හෙලන් ෂාමන්: "පිටසක්වළ ජීවීන් ඉන්නවා, ඔවුන් අපි අතරම ජීවත් වෙනවා"

Helen Sharman Image copyright Getty Images
Image caption ආචාර්ය හෙලන් ෂාමන්

පිටසක්වළ ජීවීන් ජීවමාන අතර, ඔවුන් අප අතරම දිවි ගෙවීමට ඉඩ ඇති බව බ්‍රිතාන්‍යයෙන් අභ්‍යවකාශයට ගිය ප්‍රථම පුද්ගලයා පවසයි.

විශ්වයේ කොතැනක හෝ වෙනත් භූමියක ජීවීන් සිටින බව ආචාර්ය හෙලන් ෂාමන් 'ඔබ්සර්වර්' සඟරාවට පැවසීය.

"පිටසක්වළ ජීවීන් ඉන්නවා, ඒ ගැන කිසිම සැකයක් නැහැ. බිලියන ගණනක් තරු අතර විවිධ ස්වභාවයේ ජීවීන් ඉන්න පුළුවන්," ඇය පැවසුවාය.

56 වෙනි වියේ පසුවන ආචාර්ය හෙලන් ෂාමන් 1991 වර්ෂයේ දී 'මිර්' නැමැති සෝවියට් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යෑම ඓතිහාසික සිද්ධියක් විය.

ඇය මේ වන විට ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ රසායනඥයෙකු ලෙස සේවයේ නියැලී සිටී. "පිටසක්වළ ජීවීන් මේ මොහොතේ පවා ඉන්න පුළුවන්, නමුත් අපිට ඔවුන් පෙනෙන්නේ නැති විය හැකියි," ඇය කියා සිටියාය. එමෙන්ම, මනුෂ්‍යයන් මෙන් ඔවුන් කාබන් සහ නයිට්‍රජන්වලින් නිර්මාණය වී නැති විය හැකි බව ඇය තවදුරටත් පැවසුවාය.

Image copyright Getty Images
Image caption 1991 දී 'මිර්' නමැති සෝවියට් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යෑමට සූදානමින්.

මේ අතර, අභ්‍යවකාශයට ප්‍රථමයෙන් ගිය බ්‍රිතාන්‍යය පුද්ගලයා ලෙස නොව, ප්‍රථම බ්‍රිතාන්‍ය කාන්තාව ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ඉච්ඡාභංගත්වය ගැන ද ඇය මෙම සාකච්ඡාවේ දී සඳහන් කළාය.

"එයින් කියවෙන්නේ ප්‍රථමයෙන් අභ්‍යවකාශයට යන්න ඇත්තේ පුරුෂයෙකු යැයි අප සිතන බවයි" යනුවෙන් ඇය පැවසීය.

"ටිම් පීක් අභ්‍යවකාශයට ගිය පසු, සමහර පුද්ගලයන්ට මාව අමතක වුණා. පුරුෂයෙකු ප්‍රථමයෙන් යාම තමයි සාමාන්‍ය සම්මතය වී තිබෙන්නේ. මට අතිශය සතුටුයි ඒ මතය කණපිට පෙරලුවට."

"අභ්‍යවකාශයේ සිටීමෙන් මම ඉගෙනගත් දෙයක් තමයි භෞතික දේවල් නෙමෙයි මිනිස්සුයි ඇත්තෙන්ම වටින්නේ කියන එක."

"නිසි උෂ්ණත්වය, ආහාර පාන, ආරක්ෂාව ඇතුළු උඩ දී අපිට ජීවත් වෙන්න අවශ්‍ය සියලු දේ තිබුණා. පොළොවේ දී අයිති වෙලා තිබුණ කිසිම දෙයක් ගැන මම කිසිම විටක සිතුවේ නැහැ," ඇය පැවසුවාය.

"අපි පෘථිවියේ විවිධ කොටස්වලට ඉහළින් පියාසර කරද්දී, සැම විටම සිතුවේ පහළින් සිටින අපේ ආදරණීයන් ගැන" ඇය තවදුරටත් පැවසීය.

මේ තොරතුරු ද කියවන්න: