බීබීසී සියයක් කාන්තාවෝ: බුදුදහමේ සිව්වණක් පිරිස යළි පිහිටුවීමට මහාචාර්ය පදවිය අත්හළ භික්ෂුණිය

Image copyright PARIS JITPENTOM/BBC THAI
Image caption ධම්මානන්දා භික්ෂුණිය

ථෙරවාදී බුදුදහම පවතින තායිලන්තයේ බෞද්ධ භික්ෂුණීන්ට හිමි විය යුතු නිසි ස්ථානය ලබා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක නිතර වන බෞද්ධ භික්ෂුණියක වාර්ෂිකව තෝරා ගැනෙන බීබීසී සියයක් කාන්තාවන් අතරට ඇතුළත් වී තිබේ.

භික්ෂුණියක වීමේ අරමුණින් ඇය සිය විශ්වවිද්‍යාල රැකියාව අතහැර මේ වන විට වසර 16 ක් ගත වී ඇති අතර, අදටත් ඇය තර්ක කරන්නේ භික්ෂුණී ශාසනයක පැවැත්ම බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම්වලට අනුකූල බවය. කාන්තාවන් පැවිදි කිරීමට දිගින් දිගට ම විරුද්ධ වන තායි සංඝයා වහන්සේ මූලික බෞද්ධ ඉගැන්වීම් වැරදි ලෙස වටහාගෙන ඇති බව ඇය පවසන්නීය.

සිව්වණක් පිරිස

ථෙරවාදී බුද්ධාගම පිළිබඳව ලියැවුණු තායි පොතපතට අනුව වුව ද, භික්ෂුණීන් යනු බුදුන්ගේ අනුගාමික කණ්ඩායම් හතර හෙවත් සිව්වණක් පිරිසෙන් (භික්ෂු - භික්ෂුණී, උපාසක - උපාසිකා) එක් කොටසකි. තායිලන්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රජය විසින් ථෙරවාදී බුදුදහම ප‍්‍රවර්ධනය කරනු ලැබීම අනිවාර්ය කටයුත්තකි. එහෙත්, අනෙක් අතට තායිලන්ත සංඝ සමාජය සහ රජය භික්ෂුණීන් වීමට අපේක්‍ෂා කරන කාන්තාවන් පැවිදි කිරීම අනුමත නොකරයි.

Image copyright PARIS JITPENTOM/BBC THAI
Image caption තායිලන්ත භික්ෂුණියන් පිරිසක් පිඬුසිඟා වඩිමින්

තායිලන්තයේ නඛොන් පැතොම්හි බෞද්ධයන් බෞද්ධ පූජනීය දිනවලදී සොංදාම් කල්‍යාණි ආරාමයේ භික්ෂුණීන්ට උදෑසන දානය පිරිනැමීම හුරුපුරුදු දර්ශනයකි.

තායිලන්තයේ කාන්තාවන් පැවිදි කිරීම තහනම් කර ඇති හෙයින්, භික්ෂුණීන් 200 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවේදී පැවිදි දිවියට එළඹ තිබේ.

"මට එක ම අධිෂ්ඨානයයි තිබුණේ. මට අවශ්‍ය වුණේ පැවිදි වෙන්න විතරයි. ඒ වෙනුවෙන් පළමු පියවර ගත යුතු දවස මට පැහැදිලි වුණා. ඒක තායිලන්තයටත් නිවැරදි පියවරක්," බැංකොක්හි තම්මාසාත් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කළ සහය මහාචාර්ය චට්සුමාල් කබිල්සිං (මේ වන විට ඇය ධම්මානන්ද භික්ෂුණිය ලෙස පැවිදි නාමය ලබා සිටී) තමන්ට සාමණේරවරියක වීමට වසර 18 ක් ගත වූ බව බීබීසී තායි සේවය වෙත පැවසුවාය.

ලුවාං මා හෙවත් පූජනීය මෑණියන් ලෙසින් හඳුන්වනු ලබන ධම්මානන්ද භික්ෂුණිය මේ වන විට 75 වන වියේ පසු වන්නීය. 2003 වසරේදී ඇය තායිලන්තයේ පළමු ථෙරවාදී බෞද්ධ භික්ෂුණිය බවට පත් විය. නඛොන් පැතොම්හි සොංදාම් කල්‍යාණි භික්ෂුණී ආරාමයේ ප්‍රධාන භික්ෂුණිය ඇයයි.

"මගේ පැවිදි වීමෙන් ඔප්පු වුණේ කාන්තාවන්ට භික්ෂූත්වයට පත් වෙන්න පුළුවන් කියන එක වගේ ම එය බුදුන්ගේ ඉගැන්වීම් සමග අනුකූල වන බවයි," ඇය පවසයි.

ඇයගේ මෙම ක්‍රියාවන්ට බොහෝ සෙයින් බලපෑවේ, මහායාන බෞද්ධ භික්ෂුණියක මෙන් ම සොංදාම් කල්‍යාණි ආරාමයේ නිර්මාතෘවරියක වූ ඇගේ මවය. ඇය කුඩා කාලයේ සිට ම, බෞද්ධ ආගමික ක්‍රියාකාරකම්වල නිරත වූ ඇය නිරන්තරයෙන් ආරාමය තුළ කාලය ගෙවුවාය.

මහාචාර්යවරියක බවට පත් වීම

Image copyright DHAMMANANDA
Image caption තම්මාසාත් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක ලෙස සිටියදී

ඇය හැදී වැඩුණු බෞද්ධ පරිසරය නිසැකව ම ඇගේ අනාගතය පිළිබඳ තීරණවලට බලපෑවේය. එමගින් ඇයට ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක දර්ශනය විෂය හැදෑරීමට අවස්ථාව උදාවූ අතර පසුව පිළිවෙළින් කැනඩාවේදී සහ ඉන්දියාවේදී ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි හිමි කර ගත්තාය.

ආචාර්ය උපාධිය ලැබීමෙන් පසුව, ඇය යළි තායිලන්තයට පැමිණි අතර ඇයට තම්මාසාත් විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ බුද්ධධර්මය ඉගැන්වීමට අවස්ථාව හිමි විය. එහිදී එකල ආචාර්ය චට්සුමාල් කබිල්සිං නමින් හැඳින්වුණු ඇය, කාන්තා ගැටලු, ආගමික හා සමාජීය වෙනස්කම් පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යයන සංසදයේ කටයුතුවලට යොමු විය. පුළුල් දැක්මකින් සමන්විත කථිකාචාර්යවරියක වූ ඇය කාන්තාවන් සතුව දැවැන්ත හැකියාවන් ඇති බව වටහා ගත් නමුත් එම අදහස් සංස්කෘතික හා ආගමික සීමාවලින් අවහිර කරනු ලැබීය.

හැරවුම් ලක්ෂය

1983 වසරේදී ලොව පුරා සිටින චින්තකයින් සමග උරෙනුර ගැටීමේ අවස්ථාව ලබා දුන් හාර්වඩ් විශ්වවිද්‍යාලයේ පැවති සමුළුවක් කබිල්සිංගේ ජීවිතය වෙනස් කිරීමට සමත් විය. පළමු වරට ඇය තමාගෙන් ම ප්‍රශ්නයක් ඇසුවාය. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක ලෙස ඇය සුරක්ෂිත තත්ත්වයක් සහ සමාජ පිළිගැනීමක් භුක්ති විඳිමින් සිටියාය. කෙසේ වෙතත්, කාන්තා පැවිද්ද පිළිබඳ මනා දැනුමක් ඇති පුද්ගලයෙකු ලෙස, කාන්තාවන් වෙනසක් සඳහා පෙළඹවීමේදී ඇය අසාර්ථක විය.

"මම වෙනස් විය යුතුයි කියා මා මට ම කියා ගත්තා. මට සිහින ලෝකයක කථිකාචාර්යවරියක් වෙන්න බැහැ කියලා මට ම කියා ගත්තා."

බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයේ කාන්තාවන් සම්බන්ධ කතාන්තර ඇතුළත් පොතක් රචනා කරමින් ඇය ඇති කිරීමට උත්සහ කළ වෙනස එරට සමාජයට දැඩි බලපෑමක් එල්ල කළේය. බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගත හැකි ත්‍රිපිටකය ගැඹුරින් අධ්‍යයනය කිරීමට හා ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට ද ඇය නැඹුරු වූවාය.

කාලය පැමිණෙන තුරු

Image copyright DHAMMANANDA
Image caption තරුණ වියේදී

භික්ෂුත්වය ලැබීමට සුදුසු ම කාලය එය නොවන බව ඇයට පෙනී ගිය හෙයින් නව ජීවිතයක් ආරම්භ කිරීමට කාලයක් එළැඹෙන තෙක් බලා සිටීමට සිදුවිය. ඇයට පවුලක් මෙන් ම දරුවෝ ද සිටියහ. ඔවුන් අවුරුදු 18 පසු කරද්දී ඇය සිය ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළාය.

"මගේ බාල ම පුතාගේ උපාධිය ඉවර වෙනකම් එයාගේ වයස අවුරුදු 24 වෙන තුරු මට බලාගෙන ඉන්න සිද්ධ වුණා. ඒ, එයාගේ ආරක්ෂාව වෙනුවෙන්. දැන් එයාට තනියම ජීවත් වෙන්න පුළුවන්. මගේ දරුවන් ස්ථාවර තත්ත්වයක පසුවෙද්දී ඔවුන් අතහැර ආව එක ගැන මට පසුතැවීමක් නැහැ."

යළිත් වරක් ඇයට අර්බුදයකට මුහුණ දීමට සිදුවූයේ, තායිලන්තය තුළ කාන්තාවන් පැවිදි කිරීම තහනම් කිරීම හේතුවෙනි. කෙසේ වෙතත්, 1998 වසරේදී ඇයට යම් සහනයක් ඇති වූයේ, කාන්තාවන් පැවිදි කිරීම ශ්‍රී ලංකාවේ සිදුවන බව දැන ගැනීමෙන් පසුවය.

"ඊට කලින් පැවිදි කිරීම් කළේ මහායාන බුද්ධාගමේ චීන භික්ෂූන් වහන්සේලායි. ථෙරවාද ක්‍රමය අනුව ඉන්දියාවේ ඒක සිදු කෙරුණේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් 10 දෙනෙකු විසින්," ඇය පැහැදිලි කළාය.

ශ්‍රී ලංකාවේ පැවිදි චාරිත්‍ර වාරිත්‍ර ථෙරවාද බුදුදහමේ ඉගැන්වීම්වලට අනුකූල වන බව ධම්මානන්ද භික්ෂුණිය විශ්වාස කරන්නීය.

"කාන්තාවන් පැවිදි කිරීමේදී ප්‍රධානත්වය භික්ෂුණියන්ට ලැබෙන්නේ නැහැ. භික්ෂූන් වහන්සේ කාන්තාවක පැවිදි කරන්න කලින් ඇය නිර්මල දැයි දැන ගන්න සැදැහැවතුන්ගෙන් හරස් ප්‍රශ්න අහනවා. මෙතනදි යම් නොමග යාමක් සිදුවිය හැකියි."

ශ්‍රී ලංකාවේදී පැවිදි දිවියට

පැවිද්ද ලබා ගැනීමට පෙර ඇය වසර 5ක කාලයක් තායිලන්තයේ සිය ආරාමයේ සිට ධර්මය අධ්‍යයනය කළාය. ඉන්පසු පැවිදි වීම සඳහා ඇය ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ, 2003 වසරේදීය.

Image copyright DHAMMANANDA
Image caption ශ්‍රී ලංකාවේදී පැවිදි දිවියට

භික්ෂුණියක ලෙස යළි තායිලන්තයට යාමෙන් පසු ඇයට අලුත් අභියෝගවලට මුහුණ පෑමට සිදු විය. ඇයට රූපවාහිනී සම්මුඛ සාකච්ඡා සඳහා ඇරයුම් ලැබුණ ද, ඒවා අවසන් මොහොතේදී අවලංගු විය. ධම්මානන්දා භික්ෂුණිය පැවසුවේ, ඇය සම්බන්ධයෙන් මාධ්‍ය දැඩි අවධානයක් යොමු කර තිබූ බවය. ඇතැම් පුවත්පත් සති කිහිපයක් තිස්සේ ඇය පිළිබඳ පුවත් පළ කරමින් සිටියේය. අනෙක් අතට භික්ෂුණීන්ට එරෙහිව ක්‍රියාත්මක වූ මාධ්‍ය ආයතන ද විය.

ශ්‍රී ලාංකික භික්ෂූණීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් තායිලන්තයේ සොංග්ක්ලා ප්‍රදේශයේදී කාන්තාවන් 8 දෙනෙකු පැවිදි කිරීමත් සමග 2014 වසරේදී තායිලන්ත භික්ෂුණී ශාසනය සම්බන්ධයෙන් පැවති අර්බුදය වැඩි විය. ඉන් මසකට පසු තායිලන්තයේ උත්තරීතර සංඝ කවුන්සිලය සමූහ කාන්තා පැවිදි කිරීම් තහනම් කළේය. ඒ, තායි සංඝයා කාන්තාවන් පැවිදි කරනු ලැබීම අනුමත නොකරන බවට 86 වසරකට පෙර නිකුත් කරන ලද රාජකීය නියෝගයක් උපුටා දක්වමිනි.

මෙම තහනම තවත් දැඩි වූයේ, පැවිදි කිරීමේ කටයුතු සඳහා තායිලන්තයට යාමට අපේක්ෂා කරන විදේශීය භික්ෂූන් වහන්සේලාට සහ භික්ෂුණීන්ට වීසා බලපත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමගිනි. එවැනි සංචාර සඳහා තායි සංඝ සභාවේ ලිඛිත අවසරයක් සහ එරට ජාතික බෞද්ධ කාර්යාලයේ අනුමැතිය අවශ්‍ය විය. තායිලන්ත සංඝ සභාවේ එම ස්ථාවරය ශ්‍රී ලංකා ථෙරවාද බුදුදහමේ භික්ෂුණී පැවිදිභාවයට පටහැනිය.

භික්ෂූත්වයට ඇතුළත් වීමට අපේක්ෂා කරන කාන්තාවන් අතර විරෝධයක් ඇති කළ තායිලන්ත රජයේ තීරණය හේතුවෙන් ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පෙත්සමක් ගොනු කෙරිණි. ඒ, තායිලන්ත සංඝ සභාවේ එම යෝජනාව ආගමික නිදහස සහ කාන්තාවන්ට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට චෝදනා කරමිනි. ඒ සම්බන්ධයෙන් තායිලන්ත බලධාරීන් අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියකි.

Image copyright PARIS JITPENTOM/BBC THAI

මෙම තත්ත්වය පැවිදි වීමට අපේක්ෂා කරන තායිලන්ත කාන්තාවන්ට තවත් පීඩනයක් නිර්මාණය කළ අතර ශ්‍රී ලංකාවට ගොස් පැවිද්ද ලබා යළි පැමිණීමට එක් කාන්තාවක් වෙනුවෙන් තායිලන්ත බාට් 25000ක් පමණ වැය කිරීමට සිදුවිය. ධම්මානන්දා භික්ෂුණිය පැවසුවේ, පැවිද්ද අපේක්ෂා කරන කාන්තාවන් ශ්‍රී ලංකාවේ භාෂාව දැන සිටිය යුතු අතර වියදම් දරා ගත හැකි විය යුතු බවත්, උදව් උපකාර ගත හැකි පුද්ගලයින් දැන සිටිය යුතු බවත්ය. ඒ සියල්ලට වඩා, නිසි ලෙස පැවිද්ද ලබා ගැනීම සඳහාත්, කාන්තා භික්ෂූත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවසාන පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහාත්, ධර්ම විනය පිළිබඳව ඔවුන් දැනුවත්ව සිටිය යුතුය.

"සමහරුන්ට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්න එක, වීසා බලපත්‍රයක් සඳහා අයැදුම් කිරීම සහ විදේශ සංචාරයක නිරත වීම සම්පූර්ණයෙන් ම නුහුරු දෙයක්. ඒ නිසා සමහර කාන්තාවන්ට පැවිදි වෙන්න බැරි වෙලා තිබෙනවා."

බුදුදහමේ ඇති ස්ත්‍රී පුරුෂ සමානතාව පදනම් කර ගනිමින් ධම්මානන්දා භික්ෂුණිය තායිලන්තයේ භික්ෂුණීත්වය තහනම් කිරීමට එරට සංඝ සභාව ගත් තීරණය ප්‍රශ්න කරන්නීය. ඇය පවසන්නේ, පිරිමි භික්ෂූන් විසින් කාන්තාවන් පැවිදි කරනු ලැබීම ධර්ම විනය උල්ලංඝණය කිරීමක් බවය. භික්ෂුණී සම්ප්‍රදාය යළි නගාසිටුවිය හැක්කේ එය ධර්ම විනයට අනුකූලව සිදුකළහොත් පමණක් බව ඇයගේ අදහසය.

"ඒක කරන්න බෑ කියල කියන්න තායි භික්ෂූන්ට අයිතියක් නෑ. බුද්ධාගමේ පදනම විදිහට බුදුන් වහන්සේ නම් කළ සිව්වණක් පිරිස ස්ථාපනය කරන්න උන් වහන්සේ දේශනා කළ දේට එරෙහිව යාමක් ඔවුන්ගේ ක්‍රියාව. බුදුන් වහන්සේ වදාළ ධර්ම විනය අධ්‍යයනය කිරීමත් එම ධර්මය පැතිරවීමත් එම ධර්මයෙහි හැසිරීමත් සිව්වණක් පිරිසගේ කාර්යයක්. අපි කළේ බුදුදහමට උපහාරයක් පිණිස ආපසු ඒ සිව්වණක් පිරිස සම්පූර්ණ කරන එකයි."

Image copyright PARIS JITPENTOM/BBC THAI

ඇයගේ තර්කය වන්නේ, බුදුදහමේ හරය අනුව බුද්ධත්වයට පත්වීම සඳහා ස්ත්‍රී පුරුෂ භාවය හෝ භික්ෂු භික්ෂුණී භාවය පූර්ව කොන්දේසියක් නොවන බවය. තායිලන්ත සමාජය, බ්‍රාහ්මණ සංස්කෘතියේ සමාජ ක්‍රමය නිරායාසයෙන් පිළිගන්නා අතර, තායි සංඝ සභාව විසින් භික්ෂුණී පැවිද්ද තහනම් කිරීමට එය බලපා ඇතැයි ඇය පෙන්වා දෙයි.

"වාර්තමානයේ සම ලිංගිකත්වයට (LGBTQ) පවා සමානව සැලකීම දැඩි අවධානයක් යොමු වෙලා තියෙන මාතෘකාවක්. බුදුදහමේ සමානාත්මතාව ඊට වඩා පුළුල්. බුදුදහමෙන් කියවෙන්නේ ඕනෑ ම පුද්ගලයෙකුට බුද්ධත්වයට පත්විය හැකියි කියලා. බුද්ධත්වය කියන්නේ උසස් මානසික තත්ත්වයක්. මානසික තත්ත්වයකට ස්ත්‍රී පුරුෂ භාවය අදාළ වන්නේ නැහැ."

තිරසර භික්ෂුණී ශාසනයක් ගොඩනැගීම සිය වැදගත් ම මෙහෙවර බව ධම්මානන්දා භික්ෂුණිය පැවසීය. සෑම දෙයක් ම අනිත්‍ය බැවින් සියලු දුෂ්කරතා හා බාධක ද ඉක්මනින් ම වෙනස් වනු ඇතැයි ඇයගේ ශ්‍රී ලාංකික උපාධ්‍යායවරිය කී වචන ඇය සිහිපත් කළාය. වඩාත් ම වැදගත් වන්නේ ධර්ම විනය අනුව ජීවත් වීමයි, ඇය පැවසීය.

භික්ෂුණීත්වය පිළිබඳව කිසිදු ප්‍රගතියක් ඇති නොවන්නේ, තායිලන්ත සංඝ සභාවට ඔවුන්ගේ ස්ථාවරය වෙනස් කිරීමෙන් කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන හෙයින් බව ඇය සඳහන් කළාය.

"ධර්ම විනය සහ බෞද්ධ ඉගැන්වීම් අනුව භික්ෂුණී ශාසනයක් ඇති කිරීමට යම් දූරදර්ශී වැඩපිළිවෙළක් පිළිබඳව අවධානය යොමු කළොත් සිව්වණක් පිරිස සම්පූර්ණ කර නිවැරදි දිශාවකට යොමු කළ හැකියි."

"තායිලන්තයේ සංඝ සභාව බුදුන්ගේ ඉගැන්වීම් අවබෝධ කර ගත්තොත් මට කරන්න කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මම කළේ බුදුන්ගේ ඉගැන්වීම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න උත්සහ කරපු එකයි."

තායිලන්ත භික්ෂුණී ශාසනය පිළිබඳ තොරතුරු

  • තායිලන්තයේ මේ වන විට භික්ෂුණියන් 200 දෙනෙක් පමණ සිටිති. ඔවුන්ගෙන් බහුතරය ශ්‍රී ලංකාවේදී පැවිද්ද ලැබූවන්ය.
  • තායිලන්ත භික්ෂුණියෝ බෞද්ධ භික්ෂූත්වයෙන් පිදුම් නොලබති. එමනිසා, භික්ෂූන් භුක්ති විඳින අයිතිවාසිකම් සහ ප්‍රතිලාභ ඔවුන්ට හිමි නැත.
  • තායිලන්තයේ භික්ෂුණී ආරාම විහාරස්ථාන වශයෙන් නීත්‍යනුකූලව වර්ග නොකෙරේ. එම ආරාම රජයට බදු ගෙවිය යුතුය.
  • තායිලන්ත භික්ෂුණියන් පැවිදි නීති 331ක් අනුගමනය කළ යුතුය.
  • තායිලන්ත මාධ්‍ය වාර්තාවල පළවූ පරිදි 9 වන රාමා රජුගේ සමයේදී රජ මාලිගයේ පැවති ආගමික කටයුත්තකට සහභාගි වීමට පැමිණි භික්ෂුණියන් 72 දෙනෙකුට ඊට පිවිසීම තහනම් කර තිබිණි.

තවදුරටත් කියවන්න.