පාකිස්තාන් දුම්රිය ගින්නෙන් හැත්තෑවකට අධික මගී මරණ සංඛ්‍යාවක්!

Image copyright Reuters

කරච්චි සහ රාවල්පිණ්ඩි නගර අතර ධාවනය වෙමින් පැවති දුම්රියක් ගිනි ගැනීමෙන් එහි ගමන් ගත් මගීන්ගෙන් අවම වශයෙන් 73 දෙනෙකුවත් මේවනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි පාකිස්තානයේ බලධාරීහු පවසති.

පාකිස්තාන් දුම්රිය අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ් පැවසුවේ, උදෑසන ආහාරය පිළියෙල කිරීම සදහා මගීන් භාවිත කළ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවය.

ගින්න අවම වශයෙන් දුම්රිය මැදිරි තුනකට පැතිරී ගිගොස් ඇතැයි විශ්වාස කෙරේ.

Image copyright Rescue1122

පාකිස්තාන් බලධාරීන් එරට මාධ්‍යයට පවසා ඇති පරිදි, බොහෝ දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ගිනි ගනිමින් තිබූ දුම්රියෙන් පිටතට පැනීමට උත්සාහ දැරීමේදීය.

තවත් මගීන් 40 දෙනෙකු තුවාල ලබා තිබේ. බලධාරීන් පවසන්නේ, ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවය.

මෙම අනතුර සිදුව ඇත්තේ, පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ රහීම් යාර් ඛාන් (Rahim Yar Khan) නගරය ආසන්නයේදීය.

ගිනිගත් දුම්රියේ සිටි මගීන් බොහෝදෙනෙක් 'තබ්ලිඝි ජමාට් සුන්නි මුස්ලිම් දූත ව්‍යාපාරය' (Tablighi Jamaat Sunni Muslim missionary movement) විසින් සංවිධානය කරනු ලබන ලාහෝර් නගරයට ආසන්න 'රායිවින්ඩ්'( Raiwind) නගරයේ පැවැත්වෙන පාකිස්තානයේ විශාලතම වාර්ෂික ආගමික සමුළුවකට සහභාගි වීම සදහා යමින් සිටි බැතිමත්හු වූහ.

"ලිප් දෙකක් පිපිරුණා. ඒගොල්ලෝ කෑම පිසිමින් ඉඳලා තියෙනවා. ඔවුන් ළග තිබුණ (කෑම පිසීමට ගන්නා) තෙල් නිසා ගින්න වැඩි වෙලා," අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ් පැවසීය.

Image copyright Rescue1122

ඇමතිවරයා පැවසුවේ, දීර්ඝ ගමන් සදහා මගීන් ආහාර පිසීමට ලිප් රැගෙන ඒම ගැටලුවක් වී ඇති බවය. දුම්රිය තුළට ආහාර රැගෙන ඒම සාමාන්‍ය දෙයක් වුව ද, ගෑස් සිලින්ඩර් රැගෙන යාම තහනම් කර තිබේ.

ගින්න හටගත් අවස්ථාවේ 11 වන මැදිරියේ මගීන් 54 දෙනෙකු සහ 12 වන සහ 13 වන මැදිරිවල මගීන් 78 දෙනා බැගින් සිට ඇත. එම මගීන්ගෙන් වැඩි පිරිසක් ඉහත කී ආගමික උත්සවයට සහභාගි වීම සදහා යමින් සිටි අය වූ අතර වැඩි දෙනෙකු 'මීර්පූර් ඛාස්'( Mirpur Khas) ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් ජමීල් අහමඩ් පැවසුවේ, ඇතැම් පුද්ගලයින් හදුනාගත නොහැකි පරිදි පිළිස්සී ඇති බවය. එහෙයින් ජීවිතක්ෂයට පත්වූවන් හදුනා ගැනීම සදහා DNA පරීක්ෂණ කළ යුතු බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ ගින්නට හේතුව විදුලි ගැටලුවක් විය හැකි බවය. ගින්නට හේතුව දුම්රියේ විදුලි පරපථයක දෝෂයක් විය හැකි බව ගින්නෙන් දිවි බේරා ගත් කිහිප දෙනෙකු පවසා ඇතැයි වාර්තා වේ.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 'ට්විටර්' ඔස්සේ පවසා තිබුණේ, "මෙම දරුණු ශෝකාන්තය පිළිබදව බෙහෙවින් කනගාටු වන" බවය. මේ සම්බන්ධයෙන් "කඩිනම් පරීක්ෂණයක්" පැවැත්වීමට නියෝග කරන බව ද එහි සදහන් කර තිබිණි.

පාකිස්තානයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර

දශකයකට අධික කාලයක් තුළ පාකිස්තානයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය වේ.

පාකිස්තානය මාරාන්තික දුම්රිය අනතුරු සම්බන්ධ ඉතිහාසයක් ඇති රටකි. මෙම අනතුරුවලදී ජීවිතක්ෂයට පත්වන සහ තුවාල ලබන පිරිස අධික වන්නේ, දුම්රිය මැදිරිවල ගමන් කළ හැකි ප්‍රමාණයට වඩා අධික පිරිසක් ගමන් කිරීම හේතුවෙනි.

ජූලි මාසයේදී දුම්රිය අනතුරකින් මගීන් 11 දෙනෙකු මිය ගිය අතර, සැප්තැම්බර් මාසයේදී ද සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

2007 වසරේදී 'මේරාබ්පූර්' ආසන්නයේදී සිදුවූ දුම්රිය අනතුරකින් යටත් පිරිසෙයින් පුද්ගලයින් 56 දෙනෙකු මිය ගොස් 120 දෙනෙක් තුවාල ලැබූහ.

2005 වසරේ 'සින්ද්' ප්‍රාන්තයේ දී දුම්රිය තුනක් ගැටීමෙන් පුද්ගලයින් 130 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. එය එරට සිදුවූ දරුණුතම දුම්රිය අනතුරුවලින් එකකි.

තවදුරටත් කියවන්න.