ඇෆ්ගනිස්තානය: තලිබාන් සංවිධානය, සාම ක්‍රියාකාරීන් 'පැහැරගෙන'

kidnapped by Taliban Image copyright Getty Images
Image caption මින් දෙසතියකට පෙර 'පීපල්ස් පීස් මූව්මන්ට්' (People's Peace Movement) නම් සාම සංවිධානය පෙළපාලියක් ආරම්භ කළේය.

සාමය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමකට අයත් ක්‍රියාකාරීන් 27 දෙනෙකු බටහිර ඇෆ්ගනිස්තානයේ ගමන් කරමින් සිටින අතරතුර තලිබාන් සංවිධානය විසින් පැහැර ගනු ලැබ ඇති බව එරට බලධාරීහු පවසති.

ගැටුම් නතර කරන ලෙස ඉල්ලීම් කරමින් මින් දෙසතියකට පෙර 'පීපල්ස් පීස් මූව්මන්ට්' (People's Peace Movement) නම් සාම සංවිධානය හේරාත් පළාතෙන් පෙළපාලියක් ආරම්භ කළේය. නමුත්, පෙළපාලිය ෆාරාහ් පළාතට ඇතුළුවීමෙන් පසු අතුරුදන් වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලිබාන් සංවිධානය මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

තලිබාන් සංවිධානය ඇමරිකාව සමඟ සාම සාකච්ඡාවල නිරත වී සිටියත්, ඇෆ්ගනිස්තානයට සහ ජාත්‍යන්තර හමුදාවලට නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරයි.

සාම ක්‍රියාකාරීන් ගමන් කරමින් සිටි මෝටර් රථ හය තලිබාන් සංවිධානයට අයත් පිරිස් විසින් ප්‍රධාන මාර්ගයක දී නතර කර හඳුනා නොගත් ස්ථානයකට ගෙන ගොස් ඇතැයි ෆාරාහ් ප්‍රදේශයේ උප ආණ්ඩුකාරවරයා වන මසූද් බකහ්තවාර් පැවසීය.

මේ තොරතුරුද කියවන්න:

2018 දී මෙම සාම සංවිධානය හෙල්මන්ඩ් පළාතේදී ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙළපාලි පැවැත්වීම ඇරඹුවේ, එම පළාතේ දකුණු දිග පිහිටි ක්‍රීඩාංගණයක මෝටර් රථ බෝම්බයක් පුපුරා යෑමෙන් 17 දෙනෙකු මියගොස් පනස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියෙන් පසුවය.

එතැන් සිට ඔවුන් රටේ වෙනත් දිසාවන් වෙත ගිය අතර එහිදී නිතරම තලිබාන් පාලනය යටතේ ඇති ප්‍රදේශ හරහා ගමනේ යෙදිණි.

ඇෆ්ගනිස්තාන ආණ්ඩුව මෙම සංවිධානයට මුල්‍යාධාර සපයන බවට තලිබාන් විසින් චෝදනා නැගුවද එම සංවිධානය එය ප්‍රතික්ෂේප කරයි.

2001 වර්ෂයේ සිට පවතින සටන්වලින් ඇෆ්ගනිස්තාන වැසියන් දස දහස් ගණනක්, ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ 3000ට අධික ජාත්‍යන්තර හමුදා සාමාජිකයන් මිය ගොස් තිබේ.

තවත් තොරතුරු:

සබැඳි විෂයයන්