස සම්ප්‍රදායික දේශපාලන නායකයන්ට අභියෝග කරමින් 1936 රාජ්‍යමන්ත්‍රණ සභා මැතිවරණය ජයග්‍රහණය කිරීම ආරම්භයේදීම වාමාංශික ව්‍යාපාරය තැබූ තවත් ඉදිරි පියවරක් විය.

සම සමාජය බෙදෙයි;කොමියුනිස්ට් පක්‍ෂය බිහි වෙයි

ලංකා සමසමාජ පක්‍ෂයේ මෙහෙයුමෙන් ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරය වාමාංශික දේශපාලනය කෙරෙහි වේගයෙන් ආකර්ෂණය වෙමින් සිටින අතරවාරයේ දෙවෙනි ලෝක මහා සංග්‍රාමය ආරම්භවීමත් සමඟ එම පක්‍ෂයේ පළමු බෙදීම ඉතිහාසයට එක්විය.

එම බෙදීමට හේතුව 'තුන්වෙනි ජාත්‍යන්තරය' සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න සහ 'යුද්ධය සම්බන්ධයෙන් ගත යුතු ස්ථාවරය කුමක්ද' යන්න පදනම් කරගත් න්‍යායික ගැටුමකි.

සමසමාජය තුළ බලවත් කණ්ඩායම වූ 'ට්‍රොට්ස්කිවාදීන්' කොන්දේසි විරහිතව යුද්ධයට විරුද්ධ වූ අතර, සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයේ නිල ස්ථාවරය පිළිගත් තවත් සමසමාජ කණ්ඩායමක් හිට්ලර් ප්‍රමුඛ නාසි බලවේගය පරාජය කිරීමට ප්‍රමුඛස්ථානය දෙමින් යුද්ධයට සහයෝගය පළ කිරීමේ ස්ථාවරයෙහි රැඳී සිටියහ.

දොස්තර එස්.ඒ.වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත එම දෙවනුව කී කණ්ඩායම(ස්ටාලින්වාදීන්) සමසමාජ පක්ෂයෙන් නෙරපා හරින ලද අතර, ඔවුහු 'එක්සත් සමාජවාදී පක්ෂය'(United Socialist Party) නමින් වෙනත් දේශපාලන පක්ෂයක් ලෙස සංවිධානය වූහ.

එය ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ පළමු බෙදීමය.

ඔවුහු ඉතා කෙටි කාලයක් ඇතුළත 'එක්සත් සමාජවාදී පක්ෂය' විසුරුවා හරිමින් 'ලංකා කොමියුනිස්ට් පක්ෂය' ලෙස නව නිල නාමයකින් ක්‍රියාත්මක වූහ.

කොමියුනිස්ට්වාදීන් යුද්ධය සම්බන්ධයෙන් දරන ලද ස්ථාවරය බැහැර කරන ලද සම සමාජ පක්ෂයේ නිල ස්ථාවරය කුමක්ද යන්න පිලිප් ගුණවර්ධන විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත් කළේය.

"මෙය යටත්විජිතවාදීන් සහ අර්ධ යටත්විජිතවාදීන් අතර යුද්ධයක්.ඕනෑම ආකාරයක අධිරාජ්‍යවාදී යුද්ධයකට සහභාගී වීම අපි ප්‍රතික්ෂේපකරනවා"

කොල්වින්ගේ ලෙනින් -බෝල්ෂෙවික් පක්ෂය

එපරිද්දෙන් යුද්ධයට එරෙහිවීම හේතුවෙන්, බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවධියේ සිරගත කරන ලද සම සමාජ නායකයන්(ට්‍රොට්ස්කිවාදීන් ) බෝගම්බර සිර ගෙයින් පළා ගොස් ඉන්දියාවේ දී 'ඉන්දියානු ලෙනින් බෝල්ෂෙවික් පක්ෂය (BLPI) තුළ කටයුතු කළහ.

එම සමසමාජ නායකයන් නැවත ශ්‍රී ලංකාවට ළඟා වීමෙන් අනතුරුව පිලිප් සහ එන්.එම් වැනි නායකයන් යළිත් සම සමාජ පක්ෂයට පණ දෙන ලද නමුත් කොල්වින් ඇතුළු ඔවුන්ගෙන් තවත් කොටසක් පුරුදු පරිදි ලෙනින් බෝල්ෂෙවික් පක්ෂයේ - ලංකා ශාඛාව (BLPI -ceylon unit) ලෙස දිගටම ක්‍රියාත්මක වූහ.

ඒ අනුව ලෙනින් බෝල්ෂෙවික් පක්ෂයේ ආරම්භය ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඊළඟ බෙදීයාම ලෙස දේශපාලන ඉතිහාසයට එක්විණි.

උදාහරණයක් වශයෙන් 1947 පළමු මහ මැතිවරණයේ දී සමසමාජ පක්ෂයෙන් වෙන් වූ ලෙනින් බෝල්ෂෙවික්වාදීහු දේශපාලන පක්ෂයක් ලෙස වෙනම තරඟ වැදුනහ.

1947 මහ මැතිවරණය වන විට පිලිප් ගුණවර්ධන සහ ආචාර්ය එන්.එම්.පෙරේරා ගේ නායකත්වයෙන් ලංකා සම සමාජ පක්ෂයත්, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ නායකත්වයෙන් ලෙනින් බෝල්ෂෙවික් පක්ෂයත් ,දොස්තර එස්.ඒ.වික්‍රමසිංහගේ සහ පීටර් කේනමන්ගේ නායකත්වයෙන් ලංකා කොමියුනිස්ට් පක්ෂයත් ආදී වශයෙන් වමේ දේශපාලනය කණ්ඩායම් තුනකට බෙදී ගොස් තිබුණි.

ඔවුන් මැතිවරණයට තරඟ කරන ලද්දේත් දේශපාලන පක්‍ෂ තුනක් ලෙසය.

Image caption ලංකාවේ සමසමාජ ව්‍යාපාරය ලියොන් ට්‍රොට්ස්කි ගේ ඉගැන්වීම් අත්හැර දමන ලද බවට ඉන් කැඩී ගිය කණ්ඩායම් චෝදනා කරති

බෙදීම වමේ ඉදිරි ගමනට බල පෑ හැටි

1935 දී 'සමසමාජ' බැනරය යටතේ සංවිධානය වූ ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය වසර දහයක් වැනි කෙටි කාලයක් තුළ දේශපාලන පක්‍ෂ තුනකට කැඩී යාම එම විකල්ප දේශපාලන බලවේගය දුබල කිරීමට හේතු වූ ආකාරය 1947 මහමැතිවරණ ප්‍රතිපලය මගින් පෙන්නුම් කෙරිණි.

එම මැතිවරණයේ දී ලංකා සමසමාජ පක්ෂය පාර්ලිමේන්තු ආසන දහයක්ද, ලංකා කොමියුනිස්ට් පක්ෂය ආසන තුනක් ද දිනා ගනිද්දී ලෙනින් බෝල්ෂෙවික් පක්ෂය ආසන පහක් දිනා ගත් අතර ඔවුන් එකම බලවේගයක් ලෙස එම මැතිවරණයට තරඟ වැදුනේනම් සමස්ත මැතිවරණ ප්‍රතිපලයේ වෙනසක් අපේක්ෂා කළ හැකි විය.

1947 මැතිවරණ යේ දී එවක පාර්ලිමේන්තුවේ ආසන අනූපහකින් (95) එක්සත් ජාතික පක්ෂයට දිනාගැනීමට හැකිවුණේ ආසන 42ක් පමණක් වූ අතර, වෙන් වෙන්ව තරඟ වැදුන තත්ත්වයක් යටතේ වුවද එදා පැවති වාමාංශික දේශපාලන පක්‍ෂ තුන ආසන දහ අටක්(18) දිනා ගැනීමට සමත් වූහ.

ඊට අමතරව ස්වාධීන මන්ත්‍රීවරුන් විසිඑක් (21) දෙනකු සිටි අතර එක්සත් ජාතික පක්ෂයේ නායක ඩී.එස්.සේනානායකට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය පවා අහිමි විය.

එම අවිනිශ්චිත මැතිවරණ ප්‍රතිපලය අනුවඑස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක වැනි එවක 'ප්‍රගතිශීලී' යයි පිළිගැනීමක් තිබුණ දේශපාලනඥයන් ද දිනා ගනිමින් විකල්ප ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රයත්නයක් (යමුනා සාකච්ඡාව) පවා වාමාංශික නායකයන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වුවද එම උත්සාහය අසාර්ථකභාවයෙන් කෙළවර විය.

පිලිප් ගුණවර්ධන වෙන්වෙයි

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඊළඟ බෙදීම සටහන් කෙරුණේ ලංකාවේ "මාක්ස්වාදයේ පියා" ලෙස විරුදාවලි ලද පිලිප් ගුණවර්ධන සමසමාජ පක්ෂයෙන් ඉවත්ව විප්ලවකාරී සම සමාජ පක්ෂය ආරම්භ කිරීමත් සමඟය.

ඒ වනවිට කොල්වින් ආර් ද සිල්වා යටතේ පැවති 'ලෙනින් බෝල්ෂෙවික් පක්ෂය' විසුරුවා හරිමින් ඔවුන් නැවත ලංකා සමසමාජ පක්ෂයට එක්ව සිටියත් පිලිප්ගේ ඉවත්වීමත් සමඟ ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය යළිත් දෙකඩ විය.

ඉතා කෙටි කාලයක් ඇතුළත පිලිප් ගුණවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක සමඟ සන්ධානගත වෙමින් මහජන එක්සත් පෙරමුණ පිහිටුවීමට දායක වූ අතර, ඒ සමඟ 'විකල්ප වාමාංශික ආණ්ඩුවක්' පිළිබඳව ඇතැමුන් තුළ පැවති බලාපොරොත්තුව එක්සත් ජාතික පක්ෂය වෙනුවට 'විකල්ප දක්ෂිණාංශික ආණ්ඩුවක්' යන මතවාදය දෙසට වේගයෙන් දෝලනය වුණි.

වාමාංශික ව්‍යාපාරය වෙන් වෙන්ව හෝ සහභාගී වූ '1953 හර්තාලය'වැනි සටන් මගින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගෙනගිය ශක්තිමත් දේශපාලන අරගලයේ ඊළඟ ඉලක්කය 'වමේ විකල්ප ආණ්ඩුවක්' වුවත්, පිලිප් ගුණවර්ධන විසින් එම අරගලයේ කීර්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පරිත්‍යාග කිරීම මගින් තීන්දු කෙරුණේ ඊනියා විකල්පය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක බවට බෞතීස්ම කිරීමෙනි.

1960 මාර්තු මැතිවරණයේ දී ලංකාවේ ඊළඟ අගමැතිවරයා එවක විපක්ෂ නායකයා වූ ආචාර්ය එන්.එම්. පෙරේරා හෝ මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන විය හැකි බවට දේශපාලන අනාවැකි පළවුවත් අසමගිව වෙන්ව තරග කිරීමේ ප්‍රතිවිපාකය වුණේ ඔවුන් නියෝජනය කළ දේශපාලන පක්‍ෂ දෙකම පරාජයට පත් වීමය.

මොස්කව් ලයින් සහ චීන ලයින්

මේ අතර එතෙක් එකම කොමියුනිස්ට් පක්ෂයක් ලෙස සංවිධානගතව සිටි ශ්‍රී ලංකාවේ 'ස්ටාලින්වාදීන්ගේ' බෙදීයාම ආරම්භ වූයේ, 1956 ඓතිහාසික සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂ සම්මේලනයේ දී නිකිතා කෘෂෙෆ් විසින් ස්තාලින් (ජෝසෆ් ස්ටාලින්) හෙළා දකිනු ලැබීම චීනයේ දැඩි විරෝධයට හේතුවීමත් සමඟය.

'ස්තාලින්'අවප්‍රමාණ කිරීමේ කෘෂෙෆ් ප්‍රයත්නය මා සේතුං ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ දැඩි කෝපයට හේතු වූ අතර, එය චීන-සෝවියට් සීතල යුද්ධයක ආරම්භය සනිටුහන් කළේය. ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ මහා බෙදීමක් ඇති කළ චීන-සෝවියට් මත ගැටුම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේත් කොමියුනිස්ට් පක්‍ෂ දෙකඩ කිරීමට හේතු විය.

එම තත්ත්වය තුළ ඒ දක්වා එකම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ලංකා කොමියුනිස්ට් පක්ෂයත් 'මොස්කව් පිල' සහ 'චීන පිල' වශයෙන් පක්‍ෂ දෙකකට බෙදී ගියේය,

එයින් ලංකා කොමියුනිස්ට් පක්ෂය (මොස්කව් පිල) එස්.ඒ.වික්‍රමසිංහගේ සහ පීටර් කේනමන් ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ අතර, ලංකා කොමියුනිස්ට් පක්ෂය (පීකිං පිල) එන්.ෂන්මුගදාසන් විසින් මෙහෙයවනු ලැබුණි.

Image copyright Getty Images
Image caption මාඕ සේතුං සෝවියට් දේශය හෙළා දැකීමත් සමඟ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් දෙකඩ විය

කොමියුනිස්ට් පක්ෂයේ එම බෙදීම ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය තුළත් විශාල බෙදීමකට සහ එහි ශක්තිය හීනවීමට හේතු විය.

1963 දී ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ එකාබද්ධව 'එක්සත් වාමාංශික පෙරමුණ' (United Left Front - ULF) පිහිටුවීම මගින් එතෙක් බෙදී තිබුණු වම යළි එකමුතු කරනු ලැබීමත් සමඟ 'වමේ විකල්ප ආණ්ඩුවක්' පිළිබඳ අපේක්ෂාව නැවත දල්වන ලද නමුත් එහි නායකයන් සභාග ආණ්ඩු දේශපාලනය කරා ඇදී ගිය තරඟකාරී වේගයේ ප්‍රමාණයෙන් එම 'වාම' එකමුතුව බිඳී විසිරයාමට ගතවූයේ ඉතාම කෙටි කාල සීමාවකි.

1964 සභාගයත් සමඟ තවත් බෙදීම්

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය මහා පරිමාණයෙන් බෙදී කැබැලි වී යාමේ සන්ධිස්ථානය වාමාංශික පක්‍ෂ 1964 සභාග ආණ්ඩුවට එක් වීමය.

1964 දී අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමඟ සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ලංකා සම සමාජ පක්‍ෂය ගත් පියවර එම පක්ෂය මුල්කර ගත් ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පසුකාලයෙහි කණ්ඩායම් කීපයකට කැඩී යාම තීන්දු කෙරුණ විවාදාත්මක දේශපාලන සංධිස්ථානය වේ.

එඩ්මන්ඩ් සමරක්කොඩි සහ බාලා තම්පෝ වැනි ට්‍රොට්ස්කිවාදී පුරෝගාමීන් 1964 දී සම සමාජ පක්ෂයට අහිමි වූ අතර එම සභාග ආණ්ඩු විරෝධීන් විසින් වෙනත් දේශපාලන පක්‍ෂ ආරම්භ කරනු ලැබීම එම බෙදීයාමේ අවසානය නොව තවත් බෙදීම් රැසක ආරම්භයක් ලකුණු කළේය.

එඩ්මන්ඩ් සමරක්කොඩි විසින් පිහිටුවන ලද ට්‍රොට්ස්කිවාදී දේශපාලන ව්‍යාපාරය විප්ලවකාරී සම සමාජ පක්ෂය (RSP) විය. විප්ලවකාරී සම සමාජ පක්ෂය (RSP) පසුව විප්ලවකාරී කම්කරු සංගමය ලෙස පෙනී සිටියේය. භාවිත දේශපාලනයේ දී 'කම්කරු මාවත' ලෙස හඳුන්වන ලද කලක් කීර්ති බාලසූරිය නායකත්වය දුන් එම පක්ෂය වර්තමානයෙහි 'සමාජවාදී සමානාත්මතා පක්ෂය' ලෙස යළි නම් කරනු ලැබ ඇති අතර විජේ ඩයස් ඊට නායකත්වය දෙයි.

ලංකා වෙළෙඳ සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වූ බාලා තම්පෝ විසින් පසුව තවත් දේශපාලන පක්ෂයකට එනම් විප්ලවකාරී මාක්ස්වාදී පක්ෂය (RMP) ට මුල පුරන ලදී.

ලංකා සම සමාජ පක්‍ෂය අභ්‍යන්තරයේ සිටිමින් ක්‍රියාත්මක වූ 'වාම සමසමාජය' නම් කණ්ඩායම පසුව නීතිඥ වාසුදේව නානායක්කාරගේ සහ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ නායකත්වයෙන් 'නව සම සමාජ පක්ෂය ලෙස සංවිධානය විය. පසුකාලයෙහි නව සම සමාජ පක්ෂයෙන් ඉවත්ව ගිය වාසුදේව නානායක්කාර 'ප්‍රජාතන්ත්‍රවාදී වාමාශික පෙරමුණ' ආරම්භ කරමින් වෙනත් දේශපාලන පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වේ.

නව සම සමාජ පක්‍ෂයේ ආරම්භක ක්‍රියාකාරිකයකු වූ සිරිතුංග ජයසූරිය 'එක්සත් සමාජවාදී පක්ෂය' ආරම්භ කළේය.

1983 'වාමාංශික එක්සත් පෙරමුණ' මෙන්ම 1988 දී ගොඩ නගන ලද 'එක්සත් සමාජවාදී පෙරමුණත්' අල්පායුෂ්ක වාමාංශික සන්ධානයක් විය.

රෝහණ විජේවීර සහ ජනතා විමුක්ති පෙරමුණ

ලංකා සමසමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය (මොස්කව් පිල) සභාග දේශපාලනයට අවතීර්ණ වීමත් සමඟ ඇති වූ අපේක්ෂා භංගත්වයත් සමඟ 1960 දශකයේ දක්නට ලැබෙන ප්‍රවනතාවක් වන්නේ සටන්කාමී මුහුණුවරක් ගත් කුඩා දේශපාලන සංවිධාන කිහිපයක් ම බිහි වීමය.

පාර්ලිමේන්තුව තුළින් බලය ලබා ගැනීම නොව විප්ලවකාරී මාවත් කෙරෙහි යොමු වූ එම නව සංවිධාන අතර වඩාත් තහවුරු වූ දේශපාලන සංවිධානය ජනතා විමුක්ති පෙරමුණය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ රෝහණ විජේවීර දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස කරළියට පැමිණියේ එන්.ශන්මුගදාසන් ගේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙනි.

Image copyright JVP
Image caption රෝහණ විජේවීර නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණත් 1971 කැරැල්ලෙන් පසු කණ්ඩායම් කීපයකට කැඩී ගොස් ඇත.

චීන පිලෙහි කටයුතු කරද්දී ස්වීය දේශපාලන සංවිධානයක් සඳහා රහසිගතව කටයුතු කරන ලද බවට චෝදනා ලද රෝහණ විජේවීර එම පක්ෂයෙන් නෙරපා හරිනු ලැබීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නගනු ලැබිණි.

1971 කැරැල්ලෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ ද යළි කණ්ඩායම් කීපයකට කැඩී ගොස් ඇත.

කැරැල්ලට පෙරම ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ජී.අයි.ඩී.ධර්මසේකර 'මාතෘභූමී ආරක්ෂක පෙරමුණ' නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළ අතර මහින්ද විජේසේකර 1977 දී මහජන විමුක්ති පක්ෂයට මුල පිරීය.

'ජනතා සංගමය' යනු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගිය වසන්ත දිසානායක සහ පැට්‍රික් ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද දේශපාලන ව්‍යාපාරය ය,

මෑතදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණ ආරම්භ කළ අතර, කුමාර් ගුණරත්නම් නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජවිපෙන් කැඩීගොස් ගොඩ නැගුණ අලුත්ම දේශපාලන පක්ෂය වේ.

පැරණි වාමාංශික පක්‍ෂ සභාගවාදී දේශපාලනය තුළ සන්ධානගතවීමත් සමඟ බිහි වූ එකම නව වාමාංශය ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොවේ. ගිනිපුපුර (ඉස්ක්‍රා), පෙරදිග සුළං ,මිටිපහර එවැනි කුඩා සංවිධාන කිහිපයකි. ගාමිණී යාපා,සුමිත් දෙවිනුවර සහ කල්‍යානන්ද තිරාණගම එවැනි විකල්ප විප්ලවීය සංවිධාන ගොඩ නැගීමෙහිලා පුරෝගාමීවූවන් කිහිප දෙනෙකි.

බෙදීමේ ප්‍රතිවිපාක

1982 ජනාධිපතිවරණයේ දී එක් වාමාංශික අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම් ඉදිරියේ එකඟතාවකට පැමිණීමට නොහැකි වූ වාමාංශික පක්‍ෂ නායකයන් තිදෙනෙක් ඊට තරඟ වැදුන අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්ෂකයාට සහයෝගය දුන්නේය.

පසුගිය ජනාධිපතිවරණ කිහිපයකදීම වාමාංශික ගණයට ඇතුළත් කෙරෙන දේශපාලන පක්‍ෂ ප්‍රධාන ලිබරල්වාදී අපේක්ෂයකු වෙනුවෙන් පෙනී සිටි අතර මෙවර (2019) ජනාධිපතිවරණය සඳහා ද බෙදුණු වමක් ලෙස පෙනී සිටිති.

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය වෙන වෙනම තරග වදින බව දැනටමත් ප්‍රකාශ කොට ඇති අතර, සෙසු 'වමේ' දේශපාලන පක්‍ෂ ප්‍රබල අපේක්ෂකයකු වෙනුවෙන් සහයෝගය දීමේ ස්ථාවරය මෙවර ද අනුගමනය කරති.

වමේ පක්‍ෂ ලෙස පෙනී සිටින ඉහත කී පක්‍ෂ ඔවුන් විසින්ම 'දක්ෂිණාංශික' යයි හඳුන්වනු ලබන දේශපාලන පක්‍ෂ සමඟ පහසුවෙන් සන්ධානගත වෙන නමුත් එම වාමාංශික පක්‍ෂ අතර සමගියක් නොවීම වමේ ව්‍යාපාරයේ පසු බැසීමට හේතුවක් වී ඇතැයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය බෙදීයාමේ දේශපාලන ප්‍රතිවිපාක පාර්ලිමේන්තු මැතිවරණ හෝ ජනාධිපතිවරණ ප්‍රතිපල කෙරෙහි පමණක් නොව, එම පක්‍ෂ විසින් අතීතයේ නායකත්වය දෙන ලද කම්කරු පන්ති ව්‍යාපාරය කෙරෙහි ද බලපා ඇති අන්දම අද ඒවා පවතින දුර්වල ස්ථානය තුළින්ද මැනැවින් පෙන්නුම් කෙරෙන බව ද ඔවුන් ගේ මතය වී තිබේ.

කියවන්න;