නාසා: 'බෝයිං' යැවූ අභ්‍යවකාශ කැප්සියුලය පෘථිවි කක්ෂයේ සිරවෙයි

Image copyright Reuters
Image caption ස්ටාර්ලයිනර් කැප්සියුලය දියත් කළ අවස්ථාව

ඇමෙරිකාව, යළිත් වරක් සිය ගගනගාමීන් කක්ෂගත කිරීමේ හැකියාව ලබා ගැනීම කරා වූ තවත් පියවරක් අද (දෙසැම්බර් 20) තැබීය. ඒ හැකියාව සතුකරගනු ලැබුවේ වසර නවයක අවෑමෙනි.

බෝයිං සමාගම විසින් අද දියත් කළ සිය පරීක්ෂණ කැප්සියුලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යාම අපේක්ෂාව විය.

කෙසේවෙතත්, මේ දියත් කිරීම සැලසුම්වලට අනුව සිදු නොවන බව පෙනෙන්නට ඇතැයි කියැවේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යන ගමනේ ඊළඟ අදියරට එළඹීමේදී කැප්සියුලය මේ වනවිට අසාර්ථක වී ඇත.

එය පෘථිවි වායුගෝලයෙන් නික්මුණද, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා එය ගෙන යන ඊළඟ අදියර සඳහා එන්ජින් පණගැන්වී නැති බව වාර්තා වේ. බෝයිං සමාගම නිවේදනය කළේ එය කක්ෂය තුළ "ආරක්‍ෂිත හා ස්ථාවර" බවය. නමුත් මෙහෙයුම ඉදිරියට යන්නේ කෙසේද යන්න ගැන තීරණය කිරීම සඳහා ඉංජිනේරුවරුන් උත්සාහ දරමින් සිටිති.

ස්ටාර්ලයිනර් (Starliner) නම් වූ එහි මෙවර ගමන කාර්ය මණ්ඩලයකින් තොර වුවකි.

නමුත් එය කිසිදු අර්බුදයකින් තොරව ගමන නිම කළහොත්, ලබන වසරේ සිට එය ගගනගාමීන් විසින් භාවිතයට ගනු ඇත.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සිකුරාදා සවස 5.06 ට (ඇමෙරිකාවේ දේශීය වේලාවෙන් උදෑසන 6.36 - 11:36 GMT), ඇට්ලස් රොකට්ටුවක් මත රැඳවුණු කැප්සියුලය දියත් කෙරුණේ ෆ්ලොරිඩා හි කැනවරල් තුඩුවේ ඇති ගුවන් හමුදා මධ්‍යස්ථානයෙනි.

Image copyright NASA
Image caption ස්ටාර්ලයිනර් කැප්සියුලය - චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක්

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ක්‍රියාත්මක කෙරෙන මෙම ස්වයංක්‍රීය මෙහෙයුමට ගතවන සමස්ත කාලය සතියකි. දෙසැම්බර් 28 වෙනිදා ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රදේශයෙන් කැප්සියුලය යළි පෘථිවියට ගොඩබසිනු ඇත. එහි කාන්තාර භුමි ප්‍රදේශයකට කෙරෙන සුමට ගොඩබෑම සඳහා පැරෂුට් මෙන්ම 'එයාර්බෑග්' උපයෝගී කර ගැනේ.

2011 වසරේ ෂටල වැඩසටහන විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව සිය භූමියෙන් ඇමෙරිකානුවන් අභ්‍යවකාශගත නොවූහ. ඒ සඳහා යොදා ගැනුණේ රුසියානුවන්ගේ සයුස් (Soyuz) කැප්සියුල ය.

පෘථිවියේ පහළ කක්ෂයට මිනිසුන්ගේ ස්වාධීන ඇතුළුවීම ප්‍රතිස්ථාපනය කෙරෙතැයි ඇමෙරිකානු ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය (Nasa) අපේක්ෂා කරන දෙවෙනි අලුත් පද්ධතිය ස්ටාර්ලයිනර් වේ.

කාර්ය මණ්ඩලයක් ගෙන යා හැකි ලෙස නිර්මාණය කෙරෙමින් පවතින අනෙක් කැප්සියුලය හැඳින්වෙන්නේ ඩ්‍රැගන් නමිනි. එය කැලිෆෝර්නියාවේ ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ නිෂ්පාදනයකි.

2020 වසරේ පළමු අර්ධය තුළදී මේ කැප්සියුල දෙකම මිනිසුන්ගේ භාවිතය සඳහා අනුමත කෙරෙනු ඇත.

එය සිදු වූ විට ආසන සැකසීමට නාසා ආයතනය අපේක්ෂා කරන අතර එය වාණිජ ගගනගාමී ටැක්සි සේවාවක් බවට පත්වනු ඇති බව කියැවේ.

මේ ආකාරයේ අභ්‍යවකාශ ප්‍රවාහනයක් නිර්මාණය කෙරෙනුයේ, චන්ද්‍රයා හා අඟහරු වෙත මිනිසුන් ගෙන යාමේ වඩා අසීරු මෙන්ම වියදම් අධික කාර්යයන් වෙනුවෙන් නාසා ආයතනයට මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණ ඇතිවය.

"අනාගතයේදී මිනිසුන්ගේ අභාවකාශ ගුවන් ගමන් සඳහා ඇතිවන ඉතා සවිමත් වානිජ වෙළෙඳපොළක් තුළ බොහෝ ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනුකරුවෙක් වෙන්න නාසා ආයතනයට අවශ්‍යයි" යනුවෙන් එහි පරිපාලක ජිම් බ්‍රිඩෙන්ස්ටයින් පැවසීය.

Image copyright BOEING
Image caption ස්ටාර්ලයිනර් උඩු ගුවනට යන ගමනේ තතු "රෝසි" පටිගත කරනු ඇත

මෙම පරීක්ෂණ ගමනේදී ස්ටාර්ලයිනර් ඉහළට ඇදෙන්නේ හිස් අතින් නොවේ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය, වැඩි වශයෙන් ම ආහාර ද ඇතුළු කිලෝග්‍රෑම් 270ක සැපයුම් මෙන්ම "රෝසි" නමින් හඳුන්වන මානව තත්ත්වාරෝපිත (anthropomorphic) පරීක්ෂණ උපකරණයක් (ATD) නොඑසේනම් 'ඩමියක්' ද සමග ය.

ගමෙනේදී යානයේ අභ්‍යන්තර තත්ත්වය පටිගත කිරීමේ සංවේදකවලින් එම උපකරණය සමන්විත වේ. යානය දියත් කිරීම හා ගොඩ බෑම වැනි වඩා අසීරු අවස්ථාවලදී සැබෑ ගගනගාමීන්ට අත්විඳීමට සිදුවිය හැකි අපහසුතා කෙතරම්ද යන්න ගැන "ඇය" ඉංජිනේරුවන්ට පවසනු ඇත.

ස්ටාර්ලයිනර් ඉහළට ඇදෙන්නේ හොඳින් පරීක්ෂා කොට තහවුරු කෙරුණු ඇට්ලස් 5 රොකට්ටුවෙනි.

මූලිකව මෙම යානය නිර්මාණය කෙරුණේ චන්ද්‍රිකා දියත් කිරීමට වුවද, ගුවන් ගමන් 80 ක් හා කිසිදු උපද්‍රවයක් නොවූ බැවින් ගගනගාමීන් යැවීම සඳහා ඊට ඇති සුදුසු බව කෙරෙහි ඉහළ විශ්වාසය පළවී තිබේ.

මානව අභ්‍යවකාශ ගුවන් ගමන් තුළ, ඇට්ලස් පවුලේ රොකට්ටුවලට යම් අතීතයක් ඇත. 1960 ගණන්වලදී ක්‍රියාත්මක කෙරුණු 'මර්කරි' වැඩසටහනට ද ඒවා යොදාගෙන තිබිණි.

"1962 වසරේදී පළමු වරට ඇමෙරිකානුවෙකු කක්ෂගත කිරීමේ මෙහෙයුමේදී ජෝන් ග්ලෙන් ගෙන ගියේ ඇට්ලස් රොකට්ටුවකින්" යැයි ඇට්ලස් රොකට්ටු නිපදවන United Launch Alliance (ULA) ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෝන් එල්බොන් පැවසීය.

ස්ටාර්ලයිනර් හා ඩ්‍රැගන් යන අභ්‍යවකාශ කැප්සියුල නාසා ආයතනය විසින් ගොඩ නගනු ලබන්නේ සිය වාණිජ කාර්යමණ්ඩල වැඩසටහන යටතේය. එම කැප්සියුල නිර්මාණය කිරීම සඳහා නාසා ආයතනය විසින් බෝයිං (Boeing) හා ස්පේස්එක්ස් (SpaceX) ආයතන වෙත සුවිශේෂී ගෙවීම් කරනු ලැබ ඇත.

මේ යානා සම්පුර්ණ කිරීම යම් ප්‍රමාදයකට ලක්වී තිබිණි. ඒවා අභ්‍යවකාශය වෙත යැවීමට සැලසුම් කර තිබුණේ 2017 දීය.

ඒවා තවමත් ප්‍රදර්ශනාත්මක අවදියක පැවතීමට එක් හේතුවක් වනුයේ, අදාළ වැඩපිළිවෙල සඳහා නාසා ආයතනයට වැය කළ හැකි මුදල සම්බන්ධයෙන් කොංග්‍රස් මණ්ඩලය පැනවූ සීමාය. නමුත්, පරීක්ෂණ පීඨිකාවකදී ඩ්‍රැගන් කැප්සියුලයට පිපිරීමකින් හානි වීම වැනි යම් තාක්ෂණික ගැටලු ද ඊට හේතු විණි.

Image copyright NASA
Image caption පසුගිය මාර්තුවේදී ඩ්‍රැගන් කැප්සියුලය මිනිසුන් රහිත පරීක්ෂණ ගමනක යෙදිණි.

එළැඹෙන සතිය වනවිට සියල්ල යහපත් අයුරින් සිදුවේ යැයි උපකල්පනය කළහොත්, ලබන වසරේ මුල සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මිනිසුන් ගෙන යාම ස්ටාර්ලයිනයිනර් කැප්සියුලයට පැවරෙනු ඇත.

ඒ සඳහා යැවෙන පළමු කණ්ඩායම ද මේ වනවිට තෝරාගෙන අවසන් ය. ඊට එක්වන මයික් ෆින්කේ හා නිකෝල් මෑන් යන දෙදෙනාම නාසා හි සේවකයෝ වෙති. එසේම අනෙක් පුද්ගලයා වන්නේ බෝයිං පරීක්ෂණ නියමු ක්‍රිස් ෆර්ගියුසන් ය. අවසන් ෂටල මෙහෙයුමේ අණදෙන නිලධාරියා වූ ෆර්ගියුසන්, ස්ටාර්ලයිනර් නිර්මාණය කිරීමට සහය දීම වෙනුවෙන් නාසා ආයතනයෙන් ඉවත්ව බෝයිං හා සම්බන්ධ විය.

නිකෝල් මෑන් සහ මයික් ෆින්කේ ස්ටාර්ලයිනර් පළමු කණ්ඩායම් ගමනට එක්වීමට නියමිතය යනු ඉතිහාසයේ වැඩිම අත්දැකීම් ඇති ගගනගාමීන්ගෙන් කෙනෙකු වන අතර ඔහුගේ ජීවිතයෙන් වසරකට වැඩි කලක් කක්ෂගතව සිට ඇත. අලුත් ගගනගාමී ටැක්සි වැඩපිළිවෙල මානව අභ්‍යවකාශ ගමන්වල නව යුගයක් විවර කරනු ඇති බව ඔහු කියා සිටියේය.

Image copyright NASA/JOEL KOWSKY
Image caption නිකෝල් මෑන් සහ මයික් ෆින්කේ ස්ටාර්ලයිනර් පළමු කණ්ඩායම් ගමනට එක්වීමට නියමිතය

(බීබීසී විද්‍යා වාර්තාකරු ජොනතන් ඒමොස් සකස් කළ වාර්තාවක් ඇසුරිණි)

මේ තොරතුරු ද දැනගන්න :

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර