චීනයේ බන්ධනාගාරයක සිට රහසිගතව ලන්ඩනයට ආ නත්තල් පත

Image caption "මේක නත්තල් දවස්වල අප තුළ සංවේදීභාවයක් ඇති කළ පණිවුඩයක්. ඒක ඇත්තෙන්ම හදවත සසල කරවන බලවත් පණිවුඩයක්," බෙන් පවසයි.

"අපෙන් බලහත්කාරයෙන් වැඩ ගන්නවා. කරුණාකර අපට උදව් වෙන්න. මානව හිමිකම් සංවිධානයකට අප ගැන දැනුම් දෙන්න!"

මෙය නත්තල් සමයේ ලැබෙන සුබ පැතුමක කිසිදාක ලියැවෙන ඉල්ලීමක් නොවුනත් නත්තල් සුබ පැතුම් පතක ලියා තිබුණ එම පණිවුඩය ලෝකය සලිත කිරීමට හේතු වී ඇත.

එංගලන්තයේ හය හැවිරිදි දැරියක් වන ෆ්ලොරන්ස් විඩිකොම්බ් (Florence Widdicombe) හෙට අනිද්දා උදාවෙන නත්තල වෙනුවෙන් සිය මිතුරු මිතුරියන්ට සිය සුබ පැතුම් ලියා යැවීම සඳහා කාඩ්පත් සකස් කරමින් සිටිය දී, එයින් එක කාඩ්පතක ලියා තිබුණ ඉහත කී ඉල්ලීම දැකීමෙන් බලවත් විස්මයට පත් වූවාය.

ෆ්ලොරන්ස් විඩිකොම්බ් විසින් ලෝකයට හෙළි කරන ලද එම පුවත අද ලෝකය පුරා ගින්නක් මෙන් පැතිර යමින් පවතී.

එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වෙන ශුභසාධක සංවිධාන කීපයක් වෙනුවෙන් නත්තල් කාඩ්පත් මුද්‍රණය කරවා දෙන 'ටෙස්කෝ' සුපිරි වෙළෙඳ ජාලය එම පුවත ඇසීමෙන් තමන් "බලවත් කම්පාවට පත් වූ" බව පවසයි.

"අපේ වෙළෙඳසැල් ජාලය තුළ සිරකරුවන්ගේ ශ්‍රම භාවිතයට ඉඩක් නැහැ," නිවේදනයක් නිකුත් කරන 'ටෙස්කෝ' සමාගම කියා සිටියි.

එම නත්තල් සුබ පැතුම් මුද්‍රණය කිරීමේ ඇණවුම භාරදුන් 'ෂෙයිජියෑන් යුන්ගුවාන්ග්' (Zheijiang Yunguang) මුද්‍රණ ශිල්පීන් ඒ සඳහා සිරකරු ශ්‍රමය පාවිච්චි කරනු ලැබ ඇතැයි තහවුරු වුනොත් ඔවුන් වාණිජ කටයුතුවලින් ඉවත් කරන බවත් එම සුපිරි වෙළෙඳ ජාලය පවසයි.

ලොව කම්පාවට පත් කළ අදාළ නත්තල් පත හසු වී තිබෙන්නේ, ෆ්ලොරන්ස් විඩිකොම්බ් දැරිය සිය පාසල් මිතුරු මිතුරියන්ට සුබ පැතුම් ලියමින් සිටින විටය.

නත්තල් සීයාගේ හිස් වැස්ම මුද්‍රිත එක කාඩ්පතක් අතට ගත් දැරිය එය පෙරලා බලද්දී තමාට පෙර කවුරුන් විසින් හෝ එහි දැනටමත් පණිවුඩයක් ලියා ඇති බව ඇයට පෙනුණි.

එහි ඉංග්‍රීසි ලොකු කැපිටල් අකුරින් ලියා තිබුණ පණිවුඩය දැරිය කියෙව්වාය.

"අපෙන් බලහත්කාරයෙන් වැඩ ගන්නවා. කරුණාකර අපට උදව් වෙන්න. මානව හිමිකම් සංවිධානයකට අප ගැන දැනුම් දෙන්න!"

එම පණිවුඩයේ තව දුරටත් මෙසේ ද දැක්වෙයි.

"මේ පණිවුඩය ලැබුණ කෙනෙක් පීටර් හම්ප්‍රිට කතා කරන්න."

පීටර් හම්ප්‍රි මෙයින් සිව් වසරකට පෙර චීනයේ බන්ධනාගාරගත කොට සිටි බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකි.

දකුණු ලන්ඩනයේ පිහිටි 'ටූටිං' (Tooting) කලාපයේ ජීවත් වෙන 'ෆ්ලොරන්ස්' දැරිය බීබීසිය කළ විමසීමක දී මෙසේ සඳහන් කළාය.

"මම මගේ හය වෙනි හෝ අට වෙනි කාඩ්පත ලියමිනුයි හිටියේ. ඒකෙ මට කලින් කවුද ලියල තිබුණා."

"මගේ කාඩ් එකේ වෙන කෙනෙක් ලියල තිබුණ දැක්කම මට දුකක් ඇතිවුනා."

එම කාඩ් පතේ ලියා තිබුණ පණිවුඩයේ තේරුම කුමක්දැයි දැරියට පැහැදිලි කර දුන් විට ඇය "කණගාටුවට" පත් වූවාය.

කාඩ්පතේ ඇතුළත් පණිවුඩය කියැවූ අවස්ථාවේ පළමුව තමාට ඇතිවුණේ අවිශ්වසනීය හැඟීමක් යයි දැරියගේ පියා වන බෙන් විඩිකොම්බ් ( Ben Widdicombe) පැවසීය. තමා එය "විහිළුවක්" ලෙස සිතූ බව ඔහු පවසයි.

"නමුත් එයින් පිළිබිඹු කෙරෙන දෙය ඉතා බරපතළ බව අපි තේරුම් ගත්තා. මම දැඩි කම්පාවකට පත් වුනා. පණිවුඩය ලියපු පුද්ගලයා කියපු ආකාරයට එය පීටර් හම්ප්‍රි වෙත දැනුම් දීමේ වගකීම මට අවබෝධ වුනා."

Image caption ෆ්ලොරන්ස් විඩිකොම්බ් සිය පියා 'බෙන්' සමඟ

ඔහු වැඩිදුරටත් මෙසේ පවසයි.

"ඒ පණිවුඩය අපේ ගෙදර කාටත් දැනුණා. මේ ලෝකයේ අසාධාරණ සිදු වෙනවා. අමාරු තත්වයන්ට වැටුණ මිනිස්සු ඉන්නවා. ඒක අපි දන්නා දෙයක්. හැමදාමත් දිනපතාමත් අපි ඒවා ගැන කියවනවා," ඔහු පැවසීය.

"මේක නත්තල් දවස්වල අප තුළ සංවේදීභාවයක් ඇති කළ පණිවුඩයක්. ඒක ඇත්තෙන්ම හදවත සසල කරවන බලවත් පණිවුඩයක්."

"එම පණිවුඩයේ ඇතුළත් තත්වය සම්බන්ධයෙන් අපි කම්පාවට පත්ව සිටිනවා. එම චීන කර්මාන්ත ශාලාවේ අපේ කාඩ්පත් නිෂ්පාදනය කරනු ලැබීම වහාම නතර කළා. දැන් ඒ ගැන විභාගයක් ආරම්භ කරලා තියෙනවා," 'ටෙස්කෝ' සමාගමේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

සැපයුම්කරුවන් විසින් බලහත්කාරයෙන් මිනිස් ශ්‍රමය සූරාකෑම නතර කිරීම සහතික කිරීම සඳහා පුළුල් අධීක්ෂණ රටාවක් තමන් සතු බවත් 'ටෙස්කෝ' සමාගම පවසයි.

ප්‍රශ්නයට මුහුණ දී සිටින චීන සමාගම පිළිබඳව පසුගිය මාසයේත් පරීක්ෂා කළ බවත්, සිරකරු ශ්‍රමය යොදා ගනු ලැබීම සම්බන්ධයෙන් බල පැවැත්වෙන තහනම උල්ලංඝනය කළ බවට සාක්‍ෂි නොලද බවත් 'ටෙස්කෝ' සුපිරි වෙළෙඳසැල් ජාලය කියා සිටියි.

'ටෙස්කෝ' සුපිරි වෙළෙඳසැල් ජාලයේ නැත්තක් කාඩ්පත් අලෙවිය මගින්, බ්‍රිතාන්‍ය හෘද පදනම, එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනය සහ දියවැඩියා සංවිධානය යන ශුභසාධක සංවිධාන තුන සඳහා වසරකට ස්ටර්ලිං පව්ම් 30,000 ක අරමුදලක් පරිත්‍යාග කරයි.

ෆ්ලොරන්ස් විඩිකොම්බ් (Florence Widdicombe) දැරියට හමු වූ ආකාරයේ පණිවුඩ ඇතුළත් තවත් කාඩ්පත් ගැන පැමිණිලි වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් එම සමාගමට මෙතෙක් ලැබී නැත.

'විඩිකොම්බ්' පවුල ඉහත කී පණිවුඩය පිළිබඳව 'Linkedin' පණිවුඩ ජාලය මගින් පීටර් හම්ප්‍රි දැනුවත් කරනු ලැබ ඇත.

චීන සිරකරුවන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගන්නා බව චීනයේ හිටපු සිරකරුවකු වන පීටර් තහවුරු කරයි. මාධ්‍යවේදියකු වන පීටර් ඒ සම්බන්ධයෙන් 'ද සන්ඩේ ටයිම්ස්' පුවත්පතට ලියා ඇත.

ඔහු බීබීසියට අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

"2013-15 අතර කාලයේ මම අවුරුදු දෙකක් 'ෂැන්හයි' නගරයේ දී සිර භාරයේ සිටියා. මගේ අන්තිම මාස නවය ගත කළේ ඔය කියන නත්තල් කාඩ්පත මගින් පණිවුඩය ලැබුණ සිරගෙදරයි. හරියටම ඒ පණිවුඩය ලියපු සිරකාරයෝ ඉන්න කාමර පේළියෙමයි මමත් හිටියේ."

"මේ පණිවුඩය ලියා තියෙන්නේ මාත් එක්ක එකට හිරේ හිටිය තැනැත්තෙක්. ඔහු තවමත් සිර දඬුවම් විඳිමින් සිටිනවා. මට ස්ථිරව කියන්න පුළුවන්-මේක එක්කෙනෙකුගේ ඉල්ලීමක් නොවෙයි. සමූහයක් විසින් දෙන පණිවුඩයක්. මම හිතනවා -මේක ලියපු තැනැත්තා මම දන්න කෙනෙක් කියල. ඒත් මම කවදාවත් ම ඔහුගේ නම හෙළිදරව් කරන්නේ නැහැ," පීටර් හම්ප්‍රි පවසයි.

Image caption චීන සිරගෙදර අත්දැකීම් කියන පීටර් හම්ප්‍රි

සිරගෙයි තත්වය

පීටර් හම්ප්‍රි පවසන ආකාරයට චීනයේ අදාළ බන්ධනාගාරයේ විදේශීය සිරකරුවන් 250 ක් පමණ රඳවා සිටිති. ඉතාම අයහපත් තත්වයක් සහිත එක සිර කුටියක රඳවා ඇති සිරකරුවන්ගේ සංඛ්‍යාව දොළොස් දෙනෙකි.

"සිරකාරයන්ට නිදා ගන්න වෙලා තියෙන්නේ- තට්ටු හැටියට හදල තියෙන යකඩ ඇඳන්වල. ඔවුන්ට දීලා තියෙන්නේ-සෙන්ටිමීටර් එකක් විතර ඝනකම සහිත මෙට්ටයක්," ඔහු පවසයි.

"ශීත කාලය උදා වුනාම තියෙන්නේ-දරා ගන්න බැරි ශීතලක්. ගොඩනැගිලි උණුසුම් කිරීමක් සිදු කෙරෙන්නේ නැහැ. අනිත් අතට ග්‍රීෂ්ම කාලයේ දී තියෙන්නේ දරා ගන්න බැරි රශ්නයක්. මොකද? වායු සමීකරණ පහසුකම් නැහැ," පීටර් හම්ප්‍රි සිරගෙදර පවතින තත්වය විස්තර කරන්නේ සිය අත්දැකීමෙනි.

"දිනපතාම උදේ 5.30 ත් 6.30 ත් අතර සිරකාරයන් නැගිටින්න ඕන. ආයෙත් ඇඳට යන්න ලැබෙන්නේ -රාත්‍රී 9.30 ට."

තමා සිරකාරයකුව සිටිය දී භාණ්ඩ නිෂ්පාදන කටයුතුවලට හවුල්වීම ස්වේච්ඡාව මත සිදු වූ බවත් සිරකරුවන්ට සබන් සහ දත්බේත් (toothpaste) මිලට ගැනීම සඳහා වැඩ කිරීමට සිදු වූ බවත් පීටර් හම්ප්‍රි පවසයි.

එහෙත් දැන් ශ්‍රමය සැපයීම අනිවාර්ය කරනු ලැබ ඇති බවත් ඔහු සඳහන් කරයි.

ඉහත කී නත්තල් පත මගින් දුන් පණිවුඩය ලියන ලද්දේ කවුරුන් විසින්ද යන්න හෙළි වුනොත් බරපතළ දඬුවමකට ගොදුරු විය හැකි බව එම සිරකරුවන් දන්නා බව පීටර්ගේ අදහස වෙයි.

Image caption නත්තල් සීයාගේ හිස් වැස්ම මුද්‍රිත එක කාඩ්පතක් අතට ගත් දැරිය එය පෙරලා බලද්දී තමාට පෙර කවුරුන් විසින් හෝ එහි දැනටමත් පණිවුඩයක් ලියා ඇති බව ඇයට පෙනුණි

"සමහර විට ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ලැබෙන ලකුණු කැපෙන්න පුළුවන්. ආහාර සලාකයේ අහිමි වීමක් සිදු වෙන්න පුළුවන්. එපමණක් නොවෙයි, ඔවුන් මාසයක හෝ ඊට වැඩි කාලයක් සඳහා අනිත් සිරකරුවන්ගෙන් වෙන් කරලා හුදෙකලාව රඳවා තියන්න ඉඩකඩ තියෙනවා. එය ඉතාම නරක තත්වයක් පවතින ස්ථානයක්."

සිරකරුවන්ට තොරතුරු ලබා ගැනීම අතින් ද දැඩි වාරණයක් පවතින බව පීටර් පෙන්වා දෙයි. 2015 වසරේ තමා මුදා හරිනු ලැබීමට පෙර හමු වූ සිරකරුවන් සමඟ සබඳතා පවත්වා ගත් වැඩ පිළිවෙළ අවහිර කරනු ලැබ ඇති බවත් ඔහු පවසයි.

තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා යොදා ගත් එක් උපක්‍රමයක් වුණේ පණිවුඩය ලියා බෝතලයක් ඇතුළට දමා යවනු ලැබීමය.

චීනයේ සිරකරුවන් බටහිර වෙළෙඳපොළට සැපයෙන භාණ්ඩවලට ඇතුළත් කරමින් පණිවුඩ යවන ලද පළමු අවස්ථාව මුලින් සඳහන් කරන ලද නත්තල් පත පමණක් නොවේ.

'හැලොවීන්' නිෂ්පාදන (Halloween decorations) සඳහා බලහත්කාරයෙන් ශ්‍රමය සූරා ගන්නා බවත් වධහිංසාවන්ට ගොදුරු කෙරෙන බවත් පවසමින් සිරකරුවකු විසින් තැබූ සටහනක් 2012 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ 'ඔරිගන්' ප්‍රාන්තයේ පොර්ට්ලන්ඩ්හි වෙසෙන ජූලී කීත් විසින් මිලට ගත් 'හැලොවීන්' භාණ්ඩයකට ඇතුළත් විය.

ජාත්‍යන්තර නීතිය

2014 වසරේ උතුරු අයර්ලන්තයේ කරෙන් විසින්ස්කා 'ප්‍රයිමාර්ක්' සමාගමෙන් මිලට ගත් කලිසම් ජෝඩුවකට අමුණා තිබුණ පණිවුඩය ද මෙවැන්නකි.

"සිරගෙදර අපට පැවරී තියෙන කාර්යය පිටරටවලට අපනයනය කෙරෙන විලාසිතා ඇඳුම් මැසීම. අපි දවසට පැය පහළොවක් වැඩ කරනවා. අපට දෙන කෑම බීම ඌරන්ට සහ බල්ලන්ටවත් දෙන ඒවා නොවෙයි," එහි සඳහන් විය.

සිරකරුවන් සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ උපදෙස් අනුව බන්ධනාගාර බලධාරීන්ගේ හෝ පෞද්ගලික ඇණවුම් කරුවෙකුගේ හුදු ලාභ ඉපයීම සඳහා සිරකරුවන් යොදා නොගත යුතුය.

සිරකරුවන්ට සැලකීමට අදාළ අවම නෛතික ප්‍රමිතීන් මගින් මෙසේ පෙන්වා දෙයි.

"සිරකරු ශ්‍රමය පීඩාකාරී ස්වභාවයේ නොවිය යුතුය."

කියවන්න;