තායිලන්තයේ 'කොටි පන්සල': බේරාගැනීමෙන් පසු කොටින් 86 ක් මියගිහින්

Tiger

විවාදයට තුඩු දුන් තායිලන්ත බෞද්ධ විහාරස්ථානයක කොටුකර සිටියදී මීට වසර තුනකට පමණ ඉහතදී බේරාගන්නා ලද කොටියන් 147 දෙනාගෙන් අඩකට වැඩි කොටින් මියගොස් ඇති බව බලධාරීහු පවසති.

'කොටි පන්සල' ලෙසින් සංචාරකයන් අතර ජනප්‍රියව තිබූ වට් පා ලුවඞ් තා බුවා (Wat Pha Luang Ta Bua) විහාරස්ථානයෙන් කොටියන් 2016 දී ඉවතට ගෙනයාමෙන් අනතුරුව කොටියන් 86 ක් මියගොස් තිබේ.

ඉවතට ගෙනයාමේ දී හටගත් නොසන්සුන්තාවෙන් අනතුරුව වෛරස් රෝගයක් වැළඳීමෙන් ඔවුන් බොහෝ දෙනා මියගොස් ඇති බව බලධාරීහු පවසති.

එමෙන්ම කොටින් එකම කණ්ඩායමක් අතර වර්ගයා බෝකිරීමෙන් (සහාභිජනනය) ඔවුන් ජානමය රෝගවලට ලක්ව ඇති බව ද සත්ත්වෝද්‍යාන බලධාරීන්ගේ අදහස වී තිබේ.

එහෙත් පරිසරවේදීන් පවසන්නේ බලධාරීන් එම කොටියන් සුරක්ෂිතව රඳවා තැබුවේද යන්න සැකසහිත බවය.

මේ අතර තමන් භාරයේ සිටියදී සතුන්ට හිංසා කළ බවට, නීති විරෝධී ලෙසින් ඔවුන් බෝ කළ බවට සහ සතුන් ජාවාරමේ යෙදුන බවට එල්ලවන චෝදනා විහාරස්ථානය භාර භික්ෂුන් වහන්සේ ප්‍රතික්ෂේප කරති.

2016 සිට වට් පා ලුවඞ් තා බුවා විහාරස්ථානයට පැමිණීමට මහජනතාවට අවසර නැත. එමෙන්ම එයට එරෙහිව නඩු විභාග ගණනාවක් ද පැවැත්වේ.

Image copyright Reuters

රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් විහාරස්ථානයේ භාරකාර අතිහත් ශ්‍රීමනී (Athithat Srimanee), සහභිජනනය හේතුවෙන් කොටින් මියගොස් ඇති බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළේය. "අනුන්ට දොස් පැවරීමේ ක්‍රියාදාමයක" නිරතව සිටින බවට ඔහු ආණ්ඩුවට චෝදනාවක් ද එල්ල කළේය.

එහෙත් තායිලන්ත වනජීවී මිතුරන්ගේ පදනමේ (Wildlife Friends Foundation Thailand (WFFT)) නිර්මාතෘ එඩ්වින් වියෙක් බීබීසී සමඟ කියා සිටියේ කොටින් ඉතා කුඩා කූඩුවල රඳවා සිටි බවය. එබැවින් ඉතා පහසුවෙන් ලෙඩ රෝග බෝවිය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රමාණවත් ආහාර, පිරිසුදු ජලය සහ ඔබ මොබ යාම සඳහා ප්‍රමාණවත් ඉඩක් තිබුණේ නම් කොටින්ට වැළඳී තිබුණ රෝගය සුව කළ හැකිව තිබූ බවය.

"අවංකව කිවුවොත්, කොටි මේ තරම් ප්‍රමාණයක් එකපාරට භාරගන්න කැමති වෙන්නේ කවුද?" ඔහු විමසීය. "බලධාරීන් ඒකට වෙනත් අයගෙන් උදවු ගන්න තිබුණා. ඒ වෙනුවට ඔවුන් කළේ සේරම වැඩ තමන්ටම පවර ගන්න එක."

ආණ්ඩුව භාරයේ රඳවාගෙන සිටි කොටියන් මෙතරම් ප්‍රමාණයක් මියයාමත් සමඟ තායිලන්තයේ පමණක් නොව චීනය සහ ලාඕසය වැනි රටවල පවා සත්වෝද්‍යානවල සිටින කොටින් ගහනය එන්න එන්නම වැඩිවීම පාලනය කරන්නේ කෙලෙසද යන්න ගැන අවධානය පලවෙමින් පවතී.

ඊනියා "කොටි ෆාම්" වල සිටින කොටින් ප්‍රමාණය පාලනය කිරීමට කටයුතු කරන බවට තායිලන්තය සහ ලාඕසය ප්‍රතිඥා දුන්න ද, කොටි ගහනය දිගින් දිගටම වැඩි විය.

තායිලන්තයේ කොටින් 2000 ක් පමණ රඳවාගෙන සිටින අතර, එයින් බහුතරය සිටින්නේ පුද්ගලික හිමිකරුවන් යටතේය.

Image copyright Wfft

එසේ රඳවාගෙන සිටින කොටින් ප්‍රදර්ශනය කිරීම සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි සුපිරි ව්‍යාපාරයකි. විශේෂයෙන්ම තායිලන්තයේ සංචාරය කරන විදේශිකයන්ගෙන් තුනෙන් එකක්ම චීන ජාතිකයන් වන අතර ඒ බොහෝ දෙනා කොටින් නැරඹීමට ප්‍රිය කරති.

කොටි පන්සල යනු කුමක්ද?

බැංකොක් අගනුවර බටහිර ප්‍රදේශයේ කන්චන්බුරි (Kanchanaburi) ප්‍රදේශයේ එය පිහිටා තිබේ.

ඉතා ජනප්‍රියව තිබූ සමයේ එය නැරඹීම සඳහා ඩොලර් 16 ක පමණ මුදලක් ගෙවීමට සංචාරකයන්ට සිදුවිය. කොටින් සුරතල් කිරීම, ආහාර දීම හෝ කොටින් සමඟ ඡායාරූප ගැනීම සඳහා අමතර මුදලක් ගෙවීමට සිදුවිය.

එමෙන්ම මුදල් රැස්කිරීම පිණිස විහාරස්ථානයේ භික්ෂූන් කොටින් බෝ කිරීමේ ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගිය බව නැෂනල් ජියෝග්‍රෆික් සඟරාව වාර්තාකර තිබිණි.

එහි වන සතුන් ජාවාරමක් ද සිදු වූ බවට සාක්ෂි තිබිණැයි තායිලන්ත වනජීවී මිතුරන්ගේ පදනම චෝදනා කරන නමුත් එය සනාථ කිරීම පිණිස උදාහරණ දක්වා නැත.

2016 දී පොලිසිය විසින් විහාරස්ථානය වැටලූ අවස්ථාවේ එහි අධි ශීතකරණයේ තිබී මියගොස් සිටි කොටි පැටවුන් 40 කගේ සිරුරු සහ තවත් සත්ත්ව සිරුරු කොටස් සොයාගනු ලැබිණ.