ඉන්දියාව: රදගුරු අතින් දූෂණය වූ කන්‍යා සහෝදරියට වතිකානයෙන් පිහිටක් නැහැ

ලුසී කලප්පුරා(Lucy Kalappura),කතෝලික Image copyright ANI
Image caption 2019 අගෝස්තු මාසයේ ආගමික සභාවෙන් නෙරපා හරින ලද ලුසී කලප්පුරා(Lucy Kalappura)නම් කන්‍යා සහෝදරිය

කතෝලික රදගුරුවරයකු විසින් තමා දූෂණය කරන ලදැයි චෝදනා කරන ඉන්දියානු කිතුනු කන්‍යා සහෝදරියක් වතිකානය මගින් ද තමාට යුක්තියක් ඉටු නොවූ බව පවසන්නීය.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ "ෆ්‍රැන්සිස්කානු ක්ලැරිස්ට්"කිතුනු නිකායට (FCC)අයත් ලුසී කලප්පුරා(Lucy Kalappura) නම් කන්‍යා සහෝදරිය, රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට (Franco Mulakkal) එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ආගමික සභාවෙන් නෙරපා හරිනු ලැබ සිටින්නීය.

එසේ නෙරපා හරින ලද නමුත් තමා වාසය කරන කන්‍යාරාමයෙන් පිටව නොයන බව බව කියා සිටින කන්‍යා සහෝදරිය තමාට යුක්තිය පතා අධිකරණය ඉදිරියට යාම සඳහා සැලසුම් කරමින් සිටින බව කියා සිටින්නීය.

ලුසී කලප්පුරා (Lucy Kalappura) කන්‍යා සහෝදරිය, රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට එරෙහිව 2018 වසරේ දියත් කෙරුණු විරෝධතා ව්‍යාපාරයකට හවුල් වී ඇත.

2014 සහ 2016 අතර කාලය ඇතුළත රදගුරු මුලක්කාල් තමා කිහිප වතාවක් දූෂණය කළ බවට කන්‍යා සහෝදරිය චෝදනා කළ අතර එම චෝදනා මත ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

එහෙත් රදගුරු මුලක්කාල් ඔහුට එරෙහි සියලු චෝදනා බැහැර කරයි.

Image caption වතිකානය විසින් කන්‍යා සහෝදරියගේ අභියාචනය ප්‍රතික්‍ෂේප කරන ලද ලිපියේ පිටපතක්

ලුසී කලප්පුරා කන්‍යා සහෝදරිය නෙරපා හරින ලද්දේ ආගමික සභාවේ විධිමත් නීති උල්ලංඝනය කෙරෙන ඇයගේ ජීවන රටාව සැලකිල්ලට ගනිමින් යයි කේරලයේ "ෆ්‍රැන්සිස්කානු ක්ලැරිස්ට්"කිතුනු සභාව (FCC)පවසයි.

එහෙත් සභාවෙන් නෙරපා හැරීමට සැබෑ හේතුව තමා රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට එරෙහිව විරෝධතා ව්‍යාපාරවල දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලැබීම යැයි කන්‍යා සහෝදරිය කියා සිටී.

"වතිකානයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් මම සෑහීමකට පත්වන්නේ නැහැ" ලුසී කලප්පුරා කන්‍යා සහෝදරිය බීබීසි හි යෝගිතා ලිමායේ (Yogita Limaye) සමඟ සඳහන් කළාය.

පල්ලියේ නිලධාරීන් තමාගේ පැත්තෙන් කරුණු විමසීමට අඩුතරමින් තමාට කතාකිරීමටවත් ක්‍රියා නොකළ බව කන්‍යා සහෝදරිය කියා සිටින්නීය.

"මම කන්‍යාරාමයෙන් පිට වෙන්නේ නැහැ. මගේ ජීවන රටාව සකස් වෙලා තියෙන්නේ ආගමික සභාවේ නීති සහ රෙගුලාසිවලට අනුකූලවයි" ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

"කන්‍යා සහෝදරිය සම්බන්ධයෙන් දෙන ලද තීරණය තම නෛතික අයිතිවාසිකම්වලට පටහැනි යයි හැඟී යන්නේනම් එම තීරණය සම්බන්ධයෙන් ඇයට යළි "පිහිටක්" පැතිය හැකි බව රෝමයේ වතිකානයෙන් ලද ලිපියෙහි සඳහන් වෙතත් එවැනි අභියාචනයක් කිරීමේ අදහසක් නොමැති" බව ද ඇය කියා සිටින්නීය.

මට දෙවැනි අභියාචනයක් සඳහා අවසරය ලැබී තිබෙනවා. නමුත් ඔවුන් ඔවුන්ගේ මතය ප්‍රකාශ කළාට පස්සේ එවැනි අභියාචනයක් කිරීමේ තේරුමක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ.මගේ ඊළඟ පියවර ආගමික සභාවේ බලධාරීන්ගේ නීතිවිරෝධී හැසිරීමට මුහුණ දෙන්නන් සහ ඔවුන් විසින් පීඩාවට ලක් කරනු ලබන සියලුදෙනා වෙනුවෙන් උසාවියට යාමයි" " ලුසී කලප්පුරා කන්‍යා සහෝදරිය බීබීසි සමග ප්‍රකාශ කළාය.

Image caption "ඉන්දියාවේ කතෝලික සභාව ලිංගික අපචාර ඉදිරියේ නිහඬ ඇයි?"

රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට එරෙහිව තවත් කන්‍යා සහෝදරියන් පිරිසක් ද විරෝධය පළකර ඇත.

දූෂණ අපචාර ඉදිරියේ "ඇස් වසාගෙන" සිටින බවට එම කන්‍යා සහෝදරියෝ කේරලයේ කතෝලික සභාවට මෙන්ම වතිකානයට ද චෝදනා කරති.

ඉන්දියාවේ සිටින වතිකාන තානාපතිවරයාට, පවතින තත්ත්වය තමන් ලිපියකින් දැනුම් දෙන අතරවාරයේ වතිකානයට පවා ලියා ඇතත් එම දෙපාර්ශ්වයෙන්ම කිසිදු ප්‍රතිචාරයක් නොලද බවත් ඔවුහු පවසති.

ඒ අතරවාරයේ කේරලයේ කතෝලික සභාව ඉහත කී විරෝධතා ක්‍රියාමාර්ග ගත් කන්‍යා සහෝදරියන්ට එරෙහිව දඬුවම් කිරීමේ වැඩ පිළිවෙලකට ගොස් ඇත.

විනය ක්‍රියාමාර්ග ගන්නා බවට කෙරෙන අනතුරු ඇඟවීම් සහ වෙනත් ආයතනවලට මාරුකර යැවීම් පිළිබඳව දැනුම්දීම් ඊට ඇතුළත් වේ.

"රදගුරුවරයා ආරක්ෂා කර ගැනීම සඳහා ආගමික සභාවේ බලධාරීන් සාක්‍ෂි විනාශ කිරීමේ ප්‍රයත්නයක නිරතවෙමින් සිටින බව කේරලයේ අධිකරණයක් ඉදිරියේ සාක්ෂිදුන් එක් කන්‍යා සහෝදරියක් විනිසකරුට කියා සිටියාය.

කියවන්න;