අබු බකර් අල්-බග්දාදි: අයිඑස් නායකයා 'ඇමෙරිකානු හමුදා ක්‍රියාන්විතයකින් මියයයි'

IS leader Image copyright AFP
Image caption අබු බකර් අල්-බග්දාදි

අයිඑස් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබු බකර් අල්-බග්දාදි ඇමෙරිකානු හමුදා ක්‍රියාන්විතයකින් මරුමුමට පත්ව ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

ධවල මන්දිරයේ සිට ඔහු පැවසුවේ වයඹදිග සිරියාවේ සිදු කළ හමුදා ක්‍රියාන්විතයකින් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ නායකයා මරුමුවට පත් වූ බවය.

ඉරාකයේ සහ සිරියාවේ භූමි ප්‍රදේශ කිහිපයක වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් පිහිට වූ බවට ප්‍රකාශ කරමින් අල්-බග්දාදි 2014 දී කරළියට පිවිසියේය.

අයි එස් සංවිධානය කුරිරු ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල කළ අතර ඉන් දහස් ගණනක් මිය ගියහ.

මෙම ජිහාඩ් සංවිධානය ඔවුන් යටතේ පාලනය වන පෙදෙස්වල වෙසෙන මිලියන අටක පමණ ජනතාව දැඩි නීති රීති යටතේ පාලනය කළ බව කියවේ.

ඔවුන් ලොව පුරා නගර කිහිපයක ප්‍රහාර එල්ල කර තිබේ.

ඇමරිකානු හමුදාවට අයත් සුනඛයන් බග්දාදී පසුපස එළවා යන විට පිටවීමේ දොරටුවක් නොමැති උමගක් තුළට ඔහු දිව ගොස් ඉන් අනතුරුව මරණයට පත් වූ බව අද (ඔක්තෝබර් 27) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

"දුවගෙන යන අතර ඔහු ඇඬුවා, දිහටම කෑ ගැසුවා," ඇමරිකානු ජනාධිපතිවරයා පැවසීය.

එම අවස්ථාවේ බග්දාදී සිය දරුවන් තිදෙනෙකු සමග සිටි බවත් එහිදී ඔහු තමන් ඇඟලා සිටි මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පුපුරුවාගෙන සියදිවි නසාගත් බව ජනාධිපති ට්‍රම්ප් පැවසීය.

මෙම සිද්ධියෙන් දරුවන් තිදෙනා ද මියගොස් තිබේ.

මෙම ක්‍රියාන්විතයේදී කිසිදු ඇමෙරිකානු හමුදා භටයෙකු මරණයට පත් නොවූ බව ට්‍රම්ප් හෙළිකළේය.

මේ තොරතුරුත් කියවන්න:

Image copyright AFP
Image caption හමුදා ක්‍රියාන්විතය සිදු කළා යැයි පැවසෙන ස්ථානය

කවුද මේ අබු බකර් අල්-බග්දාදි ?

බග්දාදීගේ සත්‍ය නම ඊබ්‍රහිම් අව්වාඩ් ඊබ්‍රහිම් අල්-බද්රි ලෙස සැලකේ. ඔහු ලොව අත්‍යවශ්‍යම පුද්ගලයා ලෙස ද හැඳින්විණි.

ඔහු 1971 දී උතුරු ඉරාකයේ සමාරා ප්‍රදේශයේ උපත ලබා ඇත. 2003 දී ඇමෙරිකානු හමුදා විසින් එම ප්‍රදේශය ආක්‍රමණය කරනු ලැබූ අවස්ථාව වන විට එහි පිහිටි මුස්ලිම් දේවස්ථානයක පූජකවරයෙක් ලෙස බග්දාදී කටයුතු කරමින් සිට ඇති බවට වාර්තා වෙයි.

නමුත් ඇතැමුන් විශ්වාස කරන්නේ සදාම් හුසේන්ගේ පාලන සමයේ දී පවා බග්දාදී, ජිහාඩ් සටන් කණ්ඩායමක සාමාජිකයෙකුව සිටි බවය.

ඉරාකයේ දකුණු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇමෙරිකානු සිර කඳවුරක අල්ඛයීදා සාමාජිකයන් සමඟ වසර හතරක් සිරගත වී සිටිය දී ඔහු අන්තවාදියෙකු බවට පත්වී ඇති බවට ද විශ්වාසයක් පවතී.

මොහු ඉරාකයේ අල්ඛයීදා නායකයා වශයෙන් ඉදිරියට පැමිණි අතර 2010 දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය බිහිවෙද්දී තම කණ්ඩායම ද සමග ඊට එක්විය.

2011 ඔක්තෝම්බර් වනවිට බග්දාදී "ත්‍රස්තවාදියෙකු" බව එක්සත් ජනපදය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

තවත් තොරතුරු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර