හඳට යන්න සහකාරියක් සොයන ධන කුවේරයා; "කැමතිනම් ඉල්ලුම් කරන්න"

Image caption යූසකු මයෙසාවා

සඳ වටා සංචාරය කිරීම සඳහා "ජීවන සහකාරියක" සොයමින් සිටින ප්‍රකෝටිපතියෙකු පිළිබඳව ජපානයෙන් වාර්තා වේ.

මෝස්‌තර නිර්මාණ ක්‍ෂේත්‍රයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ජපන් ජාතික යූසකු මයෙසාවා (Yusaku Maezawa), සඳ වටා කෙරෙන සංචාරයකට එක් වීමට නියමිතය. ඔහු 44 හැවිදිරිය.

Space X නමැති මෙම ව්‍යාපෘතිය යටතේ Starship රොකට් යානය මගින් 'සඳ සංචාරයට' එක්වන පළමු පෞද්ගලික මගියා මොහු ය.

මෙම 'සඳ සංචාරය' සිදු කිරීමට නියමිතව ඇත්තේ 2023 වසරේදී ය. 1972 වසරෙන් පසු සඳ වෙත යන පළමු මිනිසා ලෙස මෙම ධන කුවේරයාගේ නම ලියැවෙනු ඇත.

අන්තර්ජාලය ඔස්සේ ඉල්ලීමක් කරමින් යූසකු මයෙසාවා කියා සිටින්නේ මෙම අත්දැකීම "විශේෂ" කාන්තාවක් සමඟ බෙදා ගැනීමට තමන්ට අවශ්‍ය බවය.

ව්‍යවසායකයෙකු වන යූසකු මයෙසාවා මෑතකදී සිය පෙම්වතියගෙන් වෙන් විය. ඇය 27 හැවිරිදි රංගන ශිල්පිනියක වන අයාම් ගොරිකි ය.

තම සහකාරිය වීමට කැමති නම් ඉල්ලුම් කරන ලෙස යූසකු මයෙසාවා සිය වෙබ් අඩවිය ඔස්සේ කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එකම ගැහැනියට දිගටම ආදරය කිරීම

"තනිකම සහ හිස්බව සහිත හැඟීම්වලින් මා වෙලා ගන්නට පටන් ගත් බැවින්, මම එක් දෙයක් ගැන සිතුවෙමි: ඒ, එකම ගැහැනියකට දිගටම ආදරය කිරීමයි," මයෙසාවා සිය වෙබ් අඩවියේ ලියා ඇත.

"මට 'ජීවන සහකාරියක්' සොයා ගැනීමට අවශ්‍යයි. මගේ ඒ අනාගත සහකාරිය සමඟ එක් වී අපේ ආදරය සහ ලෝක සාමය ගැන පිට සක්වළ සිට කෑ ගසා කියන්නට මට අවශ්‍යයි." එම වෙබ් අඩවියේ තවදුරටත් සඳහන් වෙයි.

Image copyright Getty Images
Image caption මොහු සතු සම්පුර්ණ වත්කම ඩොලර් බිලියන තුනකට ආසන්න බව විශ්වාස කෙරේ

කොන්දේසි මාලාව

තුන් මසක් ගත වන මෙම ඉල්ලුම් පත් ක්‍රියාවලියට අදාළ කාල සටහනක් සහ කොන්දේසි මාලාවක් ද ඇතුළත් ය.

අයදුම්කාරියන් අවිවාහක වීම, වයස අවුරුදු 20ට වැඩි වීම, ධනාත්මක සිතුවිලි සහිත වීම සහ අභ්‍යවකාශයට යාමේ කැමැත්ත සහිත වීම එම කොන්දේසි අතරින් කිහිපයකි.

අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසාන දිනය ජනවාරි 17 වනදා ය. යූසකු මයෙසාවා ගේ සහකාරිය පිළිබඳව අවසාන තීරණය මාර්තු මස අග වන විට ගනු ලැබීමට නියමිතය.

ජනතාවගේ අවධානය ලබා ගැනීම සඳහා විවිධාකාර ක්‍රියාවන්හි නිරත වන මෙම ධන කුවේරයා punk සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදකයෙකු ලෙසද කටයුතු කරයි.

Image copyright SPACEX
Image caption යානයේ අනුරුවක්

තමන්ගේ ට්විටර් පණිවිඩයක් හුවමාරු (share) කරගන්නා පිරිස අතරින් අහඹු ලෙස තෝරා ගන්නා සිය දෙනෙකු අතරේ, යෙන් මුදලින් මිලියන 100ක් බෙදා දෙන බවට පොරොන්දුවක් ද ඔහු මේ මස මුලදී ලබා දුන්නේය.

කියවන්න:

ගෙවූ මුදල කොපමණද?

මයෙසාවා, මෝස්‌තර නිර්මාණ ක්‍ෂේත්‍රයේ මහා ධනපතියෙකි. ජපානයේ Zozo නමැති අන්තර්ජාල වෙළෙඳ සමාගම ආරම්භ කරණ ලද්දේ ඔහු විසිනි. එහි වෙළෙඳාම් කෙරෙන්නේ ඇඳුම් ආයිත්තම් ය.

මොහු සතු සම්පූර්ණ වත්කම ඩොලර් බිලියන තුනකට ආසන්න බව විශ්වාස කෙරේ. ඔහු වැඩි වියදමක් දරන්නේ කලා නිර්මාණ වෙනුවෙනි.

SpaceX ව්‍යාපෘතිය ඔස්සේ සඳ වටා සංචාරය කරන පළමු පෞද්ගලික මගියා මොහු බවට නම් කිරීමෙන් අනතුරුව යූසකු මයෙසාවා විදෙස් රටවල ද ප්‍රසිද්ධ විය.

මෙම සඳ සංචාරය සඳහා ඔහු විසින් ගෙවා ඇති මුදල කෙතරම් ද යන්න තවමත් හෙළිදරව් වී නොමැත. SpaceX අයිතිකරු පවසන පරිදි එය "විශාල මුදල් ප්‍රමාණයකි."

මයෙසාවා කියා සිටියේ කලාකරුවන් කිහිප දෙනෙකුද මෙම ගමනට එක් කර ගන්නා බවකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර