ඉන්දියාවේ අයෝධ්‍යා පුද බිම හින්දූන්ට හිමි බවට අධිකරණයෙන් තීරණයක්

Image copyright Getty Images
Image caption තීරණය ලැබෙන තුරු මාධ්‍යවේදීන් අධිකරණ භූමියේ රැඳී සිටින අයුරු

මතභේදයට ලක්ව ඇති, උතුරු ඉන්දියාවේ 'අයෝධ්‍යා ශුද්ධ භූමිය' දෙවොලක් ගොඩනැගීමට අවශ්‍යව සිටින හින්දුන්ට ලබා දිය යුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය තුළ පිහිටි මෙම භූමියේ හිමිකාරිත්වය සඳහා හින්දු භක්තිකයන් සහ මුස්ලිම්වරුන් අතර පැවති නඩුව වසර දශක කිහිපයක් පුරා ඇදී ගියේය.

දේවස්ථානයක් ගොඩනැගීම සඳහා මුස්ලිම්වරුන්ට වෙනත් ඉඩමක් ලබා දෙන බව අධිකරණය පැවසීය.

බොහෝ හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ ඔවුන් දේවත්වයෙන් සලකන රාම දෙවියන් (Lord Ram) ගේ උපන් ස්ථානය මෙය බවය.

නමුත් මුස්ලිම්වරුන් පවසන්නේ ඔවුන් අනාදිමත් කාලයක සිට එම ස්ථානයේ වැඳුම් පිදුම් කළ බවය.

16 වැනි සියවසේදී ගොඩනැගූ යැයි සැලකෙන් බබ්රි දේවස්ථානය හින්දු භක්තිකයන් පිරිසක් විසින් 1992 දී විනාශ කරන ලදි. ඉන් අනතුරුව ඇති වූ කැරලි කෝලාහල නිසා 2000 ක් පමණ දෙනා මිය ගියහ.

Image copyright AFP
Image caption බබ්රි පල්ලිය විනාශ කරන ආකාරය

අධිකරණය කීවේ කුමක් ද?

ඒකමතික තීරණය නිවේදනය කරමින් අධිකරණය පැවසුවේ, ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය (Archaeological Survey of India) සැපයු සාක්ෂි අනුව, විනාශ කර ඇති බබ්රි දේවස්ථාන ගොඩනැගිල්ලේ සැකිල්ලට යට, කොටස් ඉතිරිව ඇති "ඉස්ලාමීය නොවන" ගොඩනැගිල්ලක් ඇති බවය.

අධිකරණය පැවසුවේ ඉදිරිපත් කර ඇති සියලු සාක්ෂි උපයෝගී කර ගෙන, මතභේදයට ලක්ව ඇති භූමිය රාම දෙවියන් වෙනුවෙන් දෙවොලක් ගොඩනැගීමට හින්දූන්ට ලබා දිය යුතු බවට තීරණය කළ බවය.

පූජා ස්ථානය ගොඩනැගීමේ කටයුතු කළමනාකරණයට සහ නිරීක්ෂණය සඳහා 'භාරකාර මණ්ඩලයක්' පිහිටුවන ලෙස ද අධිකරණය ප්‍රාන්ත රජයට නියෝග කළේය.

නමුත් බබ්රි දේවස්ථානය විනාශ කිරීම නීතිවිරෝධී කටයුත්තක් බව අධිකරණය පැවසීය.

තීන්දුවට ලැබුණු ප්‍රතිචාර

අධිකරණ තීන්දුව සැමරීම නොකරන ලෙස බලධාරීන් අනතුරු ඇඟවූව ද අධිකරණ පරිශ්‍රයේ සිටි බීබීසී වාර්තාකරුවන් පැවසුවේ අධිකරණ තීරණය දුන් පසු "ජායි ශ්‍රී රාම්" යනුවෙන් සමහරු ගයන අයුරු තමන්ට ඇසුණු බවය.

"එය ඉතා සමබර විනිශ්චයක්. එය ඉන්දීය ජනතාව ලද ජයක්." යනුවෙන් එක් හින්දු කණ්ඩායමක් වෙනුවෙන් පෙනීසිටි නීතීඥයෙක් මාධ්‍යවේදීන් හා පැවසීය.

එහෙත්, මුස්ලිම්වරුන්ගේ පාර්ශ්වයේ එක් නියෝජිතයෙක් පැවසුවේ ඔවුන් එම තීරණයට සෑහීමට පත් නොවන බවත් සම්පූර්ණ විනිශ්චය කියවීමෙන් අනතුරුව එම තීරණය සමාලෝචනය කරන ලෙස ඉල්ලිය යුතු ද නැත් ද යන්න තීරණය කරන බවය.

අධිකරණ භූමියෙන් පිට සාමකාමී ස්වරූපයක් ගත් බව වාර්තාකරුවෝ පැවසූහ.

එහෙත්, සමාජ මධ්‍ය ජාලවල පළවන තොරතුරු ගැන බලධාරීන් විමසිල්ලෙන් සිටින අතර සමහර ට්විටර් පණිවුඩ සඳහා පිළිතුරු දුන් පොලිසිය ඒවා ඉවත් කරන ලෙස ට්විටර් ගිණුම් හිමියන්ගෙන් ඉල්ලීම් කර තිබුණි.

මේ අතර අධිකරණ තීරණය පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති නරේන්ද්‍ර මෝදී පැවසුවේ එම තීරණය "කිසිවෙකුට හිමි ජයක් හෝ පරාජයක්" ලෙස සැලකිය යුතු නැති බවය.

මේ තොරතුරුත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර