මුස්ලිම් ජාතික සංස්කෘත මහාචාර්යවරයාට හින්දු සිසුන්ගේ විරෝධය

Image copyright FEROZ KHAN
Image caption "මගේ තාත්තා මම ඉස්කෝලේ යවන්න තීන්දු කළාම ඔහු මගේ එක විෂයක් හැටියට සංස්කෘත තෝරාගත්තා. මොකද? මගේ තාත්තාත් සංස්කෘත ඉගෙන ගත්තා"මහාචාර්ය ඛාන්

උතුරු ඉන්දියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන වාරාණසී (Varanasi) සරසවි සිසුන්ට සංස්කෘත භාෂාව ඉගැන්වීම සඳහා බඳවා ගන්නා ලද මුස්ලිම් මහාචාර්යවරයකු ප්‍රතික්ෂේප කිරීමට සිසුන් කණ්ඩායමක් තීන්දු කර ඇත.

"ඓතිහාසික හින්දු සමය සමග නිරන්තරයෙන් බැඳී ඇති සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය, මුස්ලිම් දහම අනුගමනය කරන බැතිමතෙකු විසින් උගන්වනු ලැබීම අසාර්ථකය" යන්න වාරාණසී (Varanasi) සරසවියේ දැඩි මතධාරී සිසුන් කණ්ඩායමක තර්කය වී තිබේ.

'වාරාණසී' සරසවියේ (BHU) සංස්කෘත සාහිත්‍යය ඉගැන්වීම සඳහා තමාට ආරාධනා කළ විට මුස්ලිම් ජාතිකයකු වන මහාචාර්ය ෆිරෝස් ඛාන් (Firoz Khan) බලවත් ප්‍රමෝදයට පත්ව සිටි බවත් වාර්තා වෙයි.

එය ඔහු ලද පළමු රැකියාව ද වෙයි.

එහෙත් රැකියාව ලැබ සති තුනකට අධික කාලයක් ගෙවී ඇතත්, මහාචාර්ය ෆිරෝස් ඛාන්ට තවමත් පැවැත්වීමට හැකි වී තිබෙන්නේ එක දේශනයක් පමණි.

මහාචාර්ය ෆිරෝස් ඛාන්ගේ පත්වීම පිළිබඳ පුවත පසුගිය නොවැම්බර් මස හය වෙනිදා සරසවිය පුරා පැතිර යාමත් සමග, තිස් දෙනෙකුගෙන් පමණ සැදුම්ලත් සංස්කෘත විෂය හදාරන ශිෂ්‍යයන් කණ්ඩායමක් එම පත්වීමට විරෝධය පළ කරමින්, උපකුලපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළහ.

ඔවුන්ගේ තර්කය වුණේ මුස්ලිම් මහාචාර්යවරයකුට සංස්කෘත විෂය ඉගැන්වීමට පැවරීම නිවැරදි නොවන බවය.

සම්භාව්‍ය භාෂාවක් වන සංස්කෘත බොහෝ ඉන්දියානු භාෂාවන්හි මූලය වන ඉන්දු-ආර්ය භාෂා පවුලට අයත් වෙයි.

සංස්කෘත විෂයත් සමග මහාචාර්ය ඛාන්ගේ සබඳතාව අතිශයින් පෞද්ගලික වූවකි.

"මගේ තාත්තා මම ඉස්කෝලේ යවන්න තීන්දු කළා ම ඔහු මගේ එක විෂයක් හැටියට සංස්කෘත තෝරා ගත්තා. මොක ද? මගේ තාත්තාත් සංස්කෘත ඉගෙන ගත්තා."

ඔහු සංස්කෘත භාෂාවට ආදරෙයි. සංස්කෘත විෂයට මගේ ආදරය බැඳීම ඇති වුණේ මම ළමයෙක් විධියට පාසල් ගිය කාලයේ පටන්," මහාචාර්ය ෆෙරෝස් ඛාන් පවසයි.

Image caption විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටි සරසවි සිසුන් පිරිසක්

සංස්කෘත පෞරාණික ඉන්දියාවේ උගතුන් විසින් පරිහරණය කරන ලද භාෂාවක් වූ අතර එය "දෙවියන්ගේ භාෂාව" (දේව භාෂාව) යනුවෙන් හැඳින්විණි.

"මහාචාර්ය ඛාන් සංස්කෘත ඉගැන්වීමට පත් කරනු ලැබීම සරසවි නීතිය උල්ලංඝණය කරනු ලැබීමකැයි" ඔහුට එරෙහි ඉහත කී විරෝධතා ව්‍යාපාරය මෙහෙයවන ශිෂ්‍යයකු වූ චක්‍රපානි ඕජා (Chakrapani Ojha) පවසයි.

එම ශිෂ්‍යයා භාරතීය ජනතා පක්ෂයේ (BJP) ශිෂ්‍ය අංශය වන "අකිල් භාරතීය විද්‍යාර්ථි පර්ෂද්" නම් ශිෂ්‍ය සංවිධානය නියෝජනය කරන්නෙකි.

ඔහුගේ එම අදහස් වාරාණසී සරසවි බලධාරීන් විසින් බැහැර කරනු ලැබ ඇත.

"මහාචාර්ය ඛාන්ගේ පත්වීම මගින් කිසිදු නීතියක් උල්ලංඝණය නොවන," බව සරසවිය කියා සිටියි.

"සංස්කෘත භාෂාව ඉගැන්වීම සම්බන්ධයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීමේදී ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් වඩාත් හොඳ ම අපේක්‍ෂකයා අපි ඒකමතිකව තෝරා ගත්තා" වාරාණසී සරසවියේ නිලධාරියෙක් පැවසීය.

"මුස්ලිම් මහාචාර්යවරයෙක් සංස්කෘත භාෂා අධ්‍යයන පීඨයේ ඉගැන්වීම හින්දු දහමේ ශ්‍රේෂ්ඨත්වය කෙරෙහි බලපානවා," ආනන්ද් මොහාන් ජා නම් සරසවි සිසුවා පවසයි.

එපරිද්දෙන් මහාචාර්ය ඛාන් සංස්කෘත අංශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබියදී, ආචාර්යවරුන් පිරිසක් මහාචාර්යවරයා වෙනුවෙන් පෙරට පැමිණ සිටිති.

"උර්දු - ෆාර්සි සහ අරාබි යන භාෂාවන් අයත් දෙපාර්තමේන්තුව අවුරුදු තිහකට ආසන්න කාලයක් තිබුණේ හින්දු ජාතිකයකු යටතේ. එම ආචාර්යවරයාට කුරානය ඉගැන්වීම සඳහා සුදුසුකම් ලබන උපාධියකුත් තිබුණා" වාරාණසී සරසවියේ උර්දු අංශයේ ප්‍රධානී අෆ්ටාබ් අහමඩ් අෆාකි (Aftab Ahmad Afaqi) පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දක්වන උර්දු අංශයේ ප්‍රධානී අෆ්ටාබ් අහමඩ් අෆාකි මෙසේ පවසයි.

"උර්දු අංශයේත් හින්දු මහාචාර්යවරුන් ඉන්නවා. ආගම සහ භාෂාව කියන්නේ සහමුලින් ම එකිනෙකින් වෙනස් විෂයයන් දෙකක්."

Image copyright Getty Images
Image caption සංස්කෘත ඉන්දියානු සංස්කෘතියේ එක පැතිකඩක් ලෙස සැලකෙයි

විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටි ශිෂ්‍යයන් මේ වන විට ඔවුන්ගේ ක්‍රියාමාර්ග නතර කරනු ලැබ ඇතත්, මහාචාර්ය ඛාන් ඉවත් කරන තෙක් පන්ති වර්ජනය දිගට ම පෙරට ගෙන යන බව ඔවුහු කියා සිටිති.

උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ මහාචාර්ය ෆෙරෝස් ඛාන් "තම ආගම සිය භාෂා විශේෂඥතාව කෙරෙහි ඇති කරන බලපෑම කුමක් ද යන්න තේරුම් ගත නොහැකි" යයි කියා සිටියේය.

"යම්කිසි ආගමක් සමග සම්බන්ධයක් සහිත භාෂාවක් වෙනත් ආගමකට අයත් තැනැත්තෙකු විසින් ඉගෙනගනු ලැබීම සහ ඉගැන්වීම ප්‍රශ්නයක් කර ගන්නේ ඇයි? මම සංස්කෘත භාෂාව ඉගෙන ගත්තේ සංස්කෘත සාහිත්‍යය අවබෝධ කර ගැනීමට අවශ්‍ය වූ නිසා. ඉන්දියානු කීර්තියේ පැති දෙකක් තියෙනවා. එකක් සංස්කෘත භාෂාව. අනිත් පැත්ත, එමගින් ජනිත සංස්කෘතිය. යම්කිසි පුද්ගලයෙකුට ඉන්දියාව තේරුම් ගන්න අවශ්‍ය නම්, සංස්කෘත කියවීමෙන් තොරව එහි සමස්තය තේරුම් ගන්න බැහැ," මහාචාර්ය ෆෙරෝස් ඛාන් පෙන්වා දෙයි.

මේ අතර වාරාණසී සරසවියේ බොහෝ සිසුන් මහාචාර්යවරයා වෙනුවෙන් පෙරට පැමිණ ඇත.

මහාචාර්ය ඛාන්ට සහයෝගය පළ කරමින් සංවිධානය කර තිබූ ශිෂ්‍ය පෙළපාළියක ප්‍රදර්ශනය කෙරුණු බැනරවල පහත දැක්වෙන වැකිය ලියා තිබිණි.

"ආචාර්ය ෆෙරෝස් ඛාන්! අපි ඔබ සමගය."

"මහාචාර්ය ඛාන්ට විරුද්ධ උද්ඝෝෂණ කිසිදු පදනමක් නැති මෝඩ වැඩක්," රශ්මි සිං නමැති ශිෂ්‍යයා පවසයි.

"ඉන්දියාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අනාගමික රාජ්‍යයක්. මහාචාර්යවරයෙක් තෝරා ගැනීම ආගම හෝ කුලය පදනම් කරගෙන කරන්න පුළුවන් දෙයක් නොවෙයි," එම ශිෂ්‍යයා පෙන්වා දෙයි.

කියවන්න: