පෙම්වතියගේ කපාගත් අතත් සමඟ ගඟේ වැටුන මහාචාර්යවරයා කරන පාපෝච්චාරණයක්!

සකලොෆ්,රුසියාව Image copyright EPA
Image caption මහාචාර්ය සකලොෆ් 1812 අවධියේ රුසියානු යුද ඇඳුමෙන් සැරසී ගමන්ගත් අවස්ථාවක්

ගංගාවකට වැටී සිටියදී ගොඩගත් මහාචාර්යවරයකුගේ ගමන් මල්ලක තිබී කාන්තා අතක් හමුවීමෙන් පසු, සිය පෙම්වතිය මරා දමන ලද බවට එම මහාචාර්යවරයා විසින් පාපෝච්චාරණය කරන ලදැයි ඔහුගේ නීතිවේදියා පවසයි.

කලින් සිය ශිෂ්‍යාවක් වූ පෙම්වතිය මරා දමන ලද බවට පාපෝච්චාරණය කරන හැටතුන් හැවිරිදි (63) මහාචාර්ය අලෙග් සකලොෆ් (Oleg Sokolov)රුසියාවේ ප්‍රකට නමක් සහිත ආචාර්යවරයෙකි.

පෙම්වතිය මරා ඇයගේ සිරුරේ කොටස් ගංගාවකට දැමීමට යාමේ දී, බීමත්ව සිටි මහාචාර්යවරයා ගඟට වැටී ඇතැයි රුසියාවේ මාධ්‍ය වාර්තා කරයි.

මහාචාර්යවරයා ගඟේ සිටියදී ගොඩ ගැනීමෙන් අනතුරුව, ඔහුට ගොදුරු වූ තරුණියගේ නිවස පොලිසිය විසින් සෝදිසි කරද්දී, අනස්තාසියා යෙස්චෙන්කා (Anastasia Yeshchenko) නම් විසිහතර හැවිරිදි තරුණියගේ හිස කපා වෙන්කරන ලද මළ සිරුර හමු වී ඇත.

මහාචාර්ය අලෙග් සකලොෆ් (Oleg Sokolov) ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ සමය පිළිබඳ විද්වතෙකු වන අතර, ප්‍රංශය විසින් "Légion d'Honneur"නම් ගරු සම්මානයෙන් ඔහු පුදනු ලැබ ඇත.

"මහාචාර්ය සකලොෆ් ඔහු විසින් කරන ලද අපරාධය පිළිගත්තා" ඔහුගේ නීතිවේදී අලෙසන්දර් පොචුයෙෆ් (Alexander Pochuyev) AFP පුවත් සේවයට අදහස් දක්වමින් සඳහන් කළේය.

සිදු කරන ලද අපරාධය සම්බන්ධයෙ කණගාටුවෙන තම සේවාදායකයා දැනට සිදු කෙරෙමින් පවතින පරීක්ෂණවලදී සහයෝගයෙන් කටයුතු කරන බවත් නීතිවේදියා පවසයි.

දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමකදී සිය පෙම්වතිය මරාදමා ඇයගේ සිරුරේ හිස සහ අත්පා කපා වෙන්කරන ලද බව මහාචාර්ය අලෙග් සකලොෆ් පොලිසියට පවසා ඇත.

නැපෝලියන් බොනපාර්ට් අධිරාජ ඇඳුමින් සැරසී තමා ද ප්‍රසිද්ධියේ සියදිවි හානිකර ගැනීමට පෙර සිය පෙම්වතියගේ සිරුර අතුරුදහන් කර දැමීමට සැලසුම් කළ බවත් මහාචාරයවරයා පවසයි.

හයිපතර්මියාව (hypothermia) සඳහා රෝහලින් ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය සකලොෆ් (Oleg Sokolov) මානසික ආතතියෙන් (විෂාදය )පෙළෙමින් සිටියා විය හැකි යැයි නීතිවේදී අලෙසන්දර් පොචුයෙෆ් (Alexander Pochuyev) අනුමාන කරයි.

නැපෝලියන් පිළිබඳව ග්‍රන්ථ කීපයක් රචනා කර ඇති මහාචාර්ය සකලොෆ්, චිත්‍රපට කීපයක් සඳහා ඓතිහාසික තොරතුරු සැපයීමේ උපදේශකයකු ලෙසත් කටයුතු කර ඇත.

මහාචාර්ය අලෙග් සකලොෆ් (Oleg Sokolov) සහ ඔහු අතින් මරා දමන ලද අනස්තාසියා යෙස්චෙන්කා (Anastasia Yeshchenko) ග්‍රන්ථ කීපයක සම කතුවරු වෙති.

ඔවුන් දෙදෙනාම ප්‍රංශ ඉතිහාසය හදාරා ඇති අතර, නැපෝලියන් යුගයේ ඇඳුම්වලින් සැරසී විනෝදවීම පුරුද්දක් ද ඔවුන්ට තිබී ඇත. එම අවස්ථාවන්හි මහාචාර්යවරයා නැපෝලියන් අධිරාජයාගේ ඇඳුමින් සැරසී ඇත.

මහාචාර්ය සකලොෆ් සහ අනස්තාසියා යෙස්චෙන්කා යන දෙදෙනාම ප්‍රශස්ත කථිකාචාර්යවරුන් විනැයි ඔවුන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පවසති.

ප්‍රංශ භාෂාව කථා කළ ඔවුන් නැපෝලියන් පිළිබඳව බලවත් ආශ්වාදයකින් පසුවී ඇත.

මහාචාර්යවරයා සිය පෙම්වතිය වූ අනස්තාසියා නැපෝලියන් ආර්යාවගේ නමින් 'ජොසපින්' යනුවෙන් ඇමතීමට පුරුදුව සිටි අතර තමාට "Sire" යනුවෙන් අමතන ලෙස ඉල්ලා ඇති බවත් AFP පුවත්සේවය වාර්තා කරයි. ("Sire" යනු මධ්‍යතන අවධියේ යුරෝපයේ ප්‍රභූන් සහ රජවරුන් ආමන්ත්‍රණයේ දී භාවිතා කරන ලද වචනයකි.)

මහාචාර්ය අලෙග් සකලොෆ් (Oleg Sokolov) ප්‍රංශයේ ආර්ථික, දේශපාලන සහ සමාජවිද්‍යායතනයේ (Issep) සාමාජිකයෙකි. තම විද්‍යා කමිටුවෙන් මහාචාර්ය සකලොෆ් ඉවත් කරන ලද බව එම විද්‍යාතනය සෙනසුරාදා (නොවැම්බර් 09) නිවේදනය කළේය.

"අලෙග් සකලොෆ් වගකිවයුතු දරුණු සාහසික බිහිසුණු ක්‍රියාව ගැන අපට දැන ගන්නට ලැබුනා" Issep විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.

"ඔහු එවැනි පිළිකුල් සහගත දරුණු ක්‍රියාවක් සිදුකළේ කොහොමද කියල අපට සිතා ගැනීමටවත් නොහැක" යනුවෙන්ද එහි සඳහන් වෙයි.

කියවන්න;

සබැඳි විෂයයන්