ඉන්දියාවේ පුරවැසි පනත: "අපි දෙවෙනි පෙළ පුරවැසියන් වෙලා"

Image copyright Nikita Deshpande/BBC
Image caption මුස්ලිම්වරයෙකු වශයෙන් දැඩි කනස්සලු ස්වභාවයක් දැනෙන බව රිකාත් හෂ්මි පවසන්නීය

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව පුරවැසි පනතට එරෙහිව ඉන්දියාව පුරා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ පැතිර යමින් තිබියදී එරට පවතින තත්ත්වය සම්බන්ධයෙන් මුස්ලිම් ශිෂ්‍යාවක පළ කළ අදහස් පහත දැක්වේ.

ඉන්දියාවේ ඉන්න බොහෝ මුස්ලිම්වරු වගේම, මමත් දැන් කාලය ගත කරන්නේ අනාගතේ කුමක් වේදැයි සිතමින්.

මගේ ආගම නිසා රැකියාවක් නොලැබේවිද? මගේ නිවසින් මට යන්න වෙයිද? කලහකාරී කණ්ඩායම්වල දඬුවමට ලක් වෙයිද? කෙදිනක මේ බය ඉවර වෙයිද?

"ඉවසල ඉන්න", ඉන්දියාවේ දිල්ලි අගනුවර මම ඉගෙන ගන්න 'ජමියා මිලියා ඉස්ලාමියා' කැම්පස් එකේ රාත්‍රියේ සිදු වුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පස්සේ මගේ අම්මා කිව්වා.

අලුතින් රටට හඳුන්වා දුන් නීතියට එරෙහිව කෙරෙන උද්ඝෝෂණ, 'සුදුසු' මොනයම් ආකාරයකින් හෝ නැවැත්වීම සඳහා ශිෂ්‍යයන්ට පහර දුන්නා, නාන කාමර සහ පුස්තකාල වැනි ස්ථාන වෙත කඳුළු ගෑස් ගැහුවා, බියට පත් කළා.

බංග්ලාදේශය, පාකිස්තානය හෝ ඇෆ්ගනිස්තානයෙන් පැමිණි මුස්ලිම්වරුන් හැර හිංසාවට ලක්වන සෙසු ආගමික ප්‍රජාවන් හයකට මේ නීතියෙන් පුරවැසිභාවය හිමි වෙනවා.

තෝරා බේරාගෙන මුස්ලිම්වරු හැර දමා තිබෙනවා. ශිෂ්‍ය විරෝධතාවලට මූලිකවම බලපා තිබෙන්නේ නීතිය යොදා ගනිමින් කරන මේ නොසලකා හැරීමයි.

පොලිසිය ප්‍රහාර එල්ල කළේ ඇයි?

ඔවුන් හේතු වශයෙන් කියන්නේ සිසුන් වාහන ගිනි තිබ්බා සහ එවැනි ප්‍රතිචාරයකට පෙළඹෙව්වා කියලා. නමුත් ඒ සඳහා අපිට එරෙහිව සාක්ෂි කොහෙද තියෙන්නේ?

ඔවුන් කියනවා වෙඩි තිබ්බේ නැහැ කියලා. එහෙනම් තුවාල වෙලා ඉස්පිරිතාලේ ඉන්න මිනිස්සු ගැන මොකද කියන්නේ?

මම මේ විශ්වවිද්‍යාලය තුළ දන්ත වෛද්‍ය විද්‍යාව හදාරනවා. මෙහෙ ඉගෙනගත් කාලය තුළ මම සාමකාමී උද්ඝෝෂණ ගණනාවක් දැක තිබෙනවා.

පසුව ප්‍රචණ්ඩකාරී ගැටුම් බවට පත් වුණු ඒ උද්ඝෝෂණවලට මම සම්බන්ධ වුණේ නැහැ.

නමුත් මේ ගැටුම්වලින් පස්සේ, ඒ කියන්නේ පොලිසිය සිසුන්ට පහර දීම ආරම්භ කළාට පස්සේ මටත් ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙලා.

මට මතකයි, පොලීසිය අපේ හොස්ටල් වෙත පැමිණි විට බෙරිහන් දුන්නා. අපි ලයිට් නිවලා නොපෙනී ඉන්න උත්සාහ කළා.

රැය ගෙවී ගිහින් වාසනාවකට අපි බේරුනා. නමුත් ඉන් අපිට පැහැදිලි වුණේ මෙයයි:

විවේචන කළා ද නැද්ද කියන දේ වැඩක් නැහැ. මොකද මෙහි ඉලක්කය වුනේ අපි. නැතිනම් පේන්න තිබෙන්නේ එහෙම දෙයක්.

ඉලක්කය වුනේ අපි, අලුත් ඉන්දියාවේ මුස්ලිම්වරු.

Image copyright Getty Images
Image caption 'ජමියා මිලියා ඉස්ලාමියා' හි සිසු සිසුවියන් පුරවැසි සංශෝධන පනතට එරෙහිව ප්‍රතිචාර දක්වමින්

පොඩි කාලේ හින්දු බැති ගී සද්දෙට ඇහැරෙනවා මට මතකයි.

අපි තමයි, නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ වැඩි වශයෙන් හින්දු භක්තිකයන් විසූ නගරයක සිටි එකම මුස්ලිම් පවුල.

අපි සෑම විටම උත්සව සමරුවේ එකට - ඊද් කාලෙට ඔවුන් මගේ අත්වල හෙනා දැම්මා. 'නරක' පරාජය කර 'හොඳ' ජය ගැනීම සංකේතවත් කරන නවරාත්‍රී කාලෙට මමයි මගේ සහෝදරයොයි ඔවුන්ගේ ගෙවල්වලට ගියා.

මගේ සමහර හින්දු යාළුවෝ බුරියානි රස බලන්න අපේ ගෙදර එනවා.

මේ පේන තෙක් මානයක මුස්ලිම් පල්ලියක් නැහැ. මගේ තාත්තා ආගමික වතාවත් නොකරන මුස්ලිම්වරයෙක් නිසා ඔහුට ඒක ගානක් වුණේ නැහැ. අම්මා දවසකට පස් වතාවක් යාඥා කළේ ගෙදරදිමයි.

වැඩි වශයෙන් හින්දු අය ඉන්න කොන්වන්ට් එකක මම ඉගෙන ගත්තේ. ආගම ගැන කවදාවත් වෙනසක් දැනුනේ නැහැ.

'මුස්ලිම්වරු දින පතා නාන්නේ නැහැ' කියන මිත්‍යා විශ්වාසය ගැන එකම එක දවසක් යාළුවෙක් ඇහුවා. මට ඒකට හිනා ගියා. "අපි..මම අනිවාර්යෙන් හැමදාම නානවා," කියලා මම කිව්වා.

ආගම අපේ ජීවිතවල කොටසක් වෙලා තිබුණා. නමුත් මගේ අනන්‍යතාව මුස්ලිම් කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මේ වෙනකම්.

විවිධ බලවේග අපිව බෙදන්න උත්සහ කරනවා. නැවත වරක් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ.

මස් කන ජාතියක්, සමාජය දූෂණය කරන ලිංගික අපයෝජකයන් පිරිසක්, පාකිස්තානය ආරක්ෂා කරන ත්‍රස්තවාදීන්, හින්දු ජනතාව ඉස්ලාම් ආගමට හරවන පිරිසක් සහ රට අල්ල ගන්න ආපු සුළු ජාතීන් පිරිසක් කියලා අපිව අච්චු ගහනවා.

ඇත්තෙන්ම වෙන්නේ, බයත් එක්ක ජීවත් වීමට පුරුදු විය යුතු දෙවෙනි පෙළ පුරවැසියන් පිරිසක් බවට අපි පත්වෙමින් සිටීමයි.

Image copyright Getty Images
Image caption පුරවැසි සංශෝධන පනතට එරෙහිව ඉන්දියාව පුරා උද්ඝෝෂණ පැතිර යමින් පවතී

පුරවැසි නීතියට එරෙහි ප්‍රකෝපකාරී උද්ඝෝෂණ අතරතුර ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සන්සුන් වන ලෙස ඉල්ලමින් කියා සිටියේ: "සාමය, සමගිය සහ සහෝදරත්වය පවත්වා ගැනීමට කාලය පැමිණ ඇති" බවයි.

ඊට දිනකට පෙර දහස් ගණනක් සහ කැමරා ගණනාවක් ඉදිරියේ ඔහු පැවසුවේ: "ගිනි තබන (දේපලවලට) පුද්ගලයන් ටීවී එකෙන් බලාගන්න පුළුවන්...ඔවුන් ඇඳ සිටින ඇඳුම්වලින් ඔවුන් හඳුනා ගත හැකියි."

ඔහු විස්තර ඇතිව නොකීවත් එය මගේ ආගමට සැඟවී එල්ල කළ ප්‍රහාරයක් බව පෙනෙන්න තිබෙනවා. එහි ඇති උපහාසය නම් එමගින් සිදු වුණේ මා තවත් ආගම වෙත නැඹුරු වීම පමණයි.

පිටට පෙනෙන්න තිබෙන දේ ගැන පමණක් නෙවෙයි ඉන් මම අදහස් කළේ. මම හිජාබ් එක අඳින්න පටන් ගන්නකොට මගේ වයස දාසයයි.

'අලිගාර් මුස්ලිම් යුනිවර්සිටි' එකේ ද්වීතීය උසස් අධ්‍යාපනය හදාරන්න මම උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට ගියා. හිස් පළඳනාව අඳින තරුණ ගැහැණු ළමයි ගොඩක් මම එහිදී දැක්කා.

එය මගේ හිතට කා වැදුනා. මගේ බාහිර පෙනුමට එය එක් කරගන්න මම තීරණය කළා.

දැන් මට වයස විසි දෙකයි. මගේ ආගමට සහ මගේ රටේ ව්‍යවස්ථාවට විරුද්ධව ලැජ්ජාවක් නැති විදියට පැතිරෙන වැරදි තොරතුරුවලට එරෙහිව නැගී සිටින්න සහ ඊට එරෙහිව සටන් කරන්න මට බල කෙරෙනවා.

නමුත් ඒ සෑම මොහොතකදීම 'ජාති විරෝධී' හෝ 'හින්දු විරෝධී' කියා මා ප්‍රතික්ෂේප කර අඳුරට තල්ලු කරනවා. අගමැතිවරයා විසින් හඳුන්වා දෙන ලද ප්‍රතිපත්තිවලට එරෙහිව මගේ අදහස පළ කළොත් මම 'හින්දු - මුස්ලිම් ප්‍රශ්නය අවුස්සනවා' කියා මට කියනවා.

අපි ජීවත් වෙන්නේ ආගම සහ ජාතිකවාදය එකට වෙලී පවතින භයානක නව යුගයකයි.

පාරේ යනකොට, සමහර වෙලාවට මගේ හිජාබ් එක නිසා මිනිස්සු මා දෙස බලනවා.

ඒක හේතුවක් නැතිව මතු වුණු බයක් වෙන්න පුළුවන්. නමුත් නිසැක වශයෙන්ම ඉස්ලාම් භීතිකාවක් සහිත වටපිටාවක් රට පුරා පැතිරෙමින් පවතිනවා.

මට එය ප්‍රශ්න කිරීමට අවශ්‍යයි. නමුත් එය සිද්ද වෙන්නේ ආණ්ඩුවට සහ මාධ්‍යයට පෙනී පෙනීමයි.

බලයේ සිටින පක්ෂය, හින්දු ජාතිකවාදී මතවාදය සහ ආගම පදනම් කර ගනිමින් වෙනස් ලෙස සැලකීම මුල් කර ගෙන සැකසූ නීති අශෝභන ලෙස සරණපාවා ගෙන සිටිනවා.

මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී අපරාධ සිදු කරන්න නීතිමය පසුබිමක් නොමැති කණ්ඩායම් බල ගන්වමින් තිබෙනවා.

මේ අතිශය අවාසනාකාරී තත්ත්වයන් තුළ විරුද්ධ මතයකට ඇති හඬ ක්‍රමයෙන් නෑසී යනවා.

මේ, මා හැදී වැඩෙන මාවත් ඇතුළත් කර ගන්නා ඉන්දියාවක් නොවෙයි. අපිට මීට වඩා දෙයක් ලැබිය යුතුයි.

අලුත් ඉන්දියාවේ මිලියන 200 ක මුස්ලිම් ජනතාව අපි තමයි.

Image copyright Getty Images
Image caption ජාතික පුරවැසි ලියාපදිංචි ලේඛනය යාවත්කාලීන කිරීමෙන් පසු අසාම් ප්‍රාන්තයේ විසි ලක්ෂයක පමණ පිරිසකගේ පුරවැසිභාවය වහා ක්‍රියාත්මක වන පරිදි අහෝසි වී තිබේ

උද්වේගය ගොඩ නැගෙමින් තිබෙනවා. මුළු රටේම අය තමන්ගේ පුරවැසිභාවය ඔප්පු කළ යුතු බවට හැදෙමින් පවතින තවත් නීතියකින් තත්ත්වය තවත් නරක අතට හැරෙයිද කියා අපි අතර කතා වෙනවා.

2024 මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර එම නීතිය හඳුන්වා දෙන බවට ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා ප්‍රතිඥා දී තිබෙනවා.

කොහොම වුණත් තවමත් පොඩි බලාපොරොත්තුවක් තිබෙනවා.

වෙනස් මත ඉවසන්නේ නැති දුෂ්ට අදහස් සහ වෛරය පරයමින් සහයෝගයේ හඬක් රටේ නන් දෙසින් නැග එනවා.

මගේ ලෝකය කැඩී විසිර ගොස් ඇති නිසා මම දැනට නිශ්ශබ්දව බලා ඉන්නවා.

මාව හොස්ටල් එකෙන් ඉවත් කරලා බලහත්කාරයෙන් නිවාඩු යවා තිබෙනවා. මගේ ඉගෙනීමට බාධා එල්ල වෙලා. මට, මගේ පවුලේ අය බලන්න යන්න විදිහක් නැහැ. මොකද ඒ අය ජීවත් වෙන්නේ විරෝධතා කැකෑරෙමින් තිබෙන තවත් නගරයක.

ඉතින්, මම මේ අවට භාරකරුවෙකුගේ ගෙදර නැවතී ඉන්න ගමන් අම්මා මට කියපු වචන මතක් කරනවා: "පුළුවන් තරම් අපේ ධෛර්ය යොදවලා ඉවසගෙන ඉඳිමු."

(රිකාත් හෂ්මි, පූජා චබ්‍රියා වෙත කියා සිටි ඇගේ කතාව.)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර