නුස්රත් රාෆි: ලිංගික අඩන්තේට්ටම් පැමිණිල්ලක් කළ සිසුවියක ගිනි තබා මැරූ 16 දෙනාට මරණ දඩුවම

නුස්රත් ජහාන් රාෆි

ඡායාරූප මූලාශ්‍රය, FAMILY HANDOUT

ඡායාරූප ශීර්ෂ වැකිය,

නුස්රත් ජහාන් රාෆි නම් සිසුවිය පාසල තුළදී ම භූමිතෙල් දමා ගිනි තබා ඝාතනය කර තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේදීය.

ගුරුවරයෙකු විසින් තමන්ව ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබූ බවට පැමිණිලි කළ බංග්ලාදේශ සිසුවියක ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 16 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණි.

නුස්රත් ජහාන් රාෆි නමැති 19 හැවිරිදි එම සිසුවිය බංග්ලාදේශයේ ධකා අගනුවර සිට කිලෝමීටර් 160ක් පමණ දුරින් පිහිටි ෆෙනී නමැති ප්‍රදේශයකදී ඝාතනයට ලක්වූයේ, මේ වසරේ අප්‍රේල් මාසයේදීය.

ලිංගික අපයෝජනය සිදුකළ බවට චෝදනා ලැබූ පාසලේ ප්‍රධාන ගුරුවරයා සහ ඇය ඉගෙනුම ලැබූ පන්තියේ ඉගෙන ගන්නා සිසුවියන් දෙදෙනෙක් ද වරදකරුවන් අතර වූහ.

ඇයගේ ඝාතනයෙන් බංග්ලාදේශය සලිත වී ගිය අතර නුස්රත්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතා මාලාවක් ද ක්‍රියාත්මක විය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

නුස්රත්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතා මාලාවක් ක්‍රියාත්මක විය.

සාමාන්‍යයෙන් බංග්ලාදේශ අධිකරණ පද්ධතියේ මෙවැනි නඩු විභාග සදහා වසර ගණනක් ගත වන අතර මෙය ඉතා කඩිනමින් අවසන් වූ නඩු විභාගයක් විය. නීතිඥ හෆීස් අහමඩ් මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ, "බංග්ලාදේශය තුළ ඝාතනයක් සිදු කර ඉන් ගැලවීමට කිසිවෙකුට නොහැකි" බව මෙම නඩු තීන්දුවෙන් තහවුරු වූ බවය.

මේ අතර, විත්තිකාර පාර්ශවයේ නීතිඥයින් පවසන්නේ, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවය.

නුස්රත්ගේ මරණය පිළිබඳ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ, ඇගේ ම පන්තියේ මිතුරන් සහ තවත් ප්‍රබල පුද්ගලයින් පිරිසක් ඇය නිහඬ කිරීමේ කුමන්ත්‍රණයක නිරත වූ බවය.

අදාළ සිසුවිය අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත වී සිටියදී ඇය ඝාතනය කිරීමට නියෝග කළ බව බව කියන ෂිරාජ් දොවුලා නමැති පාසලේ ප්‍රධාන ගුරුවරයා ඇතුළු ගුරුවරුන් තිදෙනෙක් අධිකරණය විසින් බ්‍රහස්පතින්දා වරදකරුවන් බවට පත් කරනු ලැබූහ. මරණ දඩුවම ලැබූ තවත් දෙදෙනෙකු වූ රුහුල් අමීන් සහ මක්සුඩ් අලාම් මේ වන විට බලයේ සිටින අවාමි ලීගයේ ප්‍රාදේශීය නායකයින් දෙදෙනෙකි.

නුස්රත් සියදිවි හානි කර ගත් බවට සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම සඳහා, මරණ දඬුවම පැනවුණු පුද්ගලයින් සමග ෆෙනී ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සම්බන්ධවී ඇතැයි ද හෙළිවිණි. ඔවුන් නුස්රත්ගේ ඝාතනයට අදාළ නඩු විභාගයට ඇතුළත් නොවීය.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ, මාර්තු මාසයේදී අදාළ වරදකරුවන් පිළිබදව පැමිණිලි කිරීම සදහා පොලිසියට යාමට නුස්රත්ට සහය වූ ඇයගේ පවුලේ සාමාජිකයින් පොලිස් ආරක්ෂාව යටතේ පසුවන බවය.

ඔවුහු වරදකරුවන්ට එරෙහිව දුන් තීන්දුව පිළිබදව සතුට පළ කළහ. ඔවුන් පැවසුවේ, එම දඩුවම කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවය. බංග්ලාදේශ් හි මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙනුයේ එල්ලා මැරීමෙනි.

ඡායාරූප මූලාශ්‍රය, SHAHADAT HOSSAIN

ඡායාරූප ශීර්ෂ වැකිය,

නුස්රත්ගේ මරණයෙන් වැලපෙන ඇයගේ සහෝදරයා වන මහමුදුල් හසන්

නුස්රත්ගේ ශෝකාන්තය

බංගලාදේශ පාසලක ඉගෙනුම ලබමින් සිටි නුස්රත් ජහාන් රාෆි නම් සිසුවිය පාසල තුළදී ම භූමිතෙල් දමා ගිනි තබා ඝාතනය කර තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේදීය.

ඉන් දෙසතියකට පෙර පාසලේ ප්‍රධාන ගුරුවරයා තමන් ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඇය පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි. පසුගිය මාර්තු 27 වන දා පාසලේ ප්‍රධාන ගුරුවරයා ඇය සිය කාර්යාලයට ගෙන්වාගෙන දිගින් දිගට ම අනවශ්‍ය ආකාරයට ස්පර්ශ කළ බවට ඇය පැමිණිලි කර තිබිණි.

එය තවත් බරපතළ තත්ත්වයකට පත් වීමට පෙර ඇය කාර්යාලයෙන් ඉවතට දිව ගොස් තිබිණි.

ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ගිය ඈ ප්‍රකාශයක් ලබා දුන්නාය. ඇය මුහුණ පෑ කටුක අත්දැකීම් විස්තර කිරීමට පොලිසිය තුළ ආරක්‍ෂිත ස්ථානයක් ලබා දිය යුතුව තිබිණි. නමුත්, සිදු වූයේ වෙනත් දෙයකි. ඇය මුහුණ පෑ සිද්ධිය ගැන පවසද්දී අදාළ පොලිස් නිලධාරියා සිය ජංගම දුරකතනයෙන් එය වීඩියෝගත කර තිබිණි.

නුස්රත් එම අවස්ථාවේ මහත් අපහසුතාවට පත්ව සිය අත්ලෙන් මුහුණ සඟවා ගැනීමට උත්සහ කරන අයුරු වීඩියෝ දර්ශනවල පැහැදිලිව දැක ගත හැකිය.

මෙය "ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි" යැයි පවසන පොලිස් නිලධාරියා මුහුණෙන් අත් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින ආකාරය මෙම වීඩියෝවේ දක්නට ලැබිණි. පසුව මෙම වීඩියෝව මාධ්‍යයට ලබා දීමට ඔහු ක්‍රියා කර තිබිණි.

සමාජයෙන් සහ පවුලෙන් එල්ල වන පීඩනය හේතුවෙන් බංගලාදේශයේ බොහෝ කාන්තාවෝ තමන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් ගැන හෙළි නොකරති.

ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව ඇය හඬ නැගීම, දින පහකට පසු ඇයව ඝාතනය කිරීම සහ ඒ අතරතුර සිදු වූ සියලු සිද්ධි මූලික කරගෙන ගතානුගතික දකුණු ආසියානු රටක් වන බංගලාදේශයේ කාන්තාවන් මුහුණ පාන ලිංගික අඩන්තේට්ටම් පිළිබඳව ලෝකයේ අවධානය යොමු විය.

තවදුරටත් කියවන්න.