බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මොකද වෙන්නේ?

Image copyright Reuters

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු ඔක්තෝබර් 14 වෙනිදා තෙක් සති පහක කාලයක් නිල වශයෙන් අත්හිටුවා තිබේ.

ඒ සමගම පාර්ලිමේන්තුව තුළ කලබලකාරී තත්ත්වයක් ඇතිවිය. ඇතැම් මන්ත්‍රීවරු "නිහඬ කළා" යනුවෙන් සඳහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළ අතර ඇතැම් දෙනා "ඔබ ගැන ලජ්ජයි" යනුවෙන් ඝෝෂා කළහ.

මෙම සිදුවීම් හටගත්තේ ඔක්තෝබර් මාසයේදී හදිසි මහ මැතිවරණයක් කැඳවීමට අගමැති බොරිස් ජොන්සන් ගත් උත්සහය දෙවැනි වරටත් පරාජය වීමෙන් පසුවය.

විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු ඊට සහය දැක්වීම ප්‍රතික්ෂේප කළහ. ඔවුන් පවසන්නේ එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම වළක්වන නීතියක් ප්‍රථමයෙන් ගෙන ආ යුතු බවය.

හදිසි මහ මැතිවරණයක් සඳහා වූ අගමැතිවරයාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 293 ක් ලැබුණද එය, අවශ්‍ය තුනෙන් දෙකේ වරමට වඩා ඉතා අඩු සංඛ්‍යාවකි.

කෙසේවෙතත්, බ්‍රිතාන්‍ය වේලාවෙන් අඟරුවාදා (සැප්තැම්බර් 10) අලුයම දෙක උදාවීමට පෙර පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවනු ලැබීය.

මීට පෙර තමා තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළ කථානායක ජොන් බර්කොව්, පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීම සංකේතවත් කරමින් මන්ත්‍රීවරුන් සමග පෙළගැසී සාමි මන්ත්‍රී මණ්ඩලය වෙත යෑමට නියමිතව තිබිණි.

නමුත් විරෝධය පළකළ විරුද්ධ පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරු ඔහුගේ ගමන වැලකීමට උත්සාහ දැරූහ.

රාත්‍රියේදී මන්ත්‍රීවරු සම්ප්‍රදායික වේල්ස් සහ ස්කොට්ලන්ත ගීත ගයමින් පාර්ලිමේන්තුව තුළ ම රැඳී සිටියහ.

පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති සති පහ තුළදී පක්ෂවලට තම වාර්ෂික සම්මේලන පැවැත්විය හැකි නමුත් කිසිදු විවාදයක්, ඡන්දයක් හෝ පාර්ලිමේන්තු කමිටු වාරයක් නොපැවැත්වෙනු ඇත.

එම කාලය නිම වනතුරු අගමැතිවරයාට ඉදිරිපත් කරන ප්‍රශ්න වලට පිළිතුරු නොදෙනු ඇත.

පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති බැවින්, මහ මැතිවරණයක් කලින් පැවැත්වීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් නැවත පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙන තුරු, මන්ත්‍රීන්ට නොලැබේ.

ඒ අනුව නොවැම්බර් මාසය වනතුරු මැතිවරණයක් පැවැත්විය නොහැක.

නව රජයක් බලයට පත්වූ විට පාර්ලිමේන්තුව අත්හිටුවීම සාමාන්‍ය දෙයකි. එමගින් මහ රැජිනගේ කතාව හරහා නව නීතිසම්පාදන ක්‍රියාවලියක් ප්‍රකාශයට පත් කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවේ.

නමුත් මෙවර එහි කාල පරාසය හා තත්කාලීන ස්වභාවය, පාර්ලිමේන්තුව කල් තැබීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතු කිරීමට හේතු විණි.

පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීම නවතාලීම සඳහා අධිකරණය හරහා අසාර්ථක ප්‍රයත්න කිහිපයක් ගැනුණද ඒ පිළිබඳ තීරණය සම්පූර්ණයෙන් රජය සතු වූවකි.

සඳුදා තවත් බොහෝ දේ සිදු විය.

•අගමැතිවරයා තවත් පරාජයක් ලැබීය. එහිදී පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීම සහ එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන හුවමාරු වූ කරුණු ප්‍රකාශයට පත් කරන ලෙස කෙරෙන ඉල්ලීම් සඳහා මන්ත්‍රීවරු එකඟතාව පළ කළහ.

•එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම වළකාලන නෛතික කරුණු උල්ලංඝනය කිරීම නිසා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අගමැතිවරයාට අවවාද කෙරිණි.

•නීතියට අනුකූලව කටයුතු කරන මෙන් රජයට බල කරන යෝජනාවක් මන්ත්‍රීවරුන් විසින් අනුමත කරනු ලැබීය. කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් එම යෝජනාව සභාගත කළේය.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් බ්‍රසල්ස් බලධාරීන් සමග එකඟතාවට පැමිණ හෝ නොපැමිණ, ඔක්තෝබර් 31 වෙනිදා යුරෝපා සංගමයෙන් ඉවත්වනු ඇති බව දැනට එක්සත් රාජධානියේ නීතියේ සඳහන් වේ.

නමුත් නව ක්‍රමවේදයකට මහ රැජිනගේ කැමැත්ත සඳුදා ලැබිණි. එමගින් යුරෝපා සංගමයෙන් ඉවත්වීම 2020 ජනවාරි 31 වෙනිදා දක්වා පමා කරන ලෙස අගමැතිවරයාට බල කෙරෙනු ඇත.

එය බලාත්මක වන්නේ, එකඟතාවක් ඇතිව හෝ නැතිව යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ඔක්තෝබර් 19 වෙනිදා වනවිට මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය නොලැබෙන්නේ නම් පමණි..

බීබීසී දේශපාලන කර්තෘ ලෝරා කුවෙන්ස්බර්ග් පවසන්නේ එම නීතිය අභිබවා යෑමට අගමැති කාර්යාලය උත්සහ නොකරනු ඇති නමුත් එයින් ගැලවී යා හැකි මගක් සොයමින් සිටින බවය.

යුරෝපීය සංගමය සමග සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති කාලය යොදා ගන්නා බව අගමැති ජොන්සන් පවසයි.

"මගේ අත් බැඳ දැමීමට කුමන ක්‍රමයක් සොයා ගත්තද, රටේ අවශ්‍යතාව වෙනුවෙන් එකඟතාවක් ලබා ගැනීමට මම වෙහෙසෙනවා," ඔහු පැවසීය.

"රජය තවදුරටත් යුරෝපා සංගමයෙන් ඉවත්වීම පමා කරන්නේ නැහැ."

ඔක්තෝබර් 31වෙනිදා එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම වළක්වාලන ලෙස සම්පාදිත නෛතික කරුණ නීතිගත වුවහොත්, තමා මැතිවරණයක් සඳහා සහාය දෙන බව කොර්බින් කී බව මන්ත්‍රීවරුන් අමතමින් අගමැතිවරයා පැවසුවේය.

"ඔහුගේ ම තර්කය අනුව, ඔහු දැන් මැතිවරණයට සහාය දිය යුතුයි."

නමුත් කම්කරු පක්ෂය, ස්කොටිෂ් ජාතික පක්ෂය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්, හරිත පක්ෂය, වෙනසක් සඳහා වූ ස්වාධීන කණ්ඩායම සහ වේල්ස් ජාතික පක්ෂය යන සියල්ලෝ, එකඟතාවකින් තොරව ඉවත්වීමේ නීතිය ක්‍රියාත්මක කරන තුරු තමන් මැතිවරණයකට සහාය නොදෙන බව පවසති.

මේ වනවිට අගමැති ජොන්සන්ට පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීම සඳහා ආසන 20ක් පමණ අඩුය.

එමනිසා ඔහුට ක්‍රියාශීලී රජය මෙහෙයවාගෙන යාම අපහසු වනු ඇත.

බ්‍රෙක්සිට් ප්‍රමාද කිරීම

බ්‍රෙක්සිට් ප්‍රමාද කරනුවස් ආණ්ඩුවට කෙරෙන බලපෑම සඵල වුවත් එය බ්‍රිතාන්‍යයට පමණක් තීන්දු කළ නොහැක. යුරෝපා සංගමයේ සාමාජික රටවල පූර්ණ සහාය ද ඊට හිමි විය යුතුය.

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත යාමේ දිනය දීර්ඝ කර ගැනීමට මීට පෙර හැකියාව ලැබිණ.

බ්‍රෙක්සිට් අවලංගු කිරීම

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් වන නීතිමය යාන්ත්‍රණය ලෙස සැලකෙන 'Article 50' අවලංගු කිරීමේ නීතිමය විකල්පයක් ද තිබේ.

නමුත් පැහැදිලි ලෙසම එය වත්මන් ආණ්ඩුවේ අරමුණ නොවනු ඇත. එවැනි පියවරක් සිතීමට පවා ඉඩ සැලසෙන්නේ ආණ්ඩු වෙනසකින් පමණකි.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර