McDonald : ප්‍රේම සම්බන්ධයක් නිසා ප්‍රධානියා ඉවතට

McDonald's sign Image copyright PA Media

තමන් යටතේ සේවය කරන කාන්තාවක සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් මැක් ඩොනල්ඩ් (McDonald) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන ස්ටීව් ඊස්ටබෲක් (Steve Easterbrook) එම තනතුරින් ඉවත් කර තිබේ.

තම ආයතනයේ කාර්ය මණ්ඩලයට අයත් කෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීම "ආයතනික ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක්" බවත් එය "නුසුදුසු තීරණයක්" බවත් එක්සත් ජනපදයේ මැක් ඩොනල්ඩ් ආයතනය පැවසීය.

එකී පෙම් සබඳතාවක් පවතින බව පිළිගත් මැක් ඩොනල්ඩ් (McDonald) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් ඊස්ටබෲක් ඊමේල් පණිවිඩයක් යවමින් කියා සිටියේ එය තමන් අතින් සිදුවූ අත්වැරදීමක් බවය.

"ආයතනයේ සාරධර්ම අනුව, විධායක මණ්ඩලය ගත් තීරණයට මම එකඟ වෙනවා," යනුවෙන් ඔහු පැවසීය.

Image copyright Getty Images

දික්කසාදය

ස්ටීව් ඊස්ටබෲක්, බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙකි. පළමු විවාහයෙන් ඔහු දික්කසාද වී සිටී.

ඔහු මුලින් ම කළමනාකරුවෙකු ලෙස ලන්ඩනයේ මැක් ඩොනල්ඩ් ආයතනයට බැඳුනේ 1993දී ය. අනතුරුව ඉහළ කළමනාකරණ තනතුරු දක්වා උසස්වීම් ලද්දේය.

2011 දී එම ආයතනයෙන් ඉවත් වූ ඔහු පීසා එක්ස්ප්‍රස් හි (Pizza Express) ප්‍රධානියා ලෙස පත්විය. අනතුරුව හෙතෙම වගමමා (Wagamama) ආපන ශාලා ආයතනයේ ප්‍රධානියා බවට පත් විය.

ස්ටීව් ඊස්ටබෲක් නැවතත් මැක් ඩොනල්ඩ් ආයතනයට බැඳුනේ 2013දී ය. කාලයාගේ ඇවෑමෙන් ඔහු මැක් ඩොනල්ඩ් ආයතනයේ බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය භාර ප්‍රධානියා බවට උසස් කෙරිණ.

2015 දී මැක් ඩොනල්ඩ් මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරියා බවට ස්ටීව් ඊස්ටබෲක් පත් විය.

ඉන් අනතුරුව, මැක් ඩොනල්ඩ් ආයතනයට නව උද්දීපනයක් ලබා දීමේ ගෞරවය ඔහුට හිමි විය. ස්ටීව් ඊස්ටබෲක් ගේ පාලන සමයේ දී එක්සත් ජනපදයේ කොටස් වෙළෙඳපොළ තුළ මැක් ඩොනල්ඩ් සඳහා වූ වටිනාකම දෙගුණ විය.

Image copyright PA Media

කෙසේ නමුත් ඉහත කී ප්‍රේම සම්බන්ධතාව හෙළිදරව් වීමෙන් අනතුරුව ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඔහු පහ කිරීමට විධායක මණ්ඩලය තීරණය කළේය.

ඒ සමඟම, මැක් ඩොනල්ඩ් ආයතනයේ සභාපතිවරයා ලෙස තමන් දැරූ තනතුරින් ද විධායක මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ද ස්ටීව් ඊස්ටබෲක් ඉල්ලා අස්විය.

ආයතනයේ නීතිය

මැක් ඩොනල්ඩ් ආයතනයේ නීති සංග්‍රහයට අනුව, කළමනාකාර තනතුරක් දරන කිසිදු පුද්ගලයෙකුට තමන් යටතේ සේවය කරන අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීම සපුරා තහනම් ය.

ස්ටීව් ඊස්ටබෲක් ආයතනයෙන් ඉවත් කිරීමේ දී ඔහුට ලබා දීමට නියමිත දීමනාව පිළිබඳ විස්තර තව සතියකින් පමණ දැනුම් දීමට නියමිතය.

මැක් ඩොනල්ඩ් ආයතනයේ ශාඛා තුළ සේවකයන්ට ලැබෙන වැටුප සහ ස්ටීව් ඊස්ටබෲක් ලබන වැටුප අතර පරතරය පිළිබඳව 2018 දී විවේචන එල්ල විය.

එවක ඔහුගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 15.9ක් විය. එය මැක් ඩොනල්ඩ් ආයතනයේ සාමාන්‍ය සේවකයෙකුගේ දල වාර්ෂික වැටුප මෙන් 2,124 ගුණයකි.

ඊස්ටබෲක් දැරූ තනතුරට වහාම පත් කර ඇත්තේ මැක් ඩොනල්ඩ් ආයතනයේ එක්සත් ජනපදය භාර ප්‍රධානියා වූ ක්‍රිස් කෙම්ප්සින්ස්කි (Chris Kempczinski) ය.

ඉවත්ව යන ප්‍රධානියාට ස්තුති කරමින් නිවේදනයක් නිකුත් කළ ක්‍රිස් කෙම්ප්සින්ස්කි කියා සිටියේ "මාව මැක් ඩොනල්ඩ් ආයතනයට ගෙන ආ ස්ටීව් ඊස්ටබෲක් ඉතා ඉවසිලිවන්ත සහ උපකාරශීලී උපදේශකයෙකු" වූ බවය.

මෙවැනිම සිද්ධියක් පසුගිය වසරේ ද වාර්තා විය.

ඉන්ටෙල් (Intel) ආයතනයේ ප්‍රධානියා වූ බ්‍රයන් ක්‍රෙසානිච් ද තමන් යටතේ සිටි සේවිකාවක සමඟ ඇතිකරගත් පෙම් සබඳතාවක් හේතුවෙන් තනතුර අහිමි කර ගත්තේය.

ඔහු 2013 පටන් ඉන්ටෙල් ආයතනයේ ප්‍රධානියා විය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර