නත්තලෙහි පොල් රා අගුණ වූ පිලිපීන සුරා සාදය

Image copyright Getty Images
Image caption පිලිපීනයේ අනවසරයෙන් පෙරා විකුණන පොල් රා ඇතුළු සුරා වර්ග හඳුන්වන්නේ 'ලම්බනොග්'(lambanog) යනුවෙනි.

පොල් රා පානය කළ පිලිපීන ජාතිකයන් පිරිසක් අතරින් අට දෙනෙකුවත් මරණයට පත් වූ බව ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

ඔවුන් සමඟ එම පොල් රා පානය කළ පුද්ගලයන් අතරින් තවත් 300ක් පමණ රෝහල්ගත කිරීමට සිදු වූ බවත් වාර්තා වෙයි.

පොල් රා විෂවූවන් පිලිපීනයේ විවිධ නගරවල වැසියන් වුව ද ඔවුන් ඒවා මිලට ගෙන ඇත්තේ එකම සුරා වෙළෙඳසැලකින් යයි පිලිපීන මාධ්‍ය මගින් වාර්තා කෙරුණි.

ආබාධිත සුරාලෝලීන් ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබීමට පෙර කියා තිබුණේ 'රා බීමෙන් පසු තමන් බඩ රුදාවෙන් සහ කරකැවිල්ලෙන් පීඩා විඳින ලද' බවය.

පිලිපීනයේ අනවසරයෙන් පෙරා විකුණන පොල් රා ඇතුළු සුරා වර්ග හඳුන්වන්නේ 'ලම්බනොග්' (lambanog) යනුවෙනි.

එලෙස පෙරා ගනු ලබන සාර වර්ගවල සාමාන්‍යයෙන් 40 % ක පමණ වූ ඉහළ මධ්‍යසාර ප්‍රමාණයක් අන්තර්ගත වෙයි.

ඉහත කී පොල් රා නිෂ්පාදනය කරනු ලබන ව්‍යාපාරයේ අයිතිකරු බලධාරීන්ට යටත් වූ බව ABS-CBN මාධ්‍ය ජාලය වාර්තා කරයි.

රා විෂ වූවන්ගෙන් වැඩිදෙනා 'මැනිලා' අගනුවර ගිනිකොන දෙස පිහිටි 'ලැගුනා' (Laguna) පළාතේ 'රිෂාල්'නගරවාසීන් යයි පිලිපීන පොලිසිය පවසයි.

සෙසු සුරාලෝලීන් අසල පිහිටි 'ක්විසොන්' (Quezon) පළාතෙන් පැමිණි අය වෙති.

එවැනි මත්පැන් වර්ග පෙරීම නීතියට අනුකූලද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මේවනවිට විවාද සහගත තත්වයක් උද්ගතව ඇත.

පිලිපීනයේ 'ලම්බනොග්' (lambanog) පොල් රා සඳහා නත්තල් උත්සව සමයෙහි ඉහළ ඉල්ලුමක් ඇත.

Image copyright Reuters
Image caption රා විෂ වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සුරාලෝලීන් පිරිසක්

එහෙත් එම සුරා නිෂ්පාදනය සම්බන්ධයෙන් තාවකාලික තහනමක් පනවන ලද බව පවසමින් 'ලැගුනා' (Laguna) පළාතේ ආණ්ඩුකරු 'ෆේස්බුක්' පණිවුඩයක් පළ කර ඇත.

එසේම රා විෂවීම සම්බන්ධයන් විභාගයක් ආරම්භ කරන බවත් ආණ්ඩුකාර රමිල් හර්නාන්ඩෙෂ් (Ramil Hernandez) පවසයි.

'ලම්බනොග්' (lambanog) පානය කරනු ලැබීමෙන් පිලිපීන ජාතිකයන් මරණයට පත් පළමු අවස්ථාව මෙය නොවේ.

පසුගිය වසරේ එම සුරා පානයෙන් පුද්ගලයෙන් විසි එක් දෙනෙක් මරණයට පත්ව ඇති බව පිලිපීන වාර්තා සඳහන් කරයි.

ආසියානු රටවල වඩාත් දිළිඳු කළාපයන්හි ඇතැම් ජනයා අනවසරයෙන් පෙරන සුරා වර්ග පානය කිරීමේ දී 'මෙතනෝල්' (methanol) ඇල්කොහොලය විෂ වීමෙන් රෝගී වීම සුලභව සිදු වන්නකි.

"කවුරු හරි කෙනෙක් 'මෙතනෝල්' විෂ වීමකට ගොදුරු වෙලා ඉන්නවා දැකල තියෙනවද? කියල අපි කාගෙන් හරි ඇහුවොත් ලැබෙන උත්තරේ තමයි 'නැහැ' කියන එක" මෙතනෝල් ව්‍යාප්තිය පිළිබඳ ජගත් මට්ටමේ විශේෂඥයකු වන 'ඔස්ලෝ' (Oslo University) සරසවියේ ආචාර්ය නට් එරික් හව්ඩා (Dr Knut Erik Hovda) පසුගිය ඔක්තෝම්බර් මාසයේ බීබීසිය සමඟ සාකච්ඡාවක දී සඳහන් කළේය.

"සුරා පානය නිසා අන්ධභාවයට පත් එසේත් නැත්නම් මරණයට පත් කෙනෙක් ගැන දන්නවද? කියල අර කලින් උත්තරේ දුන්න පුද්ගලයාගෙන්ම යළිත් ඇහුවොත් එතකොට ඔහු කියාවි, එවැනි දේවල් නම් නිතරම සිද්ධවෙනව කියල.එවැනි තත්වයක් ඇතිවීමට හේතුව 'මෙතනෝල්' ඇල්කොහොලය එම සුරා වර්ගවල අධික මට්ටමින් අන්තර්ගත වීමයි," ආචාර්ය නට් එරික් හව්ඩා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

Image copyright NATHAN G
Image caption ආසියානු රටවල වඩාත් දිළිඳු කළාපයන්හි ඇතැම් ජනයා අනවසරයෙන් පෙරන සුරා වර්ග පානය කිරීමේ දී 'මෙතනෝල්' (methanol)ඇල්කොහොලය විෂ වීමෙන් රෝගී වීම සුලභව සිදු වන්නකි.

කියවන්න;

සබැඳි විෂයයන්