පිටරටත් වැලි ජාවාරම්; ''මීකොං' ගඟේ වැලි කොල්ලය

Image copyright Stephen darby
Image caption වැලි ගොඩ දැමීම නිසා මීකොං අවට පදිංචිකරුවන්ට අනතුරුදායක තත්වයක් එල්ල වී ඇත

වැලි සඳහා ලොව පවතින අසීමිත කෑදරකම හේතුවෙන් 'මීකොං' ගංගාව ආශ්‍රිත පරිසර රටාවත් සහමුළින්ම විනාශ වීමේ අනතුරක් උද්ගතව ඇත.

එම අනතුර කොතරම්ද යත්, 'මීකොං' ගංගාවේ ඉවුරු බිඳ වැටී පන්ලක්ෂයක් පමණ ජනයාට උන්හිටිතැන් අහිමිවීමේ ඉරණමක් ද උද්ගතව පවතී.

කාම්බෝජය සහ වියට්නාමය ඇතුළු රටවල් හයක් ඔස්සේ ගලා බසින මෙම යෝධ ගංගාවේ පත්ලෙන් හාරාගනු ලබන වැලි මිහිතලයේ ඉතාම වටිනා සම්පතක් ලෙස සැලකෙයි.

ලෝක ඉල්ලුම සපුරාලීම සඳහා 'මීකොං' ගංගා පත්ලෙන් අවුරුද්දකට ගොඩ දමනු ලබන වැලි තොගය ටොන් බිලියන පනහක්(කෝටි පන්දහසක්) පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.

එය අප ජීවත්වෙන මිහිතලයේ සිදු කෙරෙන දැවැන්තම කැණීම වෙයි.

"සැබැවින්ම 'මීකොං' ගඟෙන් වැලි ගොඩ දැමීම සිදු කෙරෙන්නේ ප්‍රමාණාත්‍රිකාන්ත මට්ටමින්. මිහිතලයේ හැඩය සම්බන්ධයෙන් කාර්මික පරිමාවේ වෙනසක් අපි සිදු කරමින් සිටිනවා" 'සවුතැම්ටන්' සරසවියේ ගංගා අධ්‍යනය පිළිබඳ මහාචාර්ය ස්ටීවන් ඩාර්බි (Prof Stephen Darby) පවසයි.

මහාචාර්යවරයා 'මීකොං' ගංගාවේ පහළ කලාපයේ සිදු කරන ලද අධ්‍යනය අනුව, එහි ගංගා පත්ල පසුගිය අවුරුදු කීපය ඇතුළත මීටර් කීපයකින් ගැඹුරු වී ඇත.

කිලෝමීටර් කීපයක දුර ප්‍රමාණයක් ගංගා පත්ල එවැනි තත්වයකට පත්ව ඇති බවත් ඊට හේතුව වැලි ගොඩ දැමීම බවත් මහාචාර්ය ස්ටීවන් ඩාර්බි (Prof Stephen Darby) පෙන්වා දෙයි.

Image copyright Stephen Darby
Image caption පස ඛාදනය සමඟ ඉවුරු විනාශ වෙන ආකාරය

මහාමාර්ග ඉදිකිරීමේ පටන් ආරෝග්‍යශාලා වැනි ගොඩනැගිලි තෙක් සියලු ආකාරයේ ඉදිකිරීම් සඳහා වැලි අත්‍යවශ්‍ය සංඝටකයක් වෙයි. විශේෂයෙන්ම සිමෙන්ති යොදා ගනිමින් සිදු කරන ඉදිකිරීම්වල දී මිශ්‍රණය සඳහා වැලි අනිවාර්ය සාධකයක් වන අතර පොහොර සහ යකඩ නිමැවුම් සඳහාත් වැලි උපයෝගී කර ගනී.

අලුත් නගර සහ උප නගර නිර්මාණය කිරීමේ තරගයත් සමඟ වැලි ඉල්ලුම පසුගිය දශක දෙක ඇතුළත තුන් ගුණයකින් ඉහළ ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය විසි වෙනි සියවස පුරා පාවිච්චි කරනු ලැබ ඇති ප්‍රමාණයට වඩා වැඩි වැලි තොගයක්, චීනය සිය ග්‍රාමීය පළාත් නාගරීකරණය කිරීමේ දී 2011 සහ 2013 අවුරුද්ද අතර කාලය තුළ පමණක් පාවිච්චි කර ඇත.

භූමිය ව්‍යාප්ත කර ගැනීමේදීත් වැලි යොදා ගනී. 'සිංගපූර්' 1965 දී නිදහස ලබන විට පැවති භූමියට වඩා විසි ගුණයකින් විශාල කර ගෙන ඇත්තේ මුහුද ගොඩකර ගැනීමෙනි. ඒ සඳහා වැලි යොදා ගනිමින් ඇත.

"ලෝකය වටකර මීටර් විසි හතක් උස මීටර් විසි හතක් පළල තාප්පයක් බැඳ ගැනීමට තරම් ප්‍රමාණවත් වැලි අපි එක අවුරුද්දකට හාරා ගොඩ දමනවා" එක්සත් ජාතීන්ගේ පරිසර ව්‍යාපෘතියේ පැස්කල් පෙඩුෂි (Pascal Peduzzi) පවසයි.

නිෂ්පාදන කාර්යයේ දී නිර්මාණ සඳහා සියලු වර්ගයේ වැලි එක සේ පාවිච්චි කළ නොහැක. උදාහරණයක් වශයෙන් කාන්තාර වැලි ඉතා මෘදු බවින් යුක්ත අතර, ඒවා කොන්ක්‍රීට් මිශ්‍රණය සඳහා නුසුදුසු හෙයින් 'මීකොං' වැනි ගංගා වැලි කෙරෙහි යොමු වෙති. වීදුරු හෝ විද්‍යුත් කාර්මික නිර්මාණ සඳහාත් කාන්තාර වැලි පාවිච්චි කෙරෙන්නේ නැත.

Image caption මීකොං ගංගාව රටවල් හයක් අතරින් ගලා බසියි

වැලි පතල් වල ඉපැරණි තැන්පතු කෙරෙහි කර්මාන්තකරුවන් සහ ඉදි කරන්නන් යොමු වීමට හේතුව එයවෙයි. ස්ථිතික නිධියකින් එසේත් නැත්නම් මුහුදින් හෝ 'මීකොං' වැනි ගංගාවකින් මහා උනන්දුවකින් සිදු කරන ඊනියා වැලි ගොඩ දැමීමට හේතුව එමගින් හඳුනා ගනු ලැබ ඇත.

"වැලි අපේ පරිසර පද්ධතියේ කොටසක්. පරිසරය තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ස්වාභාවික සම්පතක්. එය අහිමි වුනොත් ජෛව විවිධත්වයට බලපානවා. එමගින් පස ඛාදනයවීම සහ ලවණකරණය වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා" මහා පරිමාණයෙන් වැලි ගොඩ දැමීමෙන් සිදුවෙන විශේෂ හානි පැහැදිලි කරන පැස්කල් පෙඩුෂි (Pascal Peduzzi) සඳහන් කරයි.

WWF පරිසර භාරය සහ 'මීකොං' ගංගා කොමිසම පෙන්වා දෙන පරිදි 'මීකොං' ඩෙල්ටාවේ ප්‍රධාන අතු දෙකේ පත්ල 2008 වසරේ සිට ඉන් පෙර වසර දහය ඇතුළත මීටර් 1.4 කින් ගැඹුරු වී ඇත. එපරිද්දෙන් 1990 පටන් මේ වනවිට මීටර් දෙකත්-තුනත් අතර ප්‍රමාණයකින් ගැඹුර තවත් වැඩි වී ඇත.

'මීකොං' ගංගාවේ කිලෝමීටර් විස්සක තරම් දුර ප්‍රමාණයක සිදු කෙරෙන වැලි ගොඩ දැමීම විනාශකාරී තත්වයක් ඇති කරන අතර, එය ගංගාවේ ඉහත්තාවෙන් ලැබෙන ස්වාභාවික බොර මණ්ඩි මගින් යථා තත්වයට පත්කර ගත නොහැකි බව 'Research in Nature' ආයතනය පසුගිය මාසයේ නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දෙයි.

සතුන්ටත් විනාශයක්

ඉහත කී විනාශය බලපාන්නේ මිනිසුන්ට පමණක් නොවේ. 'මීකොං' ගංගාව එය දෙපස ජීවත්වෙන කෝටි හයක් පමණ පදිංචිකරුවන්ට ආහාර සපයන භූමිය ඇතුළට වන්නට පිහිටි ලෝකයේ විශාලතම මත්ස්‍ය ගබඩාවද වෙයි.

WWF පරිසර භාරය ඇස්තමේන්තු කරන පරිදි, එම ගංගාව වාසභූමිය කරගත් මත්ස්‍ය වර්ඝ 800 ක් පමණ හඳුනා ගෙන ඇත. වඳ වීමේ තර්ජනයට මුහුණ දී ඇති එක් විශාල මත්ස්‍ය වර්ගයක් වන 'ඉරවඩි ඩොල්පින්' මීකොං ගංගාවේ ජීවත්වෙන බව WWF පරිසර භාරය පවසයි.

ඉහත කී ආකාරයේ මතභේදාත්මක තත්වයක් ඇති කරමින් වැලි ගොඩ දමන එකම ස්ථානය 'මීකොං' ගඟ පමණක් නොවේ. ඉන්දියාව සහ කෙන්යාව ඊට උදාහරණ වෙති. වැලි මුල්කර ගනිමින් එම දෙරටේ සිදු වූ ප්‍රචණ්ඩ ගැටුම් ගැනත් වාර්තා විය.

මිහිතලයේ හැම මිනිසෙක්ම දවසකට වැලි කිලෝග්‍රෑම් දහඅටක් 'කා දමන තත්වයක්' අද ලෝකයේ පවතී.

Image copyright Jim Best
Image caption මෘදු බවින් යුත් කාන්තාර වැලි 'මීකොං' ගංගා වැලි මෙන් ඉදිකිරීම්වලට යොදාගත නොහැක

මෙම තත්වය යටතේ ලෝකයෙන් වැලි තුරන්ව යාමේ අනතුරක් පවතින්නේද? වැලි මහා පරිමාණයෙන් අවසන් වීමක් සිදු නොවුනත්, වැලි සොයාගැනීම දුෂ්කර වනු ඇතැයි එක්සත් රාජධානියේ ඛනිජ නිෂ්පාදන සම්මේලනයේ අධ්‍යක්ෂ මාර්ක් රසල් (Mark Russell) පවසයි.

මේ තත්වය යටතේ ගංගා වැලි සැපයුම සීමා කෙරෙන තහංචි බල පැවැත්වෙනු ඇත. 2009 සහ 2017 වසරවල දී වියට්නාමය සහ කාම්බෝජය 'මීකොං' ගංගාවේ වැලි අපනයනය තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

එහෙත් 'මීකොං වැලි' සඳහා ටොන් විසි දහසේ පටන් දෙලක්ෂය තෙක් වූ ඇණවුම් අන්තර්ජාලයෙහි තවමත් දැකිය හැක. කාම්බෝජය 'මීකොං' වැලි අපනයනය තහනම් කරනු ලැබ ඇතත් 'සිංගපූර්' දිගටම කාම්බෝජයෙන් වැලි ආනයනය කරන බව 'එක්ස්ටර්' සරසවියේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොල්ෆ් ආල්ටෝ (Rolf Aalto)විසින් හෙළිදරව් කර ගනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් බීබීසි සේවය කාම්බෝජයේ ආකර සහ බලශක්ති අමාත්‍යාංශය විමසන ලද නමුත් ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබුණි.

එහෙත් ලෝක මට්ටමින් විනිවිද පෙනෙන සුළු තත්වයක් නොවීමත් සමඟ දැනට උද්ගතව පවතින තත්වය මාර්ක් රසල් විසින් කරනු ලබන පහත දැක්වෙන විග්‍රහය මගින් මැනැවින් පැහැදිලි කෙරෙයි.

"අපි පරිභෝජනය කරන්නේ මොනවාද කියල අපි දන්නේ නැත්නම් එසේම ඒවා එන්නේ කොහෙන්ද? එන්නේ කියල දන්නේ නැත්නම්, දැනුවත් කළමනාකරණ තීන්දු ගනු ලැබීම පුදුම සහගත දුෂ්කර කාර්යයක් වනු ඇත"

තොරතුරු දත්ත හිඟයක් ඇති බව මහාචාර්ය ඩාර්බි පිළිගනියි.

Image copyright Getty Images
Image caption ග්‍රාමීය පළාත් නාගරීකරණය වීමත් සමඟ චීනය ලෝකයේ ප්‍රධාන වැලි පාරිභෝගිකයා බවට පත්ව ඇත

"වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් ඇති ප්‍රධාන දුෂ්කරතාව ජගත් වැලි වෙළෙඳාමේ ප්‍රමාණය සහ ඒ පිළිබඳව ක්‍රමවත් දත්ත තොරතුරු නොවීම නිසා විධිමත් පාලන මෙහෙයුමක් නොවීම" මහාචාර්යවරයා පවසයි.

එවැනි තත්වයක් යටතේ 'ලෝක මට්ටමින් අධීක්ෂණ මධ්‍යස්ථානයක් තිබිය යුතුය' යන්න පැස්කල් පෙඩුෂිගේ (Pascal Peduzzi) නිර්දේශයයි.

එමගින් වැලි ගොඩ දැමීම මගින් අති වෙන ප්‍රතිවිපාක අවම කර ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කර ගන්න හැකි වෙන බව ඔහු පෙන්වා දෙයි.

"වැලි පාවිච්චි කළ යුත්තේ කෙසේද? යන්න සම්බන්ධයෙන් වඩාත් විචක්ෂණශීලී වීම විතරයි- අපට අවශ්‍ය කරන්නේ. 'වැලි' කියන්නේ අසීමිත සැපයුමක් සහිත භාණ්ඩයක් ලෙස නොව සැලසුමක් ඇතිව පාවිච්චි කළ යුතු ද්‍රව්‍යයක් ලෙස හඳුනා ගත යුතුව තිබෙනවා" පැස්කල් පෙඩුෂිගේ (Pascal Peduzzi) යෝජනා කරයි.

(බීබීසී වාර්තාකරු බෙත් ටිමින්ස් ගේ (Beth Timmins) ලිපියක පරිවර්තනයකි)

කියවන්න;