බංග්ලාදේශ් ප්‍රහාරය: ඉස්ලාමීයයන් හත් දෙනෙකුට මරණ දඬුවම

Holey Artisen Bakery attack Image copyright Getty Images

2016 වර්ෂයේ දී බංගලාදේශ අගනුවර ඇති ආපන ශාලාවකට එල්ල කරන ලද ප්‍රහාරයකට වගකිව යුතු ඉස්ලාමීය පුද්ගලයින් හත් දෙනෙකුට අද දින (නොවැම්බර් 27) එරට අධිකරණයෙන් මරණ දණ්ඩනය නියම කෙරිණි.

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් විසි දෙදෙනෙකු මියගිය අතර, ඉන් වැඩි පිරිසක් විදේශිකයන්ය.

පුද්ගලයන් පස් දෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කළ අතර, ඔවුන් ධකා නුවර පිහිටි 'හොලේ ආර්ටිසන්' (Holey Artisan) ආපනශාලාවේ ආහාර ආහාර ගනිමින් සිටි පිරිස ප්‍රාණ ඇපකරුවෝ ලෙස රඳවා ගත්හ.

ප්‍රහාරය සැලසුම් කිරීම සහ අවි ආයුධ සැපයීමේ චෝදනාව මත පුද්ගයන් අට දෙනෙකුට එරෙහිව නඩු පැවරුණි. පසුව එක් පුද්ගලයෙකු එම චෝදනාවලින් නිදහස් විය.

පැය දොළහක් පුරා පැවතුණ එම මෙහෙයුම බංගලාදේශයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකේ. එහිදී මියගිය පුද්ගලයන් බොහෝ දෙනා ඉතාලි සහ ජපාන ජාතිකයන්ය.

IS සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම බාර ගත් නමුත්, බංගලාදේශ බලධාරීන් පවසන්නේ එරට ක්‍රියාත්මක වන සටන්කරුවන් කණ්ඩායමක් මෙම ප්‍රහාරයට වගකිව යුතු බවය.

එම ප්‍රහාරයෙන් පසු ඉස්ලාමීය සටන්කරුවන් දැඩි ලෙස මැඩපැවැත්වීමට බංගලාදේශ බලධරයෝ ක්‍රියා කළහ. මුස්ලිම් බහුතරයක් වෙසෙන බංග්ලාදේශය අස්ථාවර කිරීමේ බලවේගයක් ලෙස එරට බලධාරීන් විසින් පෙන්වා දෙන ලද සටන්කරුවන් මත ඔවුහු දැඩි මර්දනකාරී වැඩපිළිවෙක් දියත් කළහ.

චූදිතයන්ට එරෙහි චෝදනා "සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළා" යැයි නීතිඥ ගොලාම් සර්වර් පැවසුවේ අධිකරණයෙන් නඩු තීරණය ප්‍රකාශ කළ පසුය.

"උසාවිය ඔවුන්ට උපරිම දඬුවම ලබා දුන්නා," නීතිඥවරයා එහි සිටි මාධ්‍ය වාර්තාකරුවන්ට පැවසීය.

අදාළ පුද්ගලයන් හත් දෙනා බංගලාදේශයේ තහනම් සංවිධානයක් වන ජමාත් උල් මුජහිදීන් බංගලාදේශ් හි සාමාජිකයන් බවට ද චෝදනා නගා තිබිණි.

ප්‍රහාරය එල්ල වූයේ කෙසේද?

2016 ජූලි පළමුවෙනි දින ධකා නුවර ගුල්ශාන් දිස්ත්‍රික්කයේ පිහිටි හොලේ ආර්ටිසන් ආපනශාලාවට තුවක්කුකරුවන් පස් දෙනෙක් කඩා වැදුණහ.

Image copyright Getty Images

රයිෆල් තුවක්කු සහ විශාල පිහි අතැතිව සිටි තරුණ ප්‍රහාරකයන් වෙඩි තැබූ අතර, ආහාර ගනිමින් සිටි පිරිස තුවක්කු පෙන්වා බියවද්දමින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගනු ලැබූහ.

ඒ වන විට ආපනශාලාවේ සිටි පිරිස අතරින් බොහෝ දෙනෙක් විදේශිකයන් වූ අතර, ඔවුන් වෙඩි තබා හෝ කපා කොටා ඝාතනය කර තිබිණි.

පැය දොළහකට පසු බංගලාදේශ හමුදා කොමාන්ඩෝ භටයින් අදාළ ගොඩනැගිල්ලට ඇතුළු වී ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු මුදවා ගත් අතර, ප්‍රහාරකයන් පස් දෙනා වෙඩි තබා මරා දැමිණි.

ඉතාලි ජාතිකයන් නව දෙනෙකු, ජපන් ජාතිකයන් හත් දෙනෙකු, අමෙරිකානු ජාතිකයෙකු සහ ඉන්දීය ජාතිකයෙකු ද මියගිය විදේශිකයන් අතර සිටියහ.

එම පුද්ගලයන්ට උල් ආයුධවලින් "දරුණු" ලෙස ප්‍රහාර එල්ල කර ඇතැයි බංගලාදේශ හමුදාවේ බ්‍රිගේඩියර් ජෙනරාල් නයිම් අස්රාෆ් පැවසීය.

"එය ඉතා සාහසික ක්‍රියාවක්. මේ මොන වගේ මුස්ලිම් ජාතිකයන්ද? ඔවුන්ට කිසිම ආගමක් නැහැ," යැයි බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සිද්ධිය වූ අවස්ථාවේ දී විකාශනය වූ රූපවාහිනී සාකච්ඡාවක දී පැවසුවාය.

වැඩිදුර තොරතුරු: