පැරණි ඊජිප්තුවේ සත්ත්ව සොහොන්ගැබක තොරතුරු

Image copyright Reuters
Image caption සොයාගනු ලැබ ඇති සත්ත්ව සිරුරු කයිරෝ නගරය අසල ස්ථානයක ප්‍රදර්ශනය කෙරෙමින් ඇත.

ඊජිප්තුවේ ඓතිහාසික සුසාන භූමියකින් සතුන්ගේ සංරක්ෂිත මළ සිරුරු (mummified) ඇතුළත් බහාලුමක් ලැබී ඇති අතර ඒවා කයිරෝ නගරය අසල ස්ථානයක ප්‍රදර්ශනය කෙරෙමින් ඇත.

පුරාවිද්‍යාඥයන් විසින් එම සත්ත්ව සිරුරු රාශිය පසුගිය වසරේ සොයාගනු ලැබ තිබෙන්නේ කයිරෝ අගනුවරින් දකුණු දෙසින් පිහිටි සඛාරා (Step Pyramid of Saqqara) පිරමිඩ් භූමිය අසලිනි.

සොයාගනු ලැබ ඇති කෞතුක වස්තූන් අතරට මරණයෙන් අනතුරුව සංරක්‍ෂණය කරන ලද බළලුන්,කිඹුලන්,නාගයින් සහ කුරුල්ලන්ට අමතරව වෙස් මුහුණු සහ පිළිම ආදිය ද ඇතුළත් වේ.

ඊජිප්තු බලධාරීන් විසින් පසුගිය සෙනසුරාදා(නොවැම්බර් 23) සඛාරා (Step Pyramid of Saqqara) සුසානභූමිය අසල ස්ථානයක දී එම කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සඳහා තබන ලදී.

ඒවා අතර ඇති සත්ත්ව සිරුරු දෙකක් සිංහ පැටවුන්ගේදැයි සහතික කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කෙරෙමින් ඇති බව ඊජිප්තු කෞතුක භාණ්ඩ භාර අමාත්‍යාංශය පවසයි.

Image copyright Reuters
Image caption බළලුන්,කිඹුලන්,නාගයින් සහ කුරුල්ලන්ට අමතරව වෙස් මුහුණු සහ පිළිම ආදියත් කෞතුකභාණ්ඩවලට ඇතුළත් වෙයි.

එවැනි බළල් සිරුරු නිතරම මෙන් පුරාවිද්‍යාඥයන්ට හසුවෙන නමුත් සිංහ සිරුරු හමුවීම ඉතාම දුර්ලභ සිද්ධියක් ලෙස සැළකේ.

සෙනසුරාදා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දැක්වූ ඊජිප්තු නිලධාරියෙක්, ආදී මිසරවාසීන් විසින් පූජනීය ලෙස සලකන ලද කුරුමිණි වර්ගයක විශාල පිළිරුවක් හමුවීම අතිවිශේෂ සොයාගැනීමක් ලෙස විග්‍රහ කළේය.

පුරාවස්තු පිළිබඳ ඊජිප්තු මහා මණ්ඩලයේ මහලේකම් මොස්ටාෆා වසිරි (Mostafa Waziri) තවදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

"සොයාගනු ලැබ ඇති භාණ්ඩ අතර ඉතාම සිත්ගන්නා සුළු සොයා ගැනීම වන්නේ මෙම කුරුමිණි නිමැවුම සොයා ගැනීමයි"

"මේක තමයි ලෝකයේ විශාලතම,දැවැන්තම කුරුමිණියා"

Image copyright Reuters
Image caption "සොයාගනු ලැබ ඇති භාණ්ඩ අතර ඉතාම සිත්ගන්නා සුළු සොයා ගැනීම වන්නේ මෙම කුරුමිණි නිමැවුම සොයා ගැනීමයි"

සඛාරා (Saqqara) යනු පෞරාණික ඊජිප්තුවේ අවුරුදු දෙදහසකට අධික කාලයක් අගනුවර වී තිබූ 'මෙම්ෆිස්' (Memphis) නගරයේ මළවුන් තැන්පත් කිරීම සඳහා භාවිත කෙරුණු සුසාන භූමියකි.

එම සුසාන භූමිය කයිරෝ හි වත්මන් අගනුවරින් කිලෝමීටර් තිහක් පමණ ඈතින් පිහිටා ඇත.

වසර තුන්දාහක පමණ කාලයක් මළසිරුරු තැන්පත් කිරීම සඳහා නිතරම භාවිත කර ඇති එම භූමිභාගය, ලෝක උරුමයක් ලෙස 'යුනෙස්කෝව' විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

ඉහත කී පුරාවිද්‍යාත්මක සොයාගැනීම් උපයෝගී කර ගනිමින් ඊජිප්තුව පසුගිය වසරවල එම භූමියේ වැදගත්කම නංවාලීමේ ප්‍රයත්නයක නිරත වූ නමුත් වඩාත් ඉස්මතු කෙරුණේ සංචාරක කර්මාන්තයයි.

Image copyright Reuters
Image caption ප්‍රදර්ශනාගාරයට පැමිණි සංචාරකයන් පිරිසක්

කියවන්න;