මැවුම්වාදය වේල්සයේ පාසල් පන්ති කාමරයට රිංගවීමට එරෙහිව බුද්ධිමතුන්ගේ විරෝධය

වේල්ස් ,අධ්‍යාපනය Image copyright Getty Images
Image caption ළමුන්ට පරිණාමවාදය ඉගැන්වීම බුද්ධිමතුන්ගේ ඉල්ලීම වී ඇත

වේල්සය විසින් හඳුන්වා දෙනු ලැබ ඇති නව පාසල් අධ්‍යාපන විෂය දහරාව අනුව දේව නිර්මාණවාදී ඉගැන්වීම් (creationism) යළිත් පාසල් තුළට රිංගා ගැනීම සඳහා දොරටු විවෘතවීමක් සිදුවිය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

එම කරුණ පෙන්වා දෙන විද්‍යාඥයන් අතරට ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ ද එක්ව සිටී

එවැනි විද්‍යාඥයන් හතළිස් හය දෙනකුගේ (46) අත්සනින් සහ තවත් සංවිධානවල එකතුවෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති ලිපියක් මගින් දේව නිර්මාණවාදී ඉගැන්වීම් (creationism) නිශ්චිතවම තහනම් කරන ලෙස වේල්ස් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත.

මේ අතර "හියුමනිස්ට්ස් UK"( Humanists UK) නම් සමාජ සංවිධානයත් එම ව්‍යාපාරයට එක්වෙමින් ප්‍රාථමික පාසල් දරුවන්ට "පරිණාමවාදය"( evolution) ඉගැන්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කරයි.

සියලු පාසල් දරුවන්ට 'පරිණාමවාදය' උගන්වනු ඇතැයි බලාපොරොත්තු වන බව වේල්ස් ආණ්ඩුව මේ අතර ප්‍රකාශ කරයි.

වේල්සයේ පාසල් සඳහා සූදානම් කරනු ලැබ ඇති නව විෂය දහරාව 2022 සැප්තැම්බර් මාසයේ පටන් ක්‍රියාවට නැංවීමට නියමිතව ඇති අතර,එමගින් විද්‍යාව සහ තාක්ෂණය ද ඇතුළුව පුළුල් අංශ හයක් සැලකිල්ලට ගනිමින් අලුත් විෂය දහරාව සකස් කරනු ලැබ ඇති බවත් වේල්ස් ආණ්ඩුව පවසයි.

පසුගිය අප්‍රියෙල් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද කෙටුම්පතක් අනුව ඒ ඒ විෂයයන්ට අන්තර්ගත කරුණු තීන්දු කිරීමට අවස්ථාව ලබාදීම මගින් තමන් විසින් පාඩම්වල දී ආවරණය කරනු ලබන කරුණු පිළිබඳ තොරතුරු තීන්දු කිරීමේ දී ගුරුවරුන්ට 'නම්‍යශීලී බවක්' ලැබෙනු ඇත.

Image caption සමාජ මානව විද්‍යාඥවරියක වන ඇලිස් රොබර්ට්ස් විද්‍යාඥයන්ගේ ලිපියට අත්සන් තබා ඇත

එම තත්ත්වය සම්බන්ධයෙන් පෙර අනතුරු ඇඟවීමක් කරන රිචර්ඩ් ඩොකින්ග්ස් (Richard Dawkins), ස්ටීව් ජෝන්ස් (Steve Jones) සහ ඇලිස් රොබර්ට්ස් (Alice Roberts) වැනි නමක් දිනූ විද්‍යාඥයන් කණ්ඩායමක්, නව වෙනස්කම් නිසා 'විද්‍යාවක්' ලෙස හුවා දක්වමින්, දේව නිර්මාණවාදී ඉගැන්වීම් (creationism) වේල්සයේ පාසල්වල ඉගැන්වීමට ඇති ඉඩකඩ පුළුල් කෙරෙන බව පෙන්වා දෙති.

"නව විද්‍යාව සහ තාක්ෂණය ලෙස හඳුන්වා දී ඇති අධ්‍යයනයේ දී නිර්මාණවාදී මත සහ විද්‍යාව යයි වැරදි ලෙස ගත් සාම්ප්‍රදායික මතවාද සහ න්‍යාය (pseudoscientific theories) ඉදිරිපත් කරනු ලැබීම නිශ්චිතව තහනම් කිරීමක් සිදු වෙන්නේ නැහැ. පරිණාමවාදය සම්බන්ධයෙන් සඳහන් කෙරෙන්නේ ද්විතීයික අධ්‍යාපන මට්ටමේ දී පමණයි"විද්‍යාඥයන් විසින් වේල්ස් ආණ්ඩුවට යොමු කරනු ලැබ ඇති ලිපියේ දැක්වේ.

"පරිණාමවාදය මුල් අදියරේ සිටම හඳුන්වා දිය යුතුයි. ඇත්තෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේ පටන්. මොකද? එමගින් ශක්තිමත් පදනමක් ඇති කරන නිසා"

"දේව නිර්මාණවාදය නිශ්චිතව තහනම් නොකළොත් දෙවියන්ගේ පැවැත්ම සහ ජීවීන්ගේ ආරම්භය පිළිබඳ නිර්මාණවාදී අදහස් සහ වෙනත් එවැනි සාම්ප්‍රදායික මතවාද සහ න්‍යාය පාසල් විෂය දහරාව ඇතුළට රිංගා ගන්න ඉඩකඩ තියෙනවා. වේල්සයේ ළමුන් සාම්ප්‍රදායික මතවාදී න්‍යායවලට සහ විද්‍යාවේ වේෂයෙන් එන ව්‍යාජ මූලධර්මවලට ගොදුරු නොකිරීම ඉතාම වැදගත්"

"වේල්සයේ පාසල්වල නිර්මාණවාදය පිළිබඳ අවිදග්ධ න්‍යාය ඉගැන්වෙන බවක් තමා දැන නොසිටි බව වේල්සයේ "හියුමනිස්ට්ස්" ( Wales Humanists) සංවිධානයේ සම්බන්ධීකාරිකා කැතී රිඩික් (Kathy Riddick) පවසන්නීය.

"කෙටුම්පත් කර ඇති විෂය රටාව නිසා ආගමික පාසලකදී වගේ පාසල්වලත් දේව නිර්මාණවාදය විවෘත මට්ටමින් ඉගැන්වීමට අවශ්‍ය දොරටු විවෘත වෙනවා" ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අදාළ කාරණය සම්බන්ධයෙන් වේල්ස් ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් මෙසේ සඳහන් කළේය.

"පරිණාමවාදය ඉගැන්වෙන්නේ අවුරුදු දාහතර සහ දහසය අතර වයස් ප්‍රමාණයේ දී යයි පැවසීම සහමුලින්ම වැරදියි"

ළමා වියේදීම පරිණාමවාදය පිළිබඳව ළමුන්ට අවබෝධයක් ලබාදීම, පසුව වඩාත් විද්‍යාත්මක සංකල්ප හොඳින් තේරුම් ගැනීම සඳහා පදනමක් සකස් කිරීමෙහි ලා උදව් වෙන බව අපි විශ්වාස කරනවා" එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Image copyright Getty Images
Image caption ඩේවිඩ් ඇටෙන්බරෝ - විද්‍යාඥයන් හතළිස් හතර දෙනාගේ ලිපියට අත්සන් තබා ඇති මහා විගවේෂණශීලියා

"මිත්‍යා මතවලට අධ්‍යාපනය තුළ ඉඩක් නැහැ"

"අප දන්නා හැටියට එක්සත් රාජධානියේ පන්තිකාමරවල එක ආගමක් නොව සියලු ප්‍රධාන ආගම් පිළිබඳව දැනුම ලබා දීමක් සිදු කෙරෙනවා. ඒක ඉතාම වැදගත්.මොකද? එවැනි තත්වයක් යටතේ ළමුන්ට ආගමික ඉගැන්වීම් සම්බන්ධයෙන් තුලනාත්මකව අගය කිරීමට අවස්ථාවක් ලැබෙනවා. එසේ නොමැතිව දේව නිර්මාණවාදය ළමුන්ගේ මනසට රිංගවීම අනුමත කළ හැකි පිළිවෙතක් නොවෙයි" කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩබ්ලිව්.ජී.කුලරත්න පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ මහාචාර්යවරයා ආගම පාසලින් තොරව ඉගැන්වීම වැදගත් බවත්, ඒ සඳහා ආගමික ආයතන වැනි වෙනත් ස්ථාන ඇති බවත් සඳහන් කළේය.

"අද ලෝකය ගමන් කරන්නේ විද්‍යාත්මක චින්තනය පදනම් කර ගනිමින්. ළමුන්ට ඉගැන්විය යුත්තේ ජීවිතය සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ගැටලු හරහා බව සමස්ත ලෝකයම පිළිගත් කරුණක්.එවැනි තත්ත්වයක් යටතේ මගේ වචනයෙන්ම කියනවා නම් මිත්‍යා විශ්වාසයන්ට අධ්‍යාපනය තුළ ඉඩක් නැත කියන එක මගේ අදහසයි" මහාචාර්ය ඩබ්ලිව්.ජී.කුලරත්න අවධාරණය කළේය.

"අපි ඉගැන්විය යුත්තේ පරිණාමවාදයයි. මිනිසා පරිණාමයේ ප්‍රතිපලයක්"

"ආගම පාසල් විෂය දහරාවෙන් ඉවත් කළ යුතුය යන අදහස අපේ රටවල ජය ගැනීම දුෂ්කරයි. මොකද?මේ අධ්‍යාපන ප්‍රතිපත්ති බොහෝවිට සකස් කරනු ලබන්නේ දේශපාලඥයන් විසින්. අපේක්ෂිත වෙනස එකවර වහාම ඉටුකර ගන්න බැහැ. උදාහරණයක් විධියට බෞද්ධාගම පාසල් විෂය දහරාවෙන් ඉවත් කිරීමට ගියොත් එය විශාල මහජන විරෝධයකට හේතු වෙනවා. නමුත් අපි දැනට යෝජනා කරලා තියෙනවා - තුලනාත්මක ආගම් අධ්‍යාපනයක් පිළිබඳව" මහාචාර්ය ඩබ්ලිව්.ජී.කුලරත්න පවසයි.

කියවන්න;

සබැඳි විෂයයන්