බ්‍රෙක්සිට්: දැන් සිදුවන්නේ කුමක්ද? අගමැති බොරිස් ජොන්සන් දුෂ්කර අඩියක

Image copyright EPA

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය (බ්‍රෙක්සිට්) දිනෙන් දින ව්‍යාකූල වෙමින් පවතී. ඒ බ්‍රිතාන්‍යයේ විපක්ෂ මන්ත්‍රීවරු සහ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ කැරලිකාර මන්ත්‍රීවරු ආණ්ඩුව පරාජයට පත් කරමින් එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම (No-deal Brexit) වළකාලනු වස් නව නීතියක් සම්මත කර ගැනීම සඳහා වන උත්සාහයේ පළමු පියවර ජය ගැනීමත් සමගය.

328 ට 301 ක් වශයෙන් වැඩි ඡන්ද 27 ක් ලබා ගත් විපක්ෂ සහ කොන්සර්වේටිව් පක්ෂයේ කැරලිකාර මන්ත්‍රීවරු අඟහරුවාදා (සැප්තැම්බර් 03) පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පාලනය කිරීමේ බලය ලබා ගත්හ. එමගින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වන දිනය ප්‍රමාද කර ගැනීම සඳහා නව පනතක් ගෙන ඒමට ඔවුන්ට අවස්ථාවක් ලැබෙනු ඇත.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා බ්‍රිතාන්‍යයට ඇත්තේ තවත් දෙමසකටත් අඩු කාලයකි. පහත දැක්වෙන්නේ ඉදිරියේදී විය හැකි තත්ත්වයන් පිළිබඳ කෙටි විමසුමකි.

එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම - ඔක්තෝම්බර් 31

සැලසුම් කර ඇති පරිදි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් 31 වෙනිදා ග්‍රිනිච් මධ්‍යාහ්න වේලාවෙන් රාත්‍රී 11:00 ට ය.

ඉවත්ව යාමේ කොන්දේසි සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග අලුතින් එකඟතාවකට පැමිණීමට තමන්ට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි. එකඟතාවකට පැමිණීමට නොහැකි වුව ද ඔක්තෝම්බර් 31 වෙනිදා නියත වශයෙන්ම බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වනු ඇති බවට ඔහු ප්‍රතිඥා දී තිබේ.

එකඟතාවකින් තොරව ඉවත් වීමත් සමග වෙළඳාම වඩාත් පහසු කිරීම සඳහා නිර්මාණය කර ඇති යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතර ක්‍රියාත්මක තීරු බදු සහන සහ පොදු වෙළඳපොල බ්‍රිතාන්‍යයට අහිමි වනු ඇත.

එමගින් බ්‍රිතාන්‍ය ආර්ථිකයට හානි සිදු විය හැකි බව දේශපාලනඥයෝ බොහෝ දෙනෙක් සහ ව්‍යාපාර පවසති. ඉන් මතු විය හැකි අනතුරුදායක තත්ත්වය අතිශෝක්තියට නගන බව සෙසු පිරිසගේ අදහසය.

එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම නැවත්වීම සඳහා නව පනතක් ගෙන ඒමේ උත්සහය

එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම කෙරෙහි විරෝධය දක්වන බව පෙන්වා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අවස්ථා ගණනාවකදීම ඡන්දය ප්‍රකාශ කර ඇත. එය වළක්වා ගැනීම සඳහා විපක්ෂය සහ කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් පසුපෙළ මන්ත්‍රීවරු එක්වී නව පනත් කෙටුම්පතක් සම්මත කරගත්හ. එම පනතට පක්ෂව මන්ත්‍රීවරු 329 ක් ඡන්දය භාවිත කළ අතර විරුද්ධ වූයේ මන්ත්‍රීවරු 300 දෙනෙකු පමණි.

මේ වන විටත් විපක්ෂ සහ කැරලිකාර කොන්සර්වේටිව් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පාලනය කිරීමේ බලය සියතට ගෙන තිබේ.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම 2020 ජනවාරි 31 වෙනිදා දක්වා ප්‍රමාද කරන ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුව යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින මෙන් එම පනත මගින් ආණ්ඩුවට යෝජනා කෙරේ.

මේ පනත සැප්තැම්බර් 05 වෙනිදා සාමි මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එය සම්මත වුවහොත් බ්‍රිතාන්‍ය රැජින විසින් ඊට රාජකීය අනුමැතිය ලබා දිය හැකි අතර සඳුදා, එනම් සැප්තැම්බර් 09 වෙනිදා වන විට එය නීතියක් වශයෙන් ක්‍රියාත්මක වනු ඇත.

හදිසි මැතිවරණයක්

නියමිත කාලයට පෙර මහමැතිවරණයක් පැවැත්වීම අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ බලාපොරොත්තුව වී තිබේ. ඔක්තෝම්බර් 15 වෙනිදා මහමැතිවරණය පැවැත්වීමට ඔහුට අවශ්‍යව ඇති බව බීබීසීය වෙත දැන ගැනීමට ලැබිණි.

නමුත් හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා ඔහුට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වේ.

හදිසි මැතිවරණයක් සඳහා යාමේ ඉලක්කය ජය ගැනීමට සිද්ධාන්තමය වශයෙන් තවත් මගක් ඇත. නියමිත කාලයට පෙර මහමැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය සම්බන්ධයෙන් නීතියක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය අවශ්‍ය නොවන අතර ඒ සඳහා සරල බහුතරය පමණක් සෑහේ.

ඔක්තෝම්බර් 31 වෙනිදාට පෙර මැතිවරණය පැවැත්වුවහොත් එම ඡන්ද ප්‍රතිඵලය මත යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලියේ අනාගතය තීන්දු වනු ඇත.

විශ්වාස භංගයක්

එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම වළකාලීමේ නීතිය සම්මත කර ගැනීමට අපොහොසත් වුවහොත් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද පැවතින. එවැනි පියවරකට යා හැකි බව ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් මීට ඉහතදී පවසා ඇත.

විශ්වාස භංග යෝජනාවට පක්ෂව එනම් ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් ඡන්දය ප්‍රකාශ කළහොත් දැනට පවතින ආණ්ඩුවට හෝ නව අගමැතිවරයකු ඇතුළු විකල්ප ආණ්ඩුවකට විශ්වාසය දිනා ගැනීමේ ඡන්දයකට යාම සඳහා දින 14 ක කාලයක් ලැබෙනු ඇත.

ඒ ආකාරයට අලුතින් ආණ්ඩුවක් පත් වුවහොත් බොහෝ දුරට යුරෝපා සංගමයෙන් ඉවත්වීම ප්‍රමාද වීමේ, ඇතැම්විට මහමැතිවරණයක් හෝ ජනමත විචාරයකට යාමේ ඉඩක් පවතී.

විශ්වාසය දිනා ගැනීමේ ඡන්දයෙන් කිසිවකුත් ජයග්‍රහණය නොකළහොත් අගමැති බොරිස් ජොන්සන් යටතේ මහමැතිවරණයක් පැවැත්වෙනු ඇති අතර මැතිවරණය පැවැත්වීම සඳහා යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිත ඔක්තෝම්බර් 31 න් පසු දිනයක් තෝරා ගැනීමට ඔහුට අවස්ථාව හිමිවනු ඇත.

ඔක්තෝම්බර් 31 ට පෙර එකඟතාවකට පැමිණීම

එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම වළකාලීම සඳහා ආණ්ඩුව වඩාත් කැමති විකල්පය වනුයේ ඔක්තෝම්බර් අවසාන වීමට පෙර පාර්ලිමේන්තුව හරහා යුරෝපා සංගමය සමග ඉවත්වීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමය.

නමුත් හිටපු අගමැතිනිය තෙරේසා මේ සහ ඇයගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ දැනට පවතින ගිවිසුම පාර්ලිමේන්තුවේදී අවස්ථා කීපයකදීම පරාජයට පත් විය. එකී ගිවිසුම "පරලොව" ගොස් ඇති බව බොරිස් ජොන්සන් පවසා තිබේ.

යුරෝපා සංගමය සමග අලුතින් එකඟතාවකට පැමිණීමේ ඉඩක් පවතින බවට බ්‍රිතාන්‍ය ආණ්ඩුව බලාපොරොත්තු පළ කරයි. නොඑසේ නම් දැනට පවතින එකඟතාවට සංශෝධන ඉදිරිපත් කිරීම ද එක් විකල්පයකි.

නමුත් උතුරු අයර්ලන්තය සහ අයර්ලන්ත ජනරජය අතර දේශසීමා සහ සෝදිසි කිරීමේ මුරකපොලු ඇති වීමේ හැකියාව වළකාලීමෙන් තොරව සංශෝධන එක් කිරීමට ආණ්ඩුව එරෙහි වේ.

බ්‍රිතාන්‍යය යෝජනා කරන ඕනෑම ආකාරයේ නව යෝජනා මාලාවක් සලකා බලන බව යුරෝපා සංගමය පවසා තිබේ. උතුරු අයර්ලන්තය සහ අයර්ලන්ත ජනරජය අතර දේශසීමා සහ සෝදිසි කිරීමේ මුරකපොලු ඇති වීමේ හැකියාව වළකාලීම ගිවිසුමේ වඩාත් වැදගත් කොටසක් වනු ඇති බව ඔවුහු දිගින් දිගටම පවසති.

බ්‍රෙක්සිට් ප්‍රමාද කිරීම

බ්‍රෙක්සිට් ප්‍රමාද කරනුවස් ආණ්ඩුවට කෙරෙන බලපෑම සඵල වුවත් එය බ්‍රිතාන්‍යයට පමණක් තීන්දු කළ නොහැක. යුරෝපා සංගමයේ සාමාජික රටවල පූර්ණ සහාය ද ඊට හිමි විය යුතුය.

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත යාමේ දිනය දීර්ඝ කර ගැනීමට මීට පෙර හැකියාව ලැබිණ.

බ්‍රෙක්සිට් අවලංගු කිරීම

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් වන නීතිමය යාන්ත්‍රණය ලෙස සැලකෙන 'Article 50' අවලංගු කිරීමේ නීතිමය විකල්පයක් ද තිබේ.

නමුත් පැහැදිලි ලෙසම එය වත්මන් ආණ්ඩුවේ අරමුණ නොවනු ඇත. එවැනි පියවරක් සිතීමට පවා ඉඩ සැලසෙන්නේ ආණ්ඩු වෙනසකින් පමණකි.