සෝවියට් බුද්ධි නිලධාරිනියට ජනාධිපති පූතින්ගේ උපහාර

පූතින්,සෝවියට් Image copyright Reuters
Image caption ජනාධිපති පූතින් ගෝර් වර්තන්යාන් මුණගැසුන අවස්ථාවක්

දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ මිත්‍ර පාර්ශ්වයේ නායකයන් වූ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, සෝවියට් නායක ජෝෂෆ් ස්තාලින් සහ ඇමෙරිකානු ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් මරා දැමීම සඳහා ක්‍රියාත්මක කෙරුණු නාසි කුමන්ත්‍රණයක් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් සම්මානයට පාත්‍ර වූ සෝවියට් දේශයේ හිටපු රහස් ඔත්තු නිලධාරිනියකට රුසියාවේ උපහාරය පිරිනමනු ලැබිණි.

අනූතුන් වෙනි (93) වියේ පසු වූ ගෝර් වර්තන්යාන් (Goar Vartanyan) නම් එම සෝවියට් රහස් ඔත්තු නිලධාරිනිය පසුගිය සඳුදා (නොවැම්බර් 25) සිය ජීවිතයෙන් සමුගත්තාය.

ගෝර් වර්තන්යාන් සෝවියට් රහස් ඔත්තු නිලධාරියෙකු වූ ගෙවෝර්ක් වර්තන්යාන් (Gevork Vartanian) සමඟ විවාහ වී සිටි අතර, ඔහු මෙයින් වසර හතකට පෙර එනම් 2012 වසරේ දී සිය දිවිසැරිය නිම කළේය.

"එම යුවළ නොසිටින්නට අපේ ලෝක ඉතිහාසය මීට වඩා වෙනස් මුහුණුවරක් ගැනීමට ඉඩ තිබුණා" ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් (Dmitry Peskov) පවසයි.

"ඔවුන් මානව ඉතිහාසයේ සිය නම් සලකුණු කළ යුවළක්" ක්‍රෙම්ලින් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගෝර් වර්තන්යාන් 1926 වසරේ සෝවියට් ආර්මීනියාවේ උපත ලැබුවාය.

1930 දශකයෙහි ඉරානයට ගිය ඇය සිය අනාගත සැමියා වූ ගෙවෝර්ක් වාර්තන්යාන් විසින් මෙහෙයවන ලද නාසි විරෝධී කණ්ඩායමකට එක් වී ඇත්තේ දහසය වෙනි වියේ පසුකරන අතරය.

ගෙවෝර්ක් වාර්තන්යාන් ඒවනවිටත් සෝවියට් ඔත්තුකරුවෙකු වශයෙන් සේවය ආරම්භ කර තිබිණි.

ඔවුන් විසින් ඉරානයේ නාසිවාදී ඔත්තුකරුවන් සිය ගණනක් හෙළිදරව් කරනු ලැබ ඇත.

Image copyright AFP
Image caption "BIg Three"; ස්තාලින්,රූස්වෙල්ට් සහ චර්චිල් ලෝක නායකයන් තිදෙනා ඝාතනය කිරීමේ නාසි කුමන්ත්‍රණය ව්‍යවර්ථ කරන ලද්දේ ගෙවෝර්ක් වර්තන්යාන් විසින් මෙහෙයවන ලද නාසි විරෝධී කණ්ඩායම විසිනි

නාසි විරෝධී යුද උපාය සාකච්ඡා කිරීම සඳහා ඉරානයේ 'ටෙහෙරාන්' අගනුවරට සම්ප්‍රාප්ත වූ බ්‍රිතාන්‍ය, සෝවියට් සහ ඇමෙරිකානු නායකයන් සහභාගී වූ සමුළුවේ ආරක්‍ෂාව පිළිබඳ වගකීම පැවරී තිබුණේ ගෙවෝර්ක් වර්තන්යාන් විසින් මෙහෙයවන ලද නාසි විරෝධී කණ්ඩායමකටය.

ටෙහෙරානයේ නාසි කුමන්ත්‍රණය

එම අවස්ථාවේ ලෝක නායකයන් තිදෙනා ("Big Three") ඝාතනය කිරීම සඳහා "Operation Long Jump" යනුවෙන් නම් කර තිබූ ප්‍රහාරක කුමන්ත්‍රණයක් එම නාසි විරෝධී කණ්ඩායම විසින් අනාවරණය කරගනු ලැබිණි.

ඒ සමඟ එම නාසි කුමන්ත්‍රණකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මිත්‍ර කඳවුරේ ලෝක නායකයන් තිදෙනා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය මෙහෙයවනු ලැබ ඇත්තේ ඔස්ට්‍රියානු සම්භවයක් සහිත කුප්‍රකට නාසි අණදෙන්නකු වී සිටි ඔටෝ ස්කොර්ෂෙනි (Otto Skorzeny) විසිනි.

එහෙත් ඔවුන්ගේ පණිවුඩ හුවමාරුව සෝවියට් මෙහෙයුම් යාන්ත්‍රණයකට හසුවීමත් සමඟ ඔවුන්ගේ ප්‍රයත්නය අසාර්ථක විය.

කෙසේවුවද, ඔටෝ ස්කොර්ෂෙනි පසු කාලයෙහි සිය මතක සටහන් ලියමින් එවැනි කුමන්ත්‍රණයක් නොවූ බව කියා සිටියේය.

ගෝර් සහ ගෙවාර්ක් වර්තන්යාන් යුද්ධය නිමවීමෙන් පසු 1951 වසරේදී සෝවියට් සංගමයේ පදිංචියට ගොස් ඇත.

පූතින්ගේ දැන හැඳුනුම්කම්

අනතුරුව ඔවුන් දෙදෙනා සෝවියට් සංගමයේ අති රහස්‍ය ඔත්තුකරුවන් ලෙස ක්‍රියාකිරීම සඳහා පිටරටවලට යවා ඇති අතර, 1956 පටන් 1986 තෙක් සෝවියට් SVR විදේශීය ඔත්තු අංශයේ බුද්ධි නිලධාරීන් වශයෙන් ඔවුහු කටයුතු කළහ.

සෝවියට් බුද්ධි අංශය තුළ ඔවුන් දෙදෙනා නම් කරනු ලැබ ඇත්තේ ඇනිතා (Anita) සහ අන්රි (Anri) යන සංකේත නම් වලිනි.

මීට පෙරදී සෝවියට් බුද්ධි අංශ නිලධාරියකු වූ ජනාධිපති ව්ලදිමීර් පූතින් එම යුවළ හොඳින් දැන සිටි බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශක පෙස්කෝෆ් පවසයි.

"ගෙවාර්ක් වර්තන්යාන් සෝවියට් වීරයෙක්. ගෝර් , ඇයගේ සැමියා වූ ගෙවාර්ක් ගේ සියලු ජයග්‍රහණවල වීරවරියයි. ගෙවාර්ක් මුලින් මරණය වැළඳ ගත්තා. අද අපට 'ගෝර්' අහිමි වුනා" ගෝර් සහ ගෙවාර්ක් වර්තන්යාන් අගය කරමින් නිවේදනයක් නිකුත් කරන SVR රුසියානු ඔත්තු අංශය සඳහන් කළේය.

කියවන්න;