ගංජා දේශපාලන වේදිකාවට

Image copyright PA

ගංජා නීතිගත කිරීම පිළිබඳ විවාදය එක්සත් ජනපදයේ දේශපාලන වේදිකාව මතට පැමිණ තිබේ.

ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීමේ සටන වෙනුවෙන් පැවති විවාදයකදී 'ගංජා නීතිගත කිරීම' ප්‍රධාන මාතෘකාවක් විය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්‍ෂකත්වය ලබා ගැනීම සඳහා පවතින තරඟයේ ඉදිරියෙන්ම සිටින්නේ ජෝ බයිඩන්ය.

ඔහුගේ අදහස වූයේ ඇමරිකාව පුරා ගංජා නීතිගත කිරීමට පෙර තවදුරටත් ඒ පිළිබඳව විද්‍යාත්මක සාක්‍ෂි තහවුරු වියයුතු බවය. ඊට හේතුව, ගංජා භාවිතය මගින් "මත් ද්‍රව්‍ය භාවිතයට දොර විවර කෙරෙන" බවට මතයක් පැවතීමය.

"ජාතික මට්ටමින් මෙය නීතිගත කිරීමට පෙර ගංජා පිටුපස ඇති විද්‍යාව පිළිබඳව අප බොහෝ දේ දැන ගත යුතු වෙනවා," ජෝ බයිඩන් පැවසීය.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොරී බුකර් සහ කාමලා හැරිස් යන දෙදෙනා ම බයිඩන් ට දැඩි ප්‍රහාරයක් එල්ල කළහ.

"සාක්‍ෂි ඉතා පැහැදිලියි. ගංජා නීතිගත විය යුතුමයි," යනුවෙන් ඔවුන් දෙදෙනා ම පැවසූහ.

Image caption සැපයුමට වඩා ඉල්ලුම

ජෝ බයිඩන්ගේ ප්‍රකාශය උපහාසයට ලක් කරමින් සෙනෙට් සභික කොරී බුකර් කියා සිටියේ ගංජා නීතිගත කිරීමට විරෝධය පාමින් කතා කරද්දී "ජෝ බයිඩන් මත් වී සිටින්නට ඇති" බවය.

"මේක පැහැදිලියි; ගංජා කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට දොරටු විවර කරන දෙයක් නොවෙයි. එය නීතිගත විය යුතුයි," කාමලා හැරිස් අවධාරණය කළාය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වන බර්නි සැන්ඩර්ස් සහ එලිසබත් වොරන්, ගංජා නීතිගත කිරීම වෙනුවෙන් සහය පළ කරති.

Image copyright Getty Images

Pew Research Center මගින් සිදු කළ මත විමසුමකට අනුව ගංජා නීතිගත කිරීම සඳහා සහය පළ කරන ඇමරිකානු ජන ප්‍රමාණය පසුගිය දශකය පුරා ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.

ඔවුන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව එක්සත් ජනපදයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් මීට කැමැත්ත පළ කර තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගංජා භාවිතය එක්සත් ජනපදයේ ප්‍රාන්ත 33ක නීතියෙන් අවසර ලැබී තිබේ. තවත් ප්‍රාන්ත 11ක් තුළ විනෝදය සඳහා ගංජා භාවිතයට අවසර ඇත.

නමුත් ෆෙඩරල් මට්ටමින් එය තවමත් තහනම් ය.

ඩොලර් කෝටි ගණනක ගෝලීය ව්‍යාපාරය

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණනාවක් මෙන්ම ලොව පුරා රටවල් ගණනාවක්ද වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කංසා වගාව නීතිගත කිරීමෙන් අනතුරුව, එම ව්‍යාපාරයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙයි.

වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් ගංජා ශාකය යොදා ගැනීම ඩොලර් කෝටි ගණනක ගෝලීය ව්‍යාපාරයකි. කැනාටෙක් සංවිධානය පවසන පරිදි වර්තමානයේ ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය මෙය වේ.

'ග්‍රෑන්ඩ් වීව් රිසර්ච්' නම් ඇමෙරිකානු පර්යේෂණ සමාගම ඇස්තමේන්තු කර ඇති පරිදි ඖෂධමය ගංජා අලෙවි කෙරෙන ජගත් වෙළෙඳපොල 2025 වසර වනවිට ඩොලර් කෝටි 5500 තරම් වනු ඇත.

ගංජා යනු මානසික උත්තේජනය ඇති කෙරෙන THC සංකීර්ණය අධික මට්ටමින් අන්තර්ගත වෙන ශාක විශේෂයකි.

කෙසේ නමුත් ගංජා මිශ්‍ර කොට තනන ලද නව වේදනා නාශකයක් ප්‍රංශයේ අත්හදා බැලීමේ දී එක් පුද්ගලයෙකුගේ මොළය සම්පුර්ණයෙන් අකර්මණ්‍ය වූ බවට 2016 දී වාර්තා විය.

Image copyright Getty Images

එක්සත් ජනපදයේ 'ඖෂධ අවභාවිතය පිළිබඳ ජාතික ආයතනය' සඳහන් කරන්නේ "ගංජා භාවිතය මගින් වෙනත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කරා යොමු විය හැකි" බවට ඇතැම් සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බවය.

නමුත් මෙය ගංජා මත පමණක් පවතින සුවිශේෂී තත්වයක් නොවන බව ඔවුහු පවසති. සිගරට් සහ මත්පැන් පානය මගින් ද එම බලපෑම එලෙසම පවතින බව ඔවුන්ගේ වාර්තාවේ සඳහන් වෙයි.

එමෙන්ම ගංජා භාවිත කරන පිරිසෙන් බහුතරය වෙනත් 'ප්‍රබල මත්ද්‍රව්‍ය' කෙරෙහි යොමු නොවන බව ද ඔවුහු පවසති.

කියවන්න:

මේ වන විට ගංජා නීතිගතකර ඇති ප්‍රාන්ත තුළ මත්ද්‍රව්‍යවලට යොමු වී ඇති නව යෞවනයන් ගේ ප්‍රමාණය අඩුවෙමින් හෝ වැඩි වීමකින් තොරව පවතින බවට සාක්‍ෂි පවතී.

නමුත් ගංජා නීතිගත කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 26 හෝ ඊට වැඩි වයසේ පසුවන පිරිස අතරින් ගංජා භාවිතය සඳහා යොමු වූ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට සනාථ වන සමීක්ෂණ ද පවතී.

අධික මාත්‍රාව

අධික මාත්‍රාවකින් ගංජා, මර්ජුවානා හෝ කංසා යන ඕනෑම නමකින් හැඳින්වෙන දෙයක් භාවිත කිරීම මගින් මානසික සෞඛ්‍යයට හානි ගෙන දිය හැකි බවට ද වෛද්‍ය වාර්තා සඳහන් කරයි. මෙහි දී විශේෂයෙන් ම තරුණයන්ට අවදානමක් පවතී.

එක්සත් ජනපදය තුළ ගංජා මුලින්ම නීති ගත වූයේ වොෂින්ටන්, ඕරගන්, ඇලස්කා සහ කොලරාඩෝ යන ප්‍රාන්තවල ය. ඒ 2014 සහ 2016 අතර කාලයේ ය.

2013 සිට 2017 දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය මාත්‍රාව අධික වීම නිසා සිදු වූ මරණ සංඛ්‍යාව පිළිබඳව විශ්ලේෂණයක් එක්සත් ජනපද බලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

මෙවැනි මරණවල සැලකිය යුතු වැඩි වීමක් ප්‍රාන්ත 35ක දක්නට ලැබුණි. ඇලස්කාව ඒ අතර සිටියත් වොෂින්ටනය, ඕරගන් සහ කොලරාඩෝ යන ප්‍රාන්තවල එවැනි මරණවල වැඩි වීමක් නොතිබිණි.

ඉහත කී ප්‍රාන්ත හතර තුළ කොකේන් භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය ජාතික ප්‍රතිශතයට වඩා ඉහලින් තිබේ. ගංජා නීතිගත කිරීමට පෙර ද එය එසේ ම විය.

කෙසේ නමුත් අවසාන නිගමනයකට පැමිණීමට අසීරු වී ඇත්තේ එක් එක් ප්‍රාන්තවල මත්ද්‍රව්‍ය පවතින ප්‍රමාණය සහ සැපයුම, ප්‍රතිකාර සහ පුනරුත්ථාපන වැඩ සටහන්, නීතිය ක්‍රියාත්මක කිරීමේදී දක්වන ප්‍රමුඛතා, සමාජයීය සහ ආර්ථික මට්ටම වැනි කාරනා මත ප්‍රතිඵල වෙනස් වන බැවිනි.

ඖෂධයක් මට්ටමින් ගංජා පාවිච්චිය ඔස්ට්‍රේලියාව ද 2016 වසරේ පටන් නීතිගත කරනු ලැබ ඇත.

එහෙත් දැනට ඔස්ට්‍රේලියාවේ පවතින නීතිය අනුව මත්ද්‍රව්‍යයක් ලෙස ගංජා පාවිච්චිය තවමත් නීති විරෝධී ය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර