බුර්කිනා ෆාසෝ: ජිහාඩ්වාදී යැයි සැක කෙරෙන ප්‍රහාරයකින් කාන්තාවන් රැසක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AFP/GETTY IMAGES
බුර්කිනා ෆාසෝ හි හමුදා වසර ගණනක සිට සටන්කරුවන් සමග ගැටෙති
අප්‍රිකානු බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ ඉස්ලාමිය සටන්කරුවන් යැයි සැකකෙරෙන පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් කාන්තාවන් 31 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 35 දෙනෙක් මිය ගියහ.
උතුරු සෞම් පළාතේ අර්බින්ඩා නගරය හා එහි හමුදා කඳවුරක් වෙත අඟහරුවාදා (දෙසැම්බර් 24) ප්‍රහාරය එල්ල වූ බව නිලධාරීහු පැවසූහ.
හමුදාව විසින් ප්‍රහාරය මැඩ පවත්වනු ලැබු අතර එහිදී සෙබළුන් 7 දෙනෙක් හා සටන්කරුවන් 80 දෙනෙක් ද මිය ගොස් ඇති බව වාර්තා විය.
මේ සිදුවීම හේතුවෙන් බුර්කිනා ෆාසෝ හි ජනාධිපති රොච් මාර්ක් ක්‍රිස්ටියන් කබොරේ විසින් දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබිණි.
මෑත වසර කිහිපය තුළ ජිහාඩ් කණ්ඩායම් විසින් බුර්කිනා ෆාසෝ හා අනෙකුත් බටහිර අප්‍රිකානු රටවල සිය ප්‍රහාර උත්සන්න කරනු ලැබ ඇත.
කැරලිවලට එරෙහිව ප්‍රතික්‍රියා කිරීම සඳහා කලාපීය රටවලට බටහිර ජාතීන්ගේ සහය ලැබීමට දරන ප්‍රයත්නය මැද වුව ද ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් පවතී. පසුගිය නොවැම්බරයේදී ප්‍රංශ සෙබළුන් 13 දෙනෙකුට මරු කැඳවමින් හෙලිකොප්ටර් අනතුරක් සිදු වුනේ මාලි රාජ්‍යයේ දකුණුදිග, බුර්කිනා ෆාසෝ දේශසීමාව ආසන්නයේ මෙහෙයුමක යෙදී සිටියදීය.
නයිජර් රාජ්‍යයේ සංචාරයක යෙදුනු ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්, සහෙල් කලාපය තුළ සටන්කරුවන්ට එරෙහිව ගෙන යන යුද්ධය ගැන පසුගිය සතියේදී ප්‍රකාශයක් කළේය.
"ත්‍රස්තවාදයට එරෙහිව අප ගෙන යන සටනේ අතිශයින්ම තීරණාත්මක තත්ත්වයක් ඉදිරි සතිවලදී ඇතිවේවි" යැයි ඔහු පැවසීය.
යතුරුපැදිවල නැගුනු සටකරුවන් දුසිම් ගණනක් අඟහරුවාදා බුර්කිනා ෆාසෝ හි එල්ල කළ ප්‍රහාරය පැය කිහිපයක් පුරා පැවතිණි. මේ සම්බන්ධයෙන් කිසිවකු හෝ මෙතෙක් වගකීම භාරගෙන නැති වුවද, අල් ඛයිඩා හෝ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සම්බන්ධ කණ්ඩායම් එම කලාපය තුළ ක්‍රියාකාරීව සිටිති.
මේ මස මුලදී බුර්කිනා ෆාසෝහි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් තුළ එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරකදී 14 දෙනෙක් මියගියහ.
මුස්ලිම් බහුතරයකගෙන් සමන්විත බුර්කිනා ෆාසෝ රාජ්‍යය කලක් සාපේක්ෂව ස්ථාවර රාජ්‍යයක්ව පැවතියද 2015 වසරේ සිට නොසන්සුන් බවක් මතුවන්නට විය. පුද්ගලයින් 700ක් පමණ මියගොස් ඇති අතර 560,000 අවතැන්ව සිටිති.
ඉස්ලාමීය සටන්කරුවන්ගේ ග්‍රහණයට ලක්වූ අසල්වැසි මාලි රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ සිට දේශසීමාව හරහා ගැටුම් පැතිර ගියේය. 2012 දී සටන්කරුවන් එම ප්‍රදේශය ග්‍රහණයට නතු කරගෙන තිබිණි. පසුව ප්‍රංශ හමුදා විසින් සටන්කරුවන් අදාළ ප්‍රදේශවලින් එළවා දැමීම අරඹනු ලැබිණි.
මේ තොරතුරුද දැනගන්න:

බුර්කිනෝ ෆාසෝ කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක්
දේව මෙහෙයක් පැවැත්වෙන අතරවාරයේ දේවස්ථානයකට ගිනි තැබූ තුවක්කුකරුවන් දේවගැතිවරයකු ඇතුළු හය දෙනෙකු මරා දැමූ බව බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලධාරීහු පවසති.