තුර්කි ප්‍රහාර: කුර්දි සටන්කාමීන් ඉලක්ක වූ ප්‍රහාරවලදී සිරියානු ගම්මාන රැසක් තුර්කිය යටතට

සිරියානු ගම්මාන රැසක් තුර්කිය යටතට Image copyright Reuters

තුර්කිය විසින් සිරියාවේ එල්ල කරනු ලබන ප්‍රහාරවලට එරෙහිව සම්බාධක පැනවීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බව ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයින් නිවේදනය කර තිබේ.

කොංග්‍රස් මණ්ඩල සභික ලීස් චෙනී පැවසුවේ, "අපේ කුර්දි මිත්‍ර පාර්ශවයන්ට ලෙස එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් බරපතළ ප්‍රතිවිපාකයන්ට" මුහුණ දීමට තුර්කියට සිදුවනු ඇති බවය.

ඇය මෙම ප්‍රකාශය කළේ, මෙම ගැටුම නිරාකරණය කිරීමට මැදිහත් වීමට අපේක්ෂා කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමගිනි.

බදාදා (ඔක්: 09) තුර්කිය සිරියාවේ උතුරු ප්‍රදේශයට ඇතුළු වූයේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකානු හමුදා එම ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමෙන් පසුවය.

තුර්කි ප්‍රහාරවල දෙවන දිනය වූ බ්‍රහස්පතින්දා (ඔක්: 10) උතුරු සිරියාවේ කුර්දි පාලනය යටතේ පැවති ප්‍රදේශවල දැඩි සටන් වාර්තා විය.

Image copyright Getty Images

තුර්කිය පැවසුවේ, ඉලක්කගත ස්ථාන ගණනාවක බලය තහවුරු කර ගනිමින් කුර්දි සටන්කාමීන් රැසක් ඝාතනය කළ බවය.

මේ වන විට දස දහස් සංඛ්‍යාත ජනතාවක් තම නිවෙස්වලින් පලා යමින් සිටින බව වාර්තා වන අතර කුර්දි වාර්තා අනුව සිවිල් වැසියන් කිහිප දෙනෙකු ඝාතනය වී තිබේ.

තුර්කිය පවසන්නේ, තමන් විසින් රැකවරණ සලසනු ලැබ ඇති සිරියානු සරණාගතයින් මිලියන ගණනක් ද සිටින එම ප්‍රදේශයෙන් කුර්දි සන්නද්ධ පිරිස් ඉවත් කර "ආරක්ෂිත කලාපයක්" නිර්මාණය කිරීමට අවශ්‍ය බවය.

කුර්දි නායකත්වයෙන් යුත් සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා (SDF) යටතේ පැවති එම ප්‍රදේශයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමෙන් පසුව දිගු කලක් සැලසුම් කරන ලද තුර්කි ප්‍රහාරය ආරම්භ විය. ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්) කණ්ඩායමට එරෙහි සටනේදී සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයක් ලෙස ක්‍රියා කළ අතර ඔවුන්ගේ බහුතර කුර්දි සටන්කාමීන් තුර්කිය විසින් සලකනු ලබන්නේ, ත්‍රස්තවාදීන් ලෙසිනි.

තුර්කියේ මුලිකත්වය ලැබෙන ප්‍රහාර, ආස් අප් අයින් සහ තාල් අබ්යාද් යන සිරියා - තුර්කි දේශ සීමාවට ආසන්න නගරවලට එල්ල වී තිබේ.

මේ වන විට තාල් අබ්යාද් ප්‍රදේශයේ නැගෙනහිරින් පිහිටි ගම්මාන රැසක් තුර්කි හමුදා විසින් අත්පත් කර ගනු ලැබ තිබේ.

තවදුරටත් කියවන්න.