අහිකුණ්ඨික ප්‍රජාව: දරුවන්ගේ 'හොස්ටල්' වියදම් ගෙවාගත නොහැකිව ලතවෙන සෙල්වමලර්

Image caption තෙළිගු ජනයා ''වාඩි'' ලෙස හඳුන්වන ඔවුන්ගේ කුඩාරම් නිවාස

"අපි, අපේ ගෑණු ළමයි දෙන්නාට උගන්වන්නේ රත්නපුරේ ඉස්කෝලෙක හොස්ටල් එකේ නතර කරලා. ඒ දෙන්නට මාසෙට දොළොස්දාස් පන්සීයක් යවන්න ඕන. පුතාලා දෙන්නා අම්මලා ළඟ ඉඳන් ඉස්කෝලේ යවනවා. ලේසි නෑ මහත්තයෝ මේ ගේම දෙන්න'

එය මහියංගනයේ මහවැලි පාලම අසළදී මට හමු වූ තෙලිඟු බස කතා කරන 'අහිකුණ්ඨික' ප්‍රජාවට අයත් මවක් මුහුණ දී ඇති ගැටලුවකි. තිස්තුන් වියේ පසුවන ඇය නමින් දේවදාස සෙල්වමලර්ය. ඇය සැමියා සමඟ හඳුන්කූරු අළෙවි කරමින් ජීවත් වන්නීය.

"මේක විස්තර කතා කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි මහත්තයෝ. කීයක් හරි හොයාගන්න තියෙන වෙලාව. හැන්දෑවේ හතරහමාර වෙනකොට අපි ගෙදර එනවා. වැඩි විස්තර දැනගන්න ඕනනම් ඒ වෙලාවට එන්න'' යනුවෙන් කියමින් ඇය 'රැහේ' ඇත්තන් ජීවත් වන වාඩි දෙසට අත දිගු කරමින් ඉක්මන් ගමනින් මහියංගන නගරය දෙසට ගියාය.

ශ්‍රී ලංකාවේ ජීවත් වන තෙලිඟු බස කතා කරන ජනයා අතීතයේදී ස්ථිර වාසස්ථානයක් නොමැතිව, තැනින් තැනට යමින් 'අහිකුණ්ඨික' ජීවිත ගත කළහ. එහෙත් අද වන විට ඔවුන්ගෙන් කොටසක් ස්ථිර නිවාස සාදාගෙන ජීවත් වෙති.

ස්ථිර නිවාස ඇතත් මුදල් ඉපයීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගොස් කූඩාරම් තුළ ටික දිනක් ගතකරන ඔවුහු නැවත නිවාස වෙත පැමිණෙති. ගත වූ දශකය තුළ එම ජනයා භාවිත කරන පුද්ගල නාම, ඔවුන්ගේ ඇඳුම්, අදායම් මාර්ග ඇතුළු බොහෝ දේ බෙහෙවින් වෙනස්වී ඇති බවක් දැනට ලැබෙයි.

'අහිකුණ්ඨික' (අහිගුණ්ටික) ජීවිත පිළිබඳව වැඩි විස්තර දැනගැනීමේ අදහසින් මම සෙල්වමලර් දැනුම්දුන් වේලාවටත් පෙර ඔවුන්ගේ නවාතැන අසළට ගියෙමි.

තෙළිගු ජනයා ''වාඩි'' ලෙස හඳුන්වන ඔවුන්ගේ කුඩාරම් නිවාස තුළ කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත. ඇතැම් "වාඩිවල" වහලය ගලවා දමා තිබූ අතර ඒවායේ ඉතිරිව තිබුණේ බිත්තිවලට ගත් කෝටු සැකිල්ල පමණි.

Image caption සෙල්වමලර් ගේ සැමියා, චමින්ද ප්‍රසාද් වික්‍රමසිංහ

සවස පහ පමණ වන විට 'අහිකුණ්ඨික' වාඩි ඉදිරිපිට රතු පැහැති ත්‍රිරෝද රථයක් නතර විය. ඉන් බැසගත්තේ සෙල්වමලර් සහ ඇගේ සැමියා ය. සෙලවමලර්ගේ අතෙහි මිරිස් තුනපහ අඩංගු ෂොපින් බෑගයකි. ඇගේ සැමියාගේ අතෙහි අලුතින් මිළ දී ගත් වළඳකි.

"දවල්ට මේ වාඩිවල කවුරුත් නෑනේ. තිබිච්ච හැලිවලං ටික ඊයේ මොකෙක් හරි හොරකම් කරලා. අපි අලුත් වළඳක් ගෙනවා'' සෙල්වමලර් ගේ සැමියා, චමින්ද ප්‍රසාද් වික්‍රමසිංහ ත්‍රිරෝද රථයෙන් බැස ගත්තේ එසේ පවසමිනි.

සෙල්වමලර්, සිය වාඩිය තුළට රිංගා ගත්තාය. කරත්ත අඹරාවක හැඩය ගන්නා එම නිවසේ දොරෙන් වැඩිහිටියෙකුට හිස පහත් නොකර ඇතුළු විය නොහැක. අඩි පහක් පමණ උස වාඩිය දිගින් අඩි නමයක් පමණ වෙයි. පළල අඩි හතක් තරම්ය. නිදන කාමරය, මුළුතැන්ගෙය, සාලය සියල්ලටම ඇත්තේ මේ සීමිත ඉඩකඩ පමණි. "නයි පෙට්ටිය" ආදී සියල්ල තැන්පත් කර ඇත්තේ ඒ තුළය. නිවස පිරිසිඳු කිරීමට, අතුගෑමට කොස්සක් නොමැති නිසා සෙල්වමලර් රෙදි කැබැල්ලක් ගෙන පොළව පිස දැමුවාය.

මා සමඟ කතාබහ අතරතුර 'චමින්ද' රාත්‍රී ආහාර පිසීමට අවශ්‍ය දර රැගෙන ආවේය.

''අපි රෑට තමයි හොඳට බඩ පිරෙන්න කන්නේ. ඒ වෙලාවට මාළු, කරවල නම් තියෙන්නම ඕන'' යනුවෙන් චමින්ද පැවසුවේ ඔවුන් රැගෙන ආ මාළු ඇතුළත් බෑගය බිරිඳ අතට දෙමිනි.

සෙල්වමලර් පළමුව සහල් ලිපමත තැබූ අතර සහල් සේදූ වතුරෙන්ම මාළුත් සේදුවාය.

අනතුරුව ඇය පිසගත් බත ප්ලාස්ටික් බඳුනකට දමා එම ඇතිළියටම මාළු දමා එය ලිපමත තැබුවාය. මාළු පිසගත් සෙල්වමලර් එම ඇතිළියටම එළවළු වර්ග කීපයක් එකට දමා ව්‍යංජනයක් සාදන අයුරු දක්නට ලැබුණි. මේ අතර රැකියාවට ගොස් සිටි ඔවුන්ගේ 'රැහේ' තවත් සාමාජිකයෙක් කූඩාරමට ළඟා විය.

Image caption වාඩියේ රාත්‍රී ආහාරය පිසින සෙල්වමලර්

'බාර්' වසනදාට වාඩි අතහැර යාම

ඔහුගේ මුවින් මත්පැන් ගඳ වහනය විය. චමින්ද, මා කවුදැයි ඔහුට හඳුන්වා දීමෙන් පසු අමුත්තා මෙලෙස හඬ අවදි කළේ ය.

"මගේ නම එච්.ඒ සුගත්. මම සාත්තර කියනවා. අද අටදාහක් හෙව්වා. මට තියෙන ප්‍රශ්නය 'අයිඩින්ටියක්' නැති එක. අපට ස්ථිර පදිංචියක් නැති නිසා ග්‍රාමසේවක කෙනෙක් ළඟට ගියහම අයිඩින්ටි හදන්න බෑ කියනවා" සුගත් පවසයි.

තබුත්තේගම සහ අන්දරවැව ඇතුළු ගම්මාන කීපයක තෙලිඟු ජනයා ස්ථිර නිවාස සාදාගෙන ජීවත්වෙන අතර ඔවුන් හැඳුනුම්පත් සකස්කරගෙන තිබේ. මෙම ගැටලුව පවතින්නේ එලෙස ස්ථිර නිවාස නොමැති පුද්ගලයන්ට පමණි. මේ අතර ඇතැමුන් කුලී පදනම මත නිවාස ලබාගෙන එම ලිපිනයන් භාවිත කර හැඳුනුම්පත් සදා ගෙන ඇති බව ද ඔවුන් සමඟ කළ කතාබහේදී දැන ගන්නට ලැබුණි.

මම මින් පෙරත් අවස්ථා කීපයකදී ම අහිකුන්ඨික ජනයා සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමි. එහිදී මට පැහැදිළි වූයේ මොවුන් දිවා කාලයේදී රැකියා සඳහා යන විට 'වාඩි' මුරකිරීම සඳහා බොහෝ විට එක් පුද්ගලයකු නතර කරන බවය. ඔහු වාඩි මුර කිරීම වෙනුවෙන් එක් වාඩියකින් රුපියල් දෙසීය බැගින් අය කරනු ලැබේ.

තෙළිඟු බස කතා කරන මොවුන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි බව විශ්වාස කෙරේ. ලංකාවේ 'අහිකුණ්ඨික' ජනයා ඉන්දීය 'කුරවර්' ගෝත්‍රයට සමානකම් දක්වන බව පර්යේෂකයන්ගේ අදහසය. එහෙත් අද ඔවුන්ගෙන් බොහෝ දෙනා සිංහල බස කතා කරති. එමෙන්ම පිරිමින් මෙන්ම කාන්තාවන්ද මත්පැන් පානයට යොමුවී ඇත.

"මෙතන හිටපු ගොඩක් කට්ටිය බිබිල වගේ පැතිවලට ගියා. මොකද දන්නවද? මහියංගන පන්සලේ පෙරහැර නිසා මේ දවස්වල මෙහේ 'බාර්' වහලනේ. අනික පොලීසියෙන් දාලා අපිව එළවනවා'' යනුවෙන් චමින්ද පැවසුවේ දිග සුසුමක් හෙළමිනි.

මිනිසුන් පිනවා මුදල් සෙවීම

Image caption නයි නැටවීමෙන් ජීවිතය ගෙනයන අහිකුන්ඨික තරුණයෙක්

නයි නැටවීම, රිලවුන් නැටවීම, පිඹුරන් සමග කරන ත්‍රාසජනක ක්‍රියා ප්‍රදර්ශනය ආදියෙන් ඔවුහු මුදල් උපයා ගනිති.

ගමින් ගමට ඇවිදිමින්, නයි නටවමින් ජීවත් වූ අහිකුණ්ඨික ගෝත්‍රයක් ගැන පන්සිය පනස් ජාතක පොතේ 'චම්පෙය්ය' ජාතකයෙන් සහ සද්ධර්මාලංකාරයේ 'අහිකුණ්ඨික වත්ථු' මගින් පැහැදිළි වෙයි.

තැනින් තැනට යාමේදී බඩු ගෙනයාම සඳහා යොදාගත් බුරුවා සහ ආරක්ෂාවට මෙන්ම දඩයම් කිරීමට සහය වෙන බල්ලා අතීතයේදී මොවුන්ගේ ජීවිතය හා බැඳුනු සතුන් වෙති.

හින්දු ආගම අදහන මෙම ජනයා පෝය දිනවල සතුන් මැරීමෙන් වැළකී සිටිති. සාස්තර කීම ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ අහිකුණ්ඨික කාන්තාවන් විසිනි.

වැසි දින වලදී මේ කුඩාරම් තුළ සිටීම ඉතා අපහසුය. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී සර්පයන් දෂ්ට කිරීම් ද සිදුවන බව සෙල්වමලර් පවසන්නීය.

"නෝනා, දෙන්න මගේ ෆෝන් එක. මම පෙන්නන්නම් ඊයේ රෑ වාඩියට ඇදුන පොළොන් දණ්ඩා.'' යනුවෙන් පැවසූ චමින්ද ඔහුගේ ජංගම දුරකතනයෙන් ලබාගත් ඡායාරූපයක් පෙන්වීය.

චමින්ද වැඩිදුරටත් පැවසුවේ දරුවන්ටත් මෙම දුක්බර ජීවිතය විඳීමට ඉඩ තැබිය නොහැකි නිසා පාසල් නිවාඩු කාලයට දරුවන් නැන්දනියගේ නිවසට හෝ කුලී නිවසකට කැඳවාගෙන ගොස් ඔවුන් සමග එහි නිවාඩු කාලය ගත කරන බවය. තමන්ගේ රැහේ නායකයා තඹුත්තේගම සිටින බවත් ගැටලු ඇතිවන විට ඔහු සමග සාකච්ඡා කරන බවත් චමින්ද වැඩිදුරටත් පවසයි.

"සමහර වෙලාවට අපට පොලිසි වලින් කේස් එනවා. ඒ වෙලාවට අපේ ප්‍රධානියා මැදිහත් වෙලා ඒවා විසඳලා දෙනවා" සෙල්වමල්ර්ගේ හඬයි.

ප්‍රාදේශීය සභාවට තරග කිරීම

'අහිකුණ්ඨික' ජනයා දැන් දේශපාලනය කෙරෙහිද උනන්දුවක් දක්වති. තෙළිඟු බස කතා කරන 'මුනියන්ඩිගේ ධර්මේ' පසුගිය පළාත්පාලන මැතිවරණයේදී තලාව ප්‍රාදේශීය සභාවට තරග කොට ඇත.

බොහෝ වේලාවක් කතාබහ කරමින් සිටින අතර කෙමෙන් අඳුර ගලමින් තිබුණි. සෙල්වමලර් කුප්පි ලාම්පුවක් දැල්වූවාය.

ඔවුන්ගෙන් සමුගත් මොහොතේ සෙල්වමලර් මෙසේ සඳහන් කළාය.

"මහත්තයෝ, ඔය මොනවා ලියාගෙන ගියත් වැඩක් නෑ- අපේ ප්‍රශ්න ටික විසඳලා දෙන්නේ නැත්නම්"

කියවන්න;