හිමාල ‘පැවිදි දිවියෙන්’ලබා ලොව පුරා විහිදුවන භාවනා ව්‍යාපාරය

Image copyright Andy Puddicombe
Image caption ඇන්ඩි පුඩිකොම්බ් (Andy Puddicombe). පැවිදි ජීවිතයේ

ඔහුගේ නම ඇන්ඩි පුඩිකොම්බ් (Andy Puddicombe). ඔහු කලින් ජීවත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නගරයේ. අපි ඔහු 'ඇන්ඩි' යන කෙටි නමින් හඳුන්වමු.

එවක විසි දෙහැවිරිදි වූ 'ඇන්ඩි' එක්තරා දිනයක සිය මිතුරන් සමඟ ලන්ඩනයේ අවන්හලක් ඉදිරිපිට බලා සිටියදී ඔහු ඉදිරියේ සිදු වුණේ බිහිසුණු අනතුරකි.

බීමත් රියැදුරෙකු විසින් පදවන ලද මෝටර් රථයක් රියැදුරාට පාලනය කර ගත නොහැකිව 'ඇන්ඩි' ඇතුළු මිතුරන් කණ්ඩායම මත කඩා වැදීමෙන් ඔහුගේ මිතුරන් දෙදෙනෙකුගේ ජීවිත විනාශ විය.

එම ඛේදවාචකයට මුහුණ දීමෙන් ගතවුනේ තවත් මාස කීපයක් පමණි. ඔහුගේ සහෝදරියක් බයිසිකලයක් පැද යමින් සිටියදී අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත් වූවාය.

ගතවුණේ තවත් කෙටිකලකි. ඇන්ඩිගේ පැරණි පෙම්වතිය ශල්‍යකර්මයක දී මරු වැළඳ ගත්තාය.

ඇන්ඩි පුඩිකොම්බ් එම ඛේදජනක සිදුවීම් මාලාවට මුහුණ දෙනවිට ක්‍රීඩා විද්‍යාව (sports science) පිළිබඳ උපාධියක් හදාරමින් සිටි ශිෂ්‍යයෙකි..

මුහුණ දීමට සිදු වූ එකී අමිහිරි සිදුවීම් මගින් ඇතිකළ කම්පනය සහ වේදනාව තරුණ සිතකට දරා ගත නොහැකි වූ අතර, ඇන්ඩි උපාධිය පිළිබඳ සිය ඉලක්කය අත්හැර දමමින් ජීවිතයේ වෙනත් මගක් කෙරෙහි යොමු විය.

බිඳ වැටුණු සිහින හමුවේ ඔහුගේ ඊළඟ ඉලක්කය වුණේ 'හිමාලය' වනාන්තරයය.

හිමාලයට ගොස් බෞද්ධ භික්ෂුවක් වීම ඔහුගේ අභිලාෂය බවට පත්විය.

අනතුරුව අපට හමුවන්නේ හිමාලය වනයෙහි බවුන් වඩන තරුණ බෞද්ධ භික්ෂුවකි.

එම සුදු ජාතික හාමුදුරුවෝ ඊළඟ වසර දහය පුරා දවසකට පැය දහසය බැගින් භාවනාවේ නිරත වූහ. භාවනාව මගින් සිය ජීවිතයේ අඳුරු දුක්ඛ වේදනාවලින් ගොඩ ඒමට හැකි වූ බව උන්වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළහ.

"භාවනාව මගින් මට ජීවිතය පිළිබඳ යථා දර්ශනයක් ලැබුණා. තනි පුද්ගලයකු මත අවධානය යොමු කරනවා වෙනුවට, සෙසු අයටත් සතුට උදාකර දීම වැදගත් බව භාවනාව මගින් මම ඉගෙන ගත්තා" දැන් හතළිස්වෙනි වියේ පසුවෙන ඇන්ඩි පුඩිකොම්බ් පවසයි.

කෙසේවුවද, ඇන්ඩි පුඩිකොම්බ්ගේ ජීවිතය ගමන් ගත් දිසාව සම්බන්ධයෙන් එක්තරා කම්පනයකට පත් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් පසුවුණේ කණස්සල්ලෙනි.

"භාවනාවෙන් අත්වෙන ප්‍රතිපල ගැන ඔවුන් කාටවත් අවබෝධයක් තිබුණේ නැහැ. එහෙත් එවැනි අනවබෝධයක් තුළත් ඔවුන්ගෙන් මට ලැබුණේ විශාල සහයෝගයක්. ඔවුන් මාව දිරිමත් කළා"

හිමාලයේ ගතකළ ඇන්ඩි 2005 වසරේ ආපසු එක්සත් රාජධානියට ළඟා විය. ඔහුගේ ඉලක්කය වුණේ "භාවනා වැඩ සටහනක් " ආරම්භ කිරීමය. එහෙත් එකල භාවනාව එක්සත් රාජධානියේ පුළුල් පිළිගැනීමක් සහිත භාවිතයක් නොවුණි.

"ඇතැමුන් භාවනාව පිටුපස ඇති 'භාෂාව' නිසා ඉන් ඈත් වෙනවා.එහෙමත් නැත්නම් භාවනා කිරීම 'හිපි' (hippy) උප සංස්කෘතියට අයත් කණ්ඩායම්වල වැඩක් කියල දකිනවා" ඇන්ඩි පුඩිකොම්බ් පවසයි.

"භාවනාව ළඟා වෙන්න දුෂ්කර තත්වයක්. මිනිස්සුන්ට භාවනා කරන්න වෙලාවක් නැහැ. එහෙමත් නැත්නම් භාවනා කරන්නේ කොහොමද කියල දන්නේ නැහැ"

කෙසේවුවද, ඇන්ඩි පුඩිකොම්බ්ගේ ඊළඟ පියවර වුණේ ලන්ඩන් නගරයේ භාවනා මධ්‍යස්ථානයක් පටන් ගැනීමය. දෛනික ජීවිතයේ දී වෘත්තිකයන් මුහුණ දෙන ගැටලුවලට සහනයක් සඳහා භාවනාව භාවිත කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඇන්ඩි පුද්ගලයන් දැනුවත් කරන්නට විය.

Image copyright Headspace
Image caption රිචර්ඩ් පියර්සන් (Richard Pierson) සහ ඇන්ඩි පුඩිකොම්බ් (Andy Puddicombe).

තිස්අට හැවිරිදි රිචර්ඩ් පියර්සන් (Richard Pierson) එම ගමනේ දී ඇන්ඩිට හමු වූ භාවනා සහකරුවෙකි. රිචර්ඩ් දැන් ඇන්ඩිගේ භාවනා ව්‍යාපෘතියේ සහකාර නිර්මාතෘවරයා ලෙස ක්‍රියා කරයි.

ඔවුන් ආරම්භ කරන ලද 'හෙඩ්ස්පේස්' (Headspace) භාවනා 'ඇප්'(app)අඩවිය වේගයෙන් ජනප්‍රිය වෙමින් ඇති අතර, ලොවපුරා පන්කෝටි හතළිස් ලක්ෂයකට අධික (මිලියන 54) ග්‍රාහකයන් විසින් එය බාගත(download) කරනු ලැබ ඇත. එමගින් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් කෝටි දහයකට (මිලියන 100) අධික බව පැවසේ.

රිචර්ඩ් පියර්සන් යනු 2005 වසරේ දී ගැටලුවලට මුහුණ දී සිටි වෘත්තිකයකු වූ අතර ඔහු සහනයක් පතා ඇන්ඩි සොයා පැමිණි තැනැත්තෙකි.

"මම ඇන්ඩි හමුවෙන කොට දැඩි මානසික ආතතියකින් හිටියෙ"රිචර්ඩ් පවසයි.

"මම දිගින් දිගටම සමාජ කාංසාවකින් පෙළුණා.ඒක හරිම අභියෝගාත්මක තත්ත්වයක්.එම පීඩනය සැහැල්ලු කර ගැනීම සඳහා, ඒ දුක බෙදා ගන්න මිතුරු සමාජයක් මට තිබුණේ නැහැ"

"පළමු භාවනා සැසියෙන් පස්සෙ මගේ ඔළුවෙ කොයිතරම් සිතුවිලි තෙරපෙමින් තිබුනද කියන කාරණේ ඉස්මතු වුණා.මගේ ජීවිතේ කොයිතරම් උන්මාද සහගතද කියල තේරුණා. ඒ සමඟම 'මාවතක්' තියෙන බවේ ප්‍රබෝධය මම සොයා ගත්තා" රිචර්ඩ් තවදුරටත් කියා සිටී.

භාවනාව මගින් රිචර්ඩ් ලද සහනය කොතරම්ද යත්, ඇන්ඩි සමඟ භාවනාව ලොව පුරා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියකට අත ගැසීමට ඔහු තීන්දු කළේය.

"එය හොඳ කුසලතා හුවමාරුවක් වුණා " රිචර්ඩ් පවසයි.

Image copyright Headspace
Image caption ලොස් ඇන්ජලීස් Headspace ප්‍රධාන කාර්යාලයේ තුන්සීයක් පමණ සේවය කරති

"ඇන්ඩි මට භාවනාව ඉගැන්නුවා. ඇන්ඩි වඩාත් දෘශ්‍යමාන කෙරෙන්නේ කොහොමද කියන අදහස් ගොන්නක් අරගෙන මම ඔහුට ළඟා වුණා. මම හිතන්නේ - ඇන්ඩි ඔහුගේ කාමරයට කොටුවෙලා ඉන්න එක මදිකමක්"

2010 වසරේ පටන් ඇන්ඩි සහ රිචර්ඩ් එක්සත් රාජධානිය පුරා භාවනා වැඩමුළු ආරම්භ කළහ.එමගින් ඔවුන්ට භාවනාවේ ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමට අවස්ථාව උදා විය. එපමණක් නොව භාවනා සැසිවලට එන කණ්ඩායම් නිර්මාණය කිරීමට ද ඔවුහු සමත් වූහ.

රිචර්ඩ් සහ ඇන්ඩි 'හෙඩ්ස්පේස්' (Headspace app) මෘදුකාංගයේ පළමු අදියර නිර්මාණය කරන ලද්දේ මිතුරන්ගෙන් ලද උදව් සහ භාවනා සැසි මගින් ලද මුදල් උපයෝගී කර ගනිමිනි.

වාසනාවකට මෙන් එකී ආරම්භයේදීම ඊට විශාල ප්‍රචාරයක් ලැබුණ අතර, එක්සත් රාජධානියේ 'ගාඩියන්' පුවත්පත එක් සෙනසුරාදාවක ඔවුන්ගේ සෑම පුවත්පතකටම 'හෙඩ්ස්පේස්' (Headspace) පත්‍රිකාවක් ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

ඒ අතරම,වර්ජින් ඇට්ලාන්ටික් (Virgin Atlantic) ගුවන් සමාගම ඔවුන්ගේ යානාවන්හි මගීන්ට විනෝදය සපයන වැඩ සටහන් අතරට 'හෙඩ්ස්පේස්' (Headspace) භාවනා ඇතුළත් කරන ලදී.

එම තත්ත්වය 'හෙඩ්ස්පේස්' (Headspace app) ඇප් බාගත කරන ග්‍රාහක සංඛ්‍යාවේ විශාල වැඩිවීමකට හේතු වූ අතර, අද ඒ සඳහා මාසයකට පවුම් නවයයි පැන්ස 99ක (£9.99) මුදලක් අය කෙරේ.

රිචර්ඩ් 'හෙඩ්ස්පේස්'(Headspace app) ව්‍යාපාරයේ ප්‍රකාශකයා ය.

"මුලදී මේ කාර්යය ඉටුකළේ අපි දෙන්නා විතරයි.කවුරුවත් අපට තවත් සල්ලි නොදෙන තත්ත්වයක් යටතේ, අපි අපේ මිතුරන්ගෙන් උදව් විතරක් ඉල්ලුවා"

"අපේ එක යාළුවෙක් එයාගේ පටිගත කරන මැදිරිය අපට නොමිලේම දුන්නා.තවත් යාළුවෙක් කාර්යාලයක් දුන්නා.සමහර උදවිය තේරුම් අරන් හිටියා - ඇත්තටම අපි කරන්නේ මොකක්ද කියල.අඩු මුදලට ඔවුන් අපට වැඩ කෙරුව. අපි ඔවුන් කළ මෙහෙයට තුති පුදනවා" රිචර්ඩ් පවසයි.

2013 වසරේ දී රිචර්ඩ් සහ ඇන්ඩි ඔවුන්ගේ "භාවනා ව්‍යාපාරය"ලන්ඩන් නගරයෙන් 'ලොස් ඇන්ජලීස්' නගරයට රැගෙන ගියහ.

එදා පටන් ඔවුන්ගේ පදිංචිය සහ ව්‍යාපාරික මූලස්ථානය 'ලොස් ඇන්ජලීස්' නගරය වේ.

'හෙඩ්ස්පේස්'(Headspace app) සමස්ත ව්‍යාපාරයෙහි මේවනවිට තුන්සීයක් පමණ සේවය කරති. එහි වැඩ සටහන්වලට හඬ සපයන්නේ ඇන්ඩි විසිනි.

" ගුවන් තොටුපොලවලදී සහ ආපන ශාලාවල දී මහජනතාව මගේ කටහඬ අඳුනා ගන්නවා.මගේ දත් දොස්තරවරිය 'හෙඩ්ස්පේස්'(Headspace app) අහන බව මට තේරුණා.ඇය යමක් ත්රුම් ගෙන සිටින බව මට ඇයගේ ඇස්වලින් පෙනුණා" ඇන්ඩි පවසයි.

නීල් සෙලිග්මාන් (Neil Seligman) භාවනා පිළිබඳව ලියන ගත් කතුවරයෙකි. 'හෙඩ්ස්පේස්' (Headspace app) මගින් ඩිජිටල් අවකාශයේ 'අර්ථවත් විප්ලවයක්' සිදු වූ බව සෙලිග්මාන් පවසයි.

'හෙඩ්ස්පේස්'(Headspace) යනු හුදෙක් 'ඇප්' මෘදුකාංගයක් පමණක් නොවේ. ගූගල්, Linkedin,ජෙනරල් ඉලෙක්ට්‍රික් සහ යුනිලීවර් ඇතුළු තුන්සියයකට අධික වෙළෙඳ ව්‍යාපාර එම ආයතනයන්හි කළමනාකරුවන්ට සහ සෙසු කාර්ය මණ්ඩලවලට උදව් කිරීමට 'හෙඩ්ස්පේස්' සේවය ලබා ගනිති.

එපමණක් නොව, ඇමෙරිකා එක්සත් ජනපදයේ 'හාවර්ඩ්' සහ 'ස්ටැන්ෆර්ඩ් වැනි සරසවිවල සහ එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍යය සේවයේ (NHS) භාවනාවේ ප්‍රතිලාභ පිළිබඳව ඉගැන්වෙන අධ්‍යාපන වැඩ සටහන්වලටද 'හෙඩ්ස්පේස්'(Headspace) සහභාගී වේ.

ඒ අතරම කළින් මෙන් පැය දහසයක් නොවුනත් ඇන්ඩි තවමත් දිනපතාම භාවනාවේ නිරත වේ. රිචර්ඩ් ද භාවනාවට වෙලාව සොයාගනී.

"අපි දෙන්නා හැමදාම භාවනා කරනවා. අපි භාවනාව විශ්වාස කරනවා"රිචර්ඩ් පවසයි.

කියවන්න;