දේශගුණික විපර්යාස: ලෝක ජනතාවට ම 'හදිසි තත්ත්වයක්' ගැන අනතුරු ඇඟවීමක් !

Image copyright Getty Images

සමස්ත ලෝකය දේශගුණික හදිසි තත්ත්වයකට මුහුණ පාමින් සිටින බවට නිගමනය කළ පර්යේෂණයක් විද්‍යාඥයින් 11000කින් පමණ සමන්විත කණ්ඩායමක් විසින් තහවුරු කරනු ලැබ තිබේ.

වසර 40ක දත්ත අනුසාරයෙන් සිදු කරන ලද මෙම අධ්‍යයනය මගින් නිගමනය කර ඇත්තේ, මෙම අර්බුදයට පිළියම් සෙවීමට රට රටවල රජයයන් අසමත් වී ඇති බවටය.

ගැඹුරු හා දීර්ඝ කාලීන වෙනසක් නොකිරීම හේතුවෙන් ලෝකය "අසීමාන්තික මානුෂීය පීඩාවන්ට" මුහුණ පා සිටින බව එම අධ්‍යයනයෙන් පැවසෙයි.

පර්යේෂකයන් පවසන්නේ, මෙම තර්ජනයේ පරිමාණය පිළිබඳව අනතුරු ඇඟවීමට ඔවුන් සදාචාරාත්මකව බැඳී සිටින බවය.

චන්ද්‍රිකා තාක්ෂණයෙන් ගනු ලැබූ දත්ත අනුව පසුගිය ඔක්තෝබර් මාසය පෘථිවියේ උෂ්ණත්වය වැඩි ම මාසය ලෙස වාර්තා වේ. නව අධ්‍යයනය මගින් පවසන්නේ, පෘථිවියේ මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය පමණක් මැනීම මගින් අධික ලෙස උණුසුම් වන ලෝකයක සැබෑ තර්ජනයන් ග්‍රහණය කර ගැනීම නිසි ලෙස සිදු නොවන බවය.

Image copyright COPERNICUS

එහෙයින්, මෙම අධ්‍යයනය සඳහා පර්යේෂකයින් විශ්වාස කරන ආකාරයට "පසුගිය අවුරුදු 40ක කාලය තුළ සිදුවූ දේශගුණික විපර්යාස පිළිබඳ වැදගත් රූපමය සලකුණු" ඇතුළත් කර තිබේ.

මෙහිදී සැලකිල්ලට ගැනුණු දර්ශක අතර, ජනගහනයේ සහ සත්ත්වගහනයේ වර්ධනය, ඒක පුද්ගල මාංශ නිෂ්පාදනය, ගෝලීය වෘක්ෂලතා විනාශය මෙන් ම ෆොසිල ඉන්ධන පරිභෝජනය ද වේ.

ඇතැම් ක්ෂේත්‍රවල යම් ප්‍රගතියක් දක්නට ලැබිණි. උදාහරණයක් ලෙස සුළං සහ සූර්ය බලය භාවිත කරමින් පුනර්ජනනීය බලශක්ති උත්පාදනය දශකයකට 373%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. එහෙත්, 2018 වසරේ ෆොසිල ඉන්ධන පරිභෝජනයට සාපේක්ෂව පුනර්ජනනීය බලශක්ති භාවිතය තවමත් 28 ගුණයකින් පහළ අගයක පවතී.

Image copyright AFP

පර්යේෂකයින් පවසන්නේ, ඔවුන් සැලකිල්ලට ගත් ප්‍රධාන දර්ශකවලින් වැඩි සංඛ්‍යාවක් වැරදි දිශාව කරා යොමු වෙමින් පවතින අතර එමගින් දේශගුණික හදිසි තත්ත්වයක් ඇති විය හැකි බවය.

"කාබන් විමෝචනය අඩු කිරීමෙන්, මාංශ නිෂ්පාදන අඩු කිරීමෙන්, ඉඩම් හෙළිපෙහෙළි කිරීම අඩු කිරීමෙන් සහ ෆොසිල ඉන්ධන පරිභෝජනය අඩු කිරීමෙන් දේශගුණික විපර්යාසවල බලපෑමට ප්‍රතිචාර නොදැක්වුවොත් දැන් අප අත්විදින බලපෑම්වලට වඩා දරුණු වෙන්න පුළුවන්. ඒ නිසයි අපි මේක හදිසි තත්ත්වයක් කියන්නේ," පර්යේෂණයේ ප්‍රධානියෙකු වන සිඩ්නි විශ්වවිද්‍යාලයේ ආචාර්ය තෝමස් නිව්සම් පැවසීය.

"ඒකෙන් අදහස් කරන්නේ මිනිසුන්ට වාසය කළ නොහැකි ප්‍රදේශ පෘථිවියේ තියෙන බව."

මෙම පර්යේෂණය දේශගුණික විපර්යාස පිළිබඳ වෙනත් වාර්තාවලින් වෙනස් වන්නේ කෙසේ ද?

මෙම අධ්‍යයනය මගින් අන්තර්රාජ්‍ය දේශගුණික විපර්යාස පිළිබඳ මණ්ඩලය (IPCC) ඇතුළු විද්‍යාඥයින් විසින් වාර්තා කරනු ලැබ ඇති අනතුරු ඇඟවීම් බොහොමයක් ප්‍රතිරාවය කරයි. මෙහි පර්යේෂකයින් සිය දර්ශකවල පුළුල් පරාසය පිළිබද පැහැදිලි සහ සරල විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබේ. එමගින් මෙම තර්ජනය කෙරෙහි දක්වන ප්‍රතිචාරය දුර්වල වුවහොත් එහි අනතුරුදායකභාවය වඩාත් බරපතළ බවට මහ ජනතාවට මෙන් ම රජයයන්ට දැනුම් දීමක් සිදුකර තිබේ.

Image copyright Getty Images

එහි දක්නට ලැබෙන තවත් වෙනස්කමක් වන්නේ, තත්ත්වය නරක අතට හැරී ඇතත් අපේක්ෂාභංගත්වයට පත් නොවිය යුතු බව පෙන්වා තිබීමය. මෙහිදී විශාල වෙනසක් සිදු කිරීම සදහා කඩිනම් පියවර ගත යුතු ක්ෂේත්‍ර 6ක් පිළිබදව පර්යේෂකයින් පෙන්වා දී තිබේ.

එම යෝජනා මෙසේය;

  • බලශක්ති: ෆොසිල ඉන්ධන භාවිතය අධෛර්යවත් කිරීම සදහා දේශපාලනඥයින් කාබන් ගාස්තු පැනවිය යුතුය. ෆොසිල ඉන්ධන සමාගම් සදහා සහනාධාර නතර කළ යුතුය. ඛණිජ තෙල් සහ ගෑස් වෙනුවට පුනර්ජනනීය බලශක්ති භාවිත කරමින් දැවැන්ත සංරක්ෂණ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුය.
  • කෙටි කාලීන දූෂක: මීතේන්, හයිඩ්‍රොෆ්ලොරෝකාබන් ආදී දූෂක ද්‍රව්‍ය සීමා කිරීමෙන් මීළග දශක කිහිපයේ කෙටි කාලීන ගෝලීය උෂ්ණත්වය 50%කින් කපා හැරිය හැකි බව පර්යේෂකයෝ පවසති.
  • ස්වභාවධර්මය: ඉඩම් හෙළිපෙහෙළි කිරීම නතර කිරීම, වනාන්තර සහ කඩොලාන යළි වගා කිරීම මගින් කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩු කිරීමට උපකාරී වේ.
  • ආහාර: පර්යේෂකයින් පවසන්නේ, දැවැන්ත ආහාරමය වෙනසක් සිදු විය යුතු බවය. ඒ, මාංශමය නිෂ්පාදන අවම වශයෙන් පරිභෝජනය කර ශාකමය ආහාර භාවිතය වැඩි කිරීමක් හරහාය. ආහාර නාස්තිය අවම කිරීම ද මෙහිදී අතිශය වැදගත්ය
  • ආර්ථිකය: කාබන් විමෝචන ඉන්ධන මත පදනම් වූ ආර්ථිකයන් වෙනස් කිරීම. ලෝකයේ දළ දේශීය නිෂ්පාදන වර්ධනය කිරීම සහ ධනවත් වීම යන සංකල්පවලින් වෙනස් වීම.
  • ජනගහනය: දිනකට 200,000 කින් පමණ වර්ධනය වන ගෝලීය ජනගහනය ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යාම ලෝකයට අවශ්‍ය වී තිබේ.

මානව ජනගහන වර්ධනයට බලපෑම් කිරීමට උත්සහ කිරීමේ අදහස බෙහෙවින් මතභේදාත්මක වන අතර එය එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් පවා හැසිරවිය නොහැකි තරම් ආන්දෝලනාත්මක බව පෙනී යයි. කෙසේ වෙතත්, පර්යේෂකයින් පවසන්නේ, ඒ සඳහා වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවය.

තවදුරටත් කියවන්න: