සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේ දිවියෙන් සමුගනියි

Image copyright Getty Images
Image caption රොබර්ට් මුගාබේ මිය යන විට අනූපස් වෙනි වියේ පසු විය

නිදහසින් පසු සිම්බාබ්වේ පාලනය කළ පළමු නායකයා වන රොබර්ට් මුගාබේ දිවියෙන් සමුගෙන තිබේ.

මිය යන විට ඔහු අනූපස් වෙනි වියේ පසු විය.

මුගාබේ මිය ගිය බව ඔහුගේ පවුලේ ඥාතීහු බීබීසී වෙත තහවුරු කළහ. පසුගිය අප්‍රේල් මස සිට ඔහු සිංගප්පූරුවේ පිහිටි රෝහලකින් ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

තිස්හත් වසරක් බලයේ රැඳී සිටි මුගාබේ හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව බලයෙන් පහ කෙරුණේ 2017 වසරේදීය.

සිම්බාබ්වේ බහුතර කළු ජාතිකයන් සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා පුළුල් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ මුල් පාලන කාලය ඇගයීමට ලක් විය. නමුත් ඔහුගේ පසු කාලය තුළ අයිතීන් අවභාවිත කිරීම් සහ දූෂණ වාර්තා විය.

එක්සත් රාජධානියෙන් නිදහස දිනා ගැනීමෙන් පසු සිම්බාබ්වේ පැවති පළමු මැතිවරණය ජය ගත් මුගාබේ අගමැති පදවියට පත් වූයේ 1980 වසරේදීය.

1987 වසරේදී අගමැති බලතල අහෝසි කළ ඔහු ඒ වෙනුවට ජනාධිපති ධුරය සඳහා පත් විය.

මුගාබේගේ අනුප්‍රාප්තිකයා වන එමර්සන් ම්නන්ගග්වා, ඔහුගේ අභාවය වෙනුවෙන් දැඩි ශෝකය පළ කරයි. ජනාධිපති ම්නන්ගග්වා විසින් මුගාබේ හඳුන්වනු ලැබුවේ "විමුක්තියේ සංකේතයක්" වශයෙනි.

ම්නන්ගග්වා ජනාධිපති ධුරයට පැමිණීමට පෙර මුගාබේ යටතේ උප ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.

රොබර්ට් මුගාබේ යනු කවුද?

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
කවුද මේ රොබට් මුගාබේ?

රොබර්ට් මුගාබේ 1924 වසරේ පෙබරවාරි 21 උපත ලබා ඇත්තේ එරට සුළුතර සුදුජාතිකයන් විසින් පාලනය කරන ලද එවක රොඩේසියාව (Rhodesia ) නමින් හැඳින්වූ බ්‍රිතාන්‍යට යටත් දේශයේ ය (කොලනිය).

1964 වසරේදී රොඩේසියාවේ ආණ්ඩුව විවේචනය කිරීමෙන් අනතුරුව නඩු විභාගයකින් තොරව දශකයකට අධික කාලයක් ඔහු සිරගත කෙරිණි.

බන්ධනාගාරගත කරනු ලැබ සිටියදීම, එනම් 1973 වසරේදී මුගාබේ සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමයේ (Zanu) සභාපති ධුරයට තෝරා ගැනිණි. ඔහු එම පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි.

බන්ධනාගාරයෙන් නිදහස් වූ මුගාබේ මොසැම්බික් රාජ්‍ය බලා ගිය අතර එහි සිට රොඩේසියාව වෙත ගරිල්ලා ප්‍රහාර මෙහෙයවීය. කෙසේ වුවත් ඔහු සාකච්ඡා මේසයේ දක්ෂයකු ලෙස ද සැලකේ.

අර්බුද අවසන් කරමින් දේශපාලන විසඳුමකට පැමිණීමත් සමග නිදහස් සම්බාබ්වේ ජනරජය බිහි විය.

නිදහස් ව්‍යාපාරයේ කැපී පෙනුණු රොබර්ට් මුගාබේ ජනරජයේ පළමු මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තේය.

කෙසේ වුවත් දශක කීපයක් බලයේ සිටි ඔහු සහ ජාත්‍යන්තරය අතර පැවති අවබෝධය පිරිහුණු අතර මුගාබේ යම් ආකාරයක ආඥාදායකයකු වශයෙන් චෝදනා එල්ල විය.

2000 වසරේදී පළමු වරට දැවැන්ත දේශපාලන විරෝධයකට මුහුණ දෙමින් ඔහු කළු ජාතික ගොවීන් යළි පදිංචි කිරීම සඳහා සුදු ජාතිකයන්ට අයත්ව තිබූ ගොවිපොළ අල්ලා ගැනීමට කටයුතු කළේය. එමගින් සිම්බාබ්වේ ආර්ථිකයට බාධා එල්ල වූ නමුත් මුගාබේගේ ජනප්‍රියත්වය ඉහළ ගියේය.

ඒ අවදියේදීම මුගාබේ හිතවාදී සන්නද්ධ කණ්ඩායම් මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑම් කිරීම සඳහා ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණහ. 2008 වසරේදී මුගාබේ ජනාධිපතිවරණයේ පළමු වටයෙන් පරාජයට පත් වූ අතර විපක්ෂ කණ්ඩායම් වෙත එල්ල වූ ප්‍රහාර ඔහුගේ ප්‍රතිවාදීන් ජනාධිපති තරග බිමෙන් ඉවත්වීමට හේතු විය.

ආර්ථිකය කඩා වැටීම හමුවේ 2009 වසරේදී ප්‍රතිවාදීන් සමග බලය බෙදාගැනීමට මුගාබේට බලකෙරිණි. ඒ අනුව ඔහුගේ ප්‍රතිවාදි මෝර්ගන් ට්ස්වන්ගිරායි අගමැති ධුරයට පත් කෙරිණි.

මේ අතර සිය අනුප්‍රාප්තිකයා වශයෙන් තම බිරිඳ ග්‍රේස් මුගාබේ සූදානම් කෙරෙන බවට අවධානය පළ වෙමින් පවතින අතරතුර මුගාබේට දීර්ඝ කාලීනව සහයට සිටි එරට හමුදාව ඔහුට ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට බල කළේය.

ප්‍රතිචාර මොනවාද?

Image copyright Reuters
Image caption මුගාබේ සිය බිරිඳ ග්‍රේස් සමග

මුගාබේ හිටපු ජනාධිපතිවරයාගේ 'Zanu-PF' පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය තොරතුරු අමාත්‍ය එනර්ජි මුටෝඩි බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඔහුගේ අභාවය හේතුවෙන් සිය පක්ෂය "දැඩි සංවේගයට" පත්ව ඇති බවය.

"ඔහු ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක්, ඔහු, තමා කෙරෙහි විශ්වාසය තැබූ පුද්ගලයෙක්. ඔහු තමන් කළ දේ හා කී දේ ගැන විශ්වාසය තබපු පුද්ගලයෙක්." යනුවෙන් ඔහු කියා සිටියේය.

"ඔහු හොඳ මනුස්සයෙක්"

කෙසේ වුවත් සියලු දෙනා ඊට එකඟ නොවේ.

වරෙක මුගාබේ විසින් "රාජ්‍යයේ සතුරෙකු" වශයෙන් හඳුන්වන ලද සෙනෙට් සභිකයකු වන ඩේවිඩ් කොල්ටාර්ට් කියා සිටියේ දේශපාලන මෙවලමක් වශයෙන් ප්‍රචණ්ඩත්වයට තිබූ ඇල්මෙන් ඔහුගේ පාලනය අවලස්සන වී තිබූ බවය.

"ඔහු සෑම විටම ප්‍රචණ්ඩත්වය සමග බැඳී සිටියා. එය එක්දහස් නවසිය හැට ගණන් දක්වා දිව යනවා. ඔහු මාටින් ලූතර් කිං කෙනෙක් නොවෙයි" යනුවෙන් ඩේවිඩ් කොල්ටාර්ට් බීබීසී ලෝක සේවය වෙත කියා සිටියේය.

"ඒ සම්බන්ධයෙන් ඔහු කිසිදාක වෙනස් වුණේ නැහැ"

කෙසේ වුවත් රොබර්ට් මුගාබේ හිටපු ජනාධිපතිවරයාගේ වෙනත් පැත්තක් ද තිබූ බව ඔහු පිළිගනියි.

"සැබවින්ම අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි මහත් ලැදියාවක් තිබූ පුද්ගලයෙක්. මම හිතන්නේ පසු කාලීනව ඔහු පැසවුවා"

"ඔහු කෙරෙහි විශාල ආදරයක් තිබුණා. මක්නිසාද යත් අප කිසිදාක අමතක නොකළ යුතුයි පීඩාකාරී සුළුතර සුදු පාලනය අවසන් කිරීමට ප්‍රධාන වශයෙන්ම වගකිවයුතු පුද්ගලයා ඔහු බව"

රොබර්ට් මුගාබේ දේශපාලන ගමන් මග

1924: උපත. පසුව ගුරුවරයකු වශයෙන් පුහුණුව ලැබීය

1964: රොඩේසියානු ආණ්ඩුව විසින් සිරගත කරනු ලැබීය

1980: නිදහසින් පසු පැවති මැතිවරණය ජයග්‍රහණය කළේය

1996: ග්‍රේස් මරුෆු සමග විවාහ විය

2000: ජනමතවිචාරය පරාජයට පත් විය - මුගාබේ හිතවාදී සන්නද්ධ කණ්ඩායම් සුදු ජාතිකයන් සතු ගොවිපොළ ආක්‍රමණය කළ අතර ප්‍රතිවාදීන් වෙත පහර දුන්හ

2008: ට්ස්වාන්ගිරායි සමග පැවති ජනාධිපතිවරණ සටනේ පළමු වටයෙන් දෙවනියා බවට පත් විය. සිය ආධාරකරුවන් වෙත රටපුරා එල්ල වූ ප්‍රහාර හමුවේ ට්ස්වාන්ගිරායි මැතිවරණ සටනෙන් ඉවත් විය.

2009: ආර්ථිකය කඩා වැටීම හමුවේ ට්ස්වාන්ගිරායි අගමැති ධුරයේ දිවුරුම් දුන් අතර දුෂ්කරතා මැද ඔහු සිව් වසරක් එහි කටයුතු කළේය.

2017: සිය බිරිඳ ග්‍රේස් වෙත ජනාධිපති ධුරයේ මග හෙළි කරමින් දීර්ඝ කාලීන මිතුරෙකු වූ උප ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා එම ධුරයෙන් ඉවත් කරනු ලැබීය

2017 නොවැම්බර්: හමුදාව මැදිහත් වී ඔහුට ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට බල කෙරිණි.

සබැඳි විෂයයන්