කොරෝනාවෛරසය: වවුල් සුප්, කුමන්ත්‍රණ න්‍යාය, ජීව විද්‍යාත්මක අවි සහ 'ෆේක් නිව්ස්'

Image copyright EPA

චීනයේ කොරෝනාවෛරසය ආසාදනය වූ 170 දෙනෙකු මේ වන විට මරුමුවට පත් වී තිබේ.

7,711 ආසන්න පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙන අතර බ්‍රිතාන්‍යය, හොංකොං, ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල් වෛරසය පැතිර යාම වැළැක්වීම පිණිස විවිධ පියවර ගනිමින් සිටිති.

මේ අතර චීනය තුළ සහ වෙනත් රටවල කොරෝනා වෛරසය පැතිර යන වේගයට වඩා ඉහළ වේගයකින් විවිධ ආකාරයේ ව්‍යාජ පුවත් පැතිර යමින් පවතී.

වෛරසය පැතිරයාම වැළැක්වීම පිණිස සියලු පියවර ගෙන තිබෙන බව අවධාරණය කරන ශ්‍රී ආණ්ඩුව, ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

පහත දැක්වෙන්නේ, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පළ වූ ව්‍යාජ පුවත් (Fake News) කිහිපයක් පිළිබඳ 'BBC Monitoring' අංශය විසින් කරන ලද විමසුමක් ඇසුරෙන් සකස් කළ වාර්තාවකි.

වවුල් සුප් වීඩියෝ

කොරෝනා වෛරසය හටගත්තේ කෙසේ දැයි යන්න පිළිබඳ ආරම්භයේ සිටම බොහෝ දෙනා විවිධ අදහස් පළ කළහ.

වූහාන් ප්‍රදේශයේ වෛරසය පැතිර යන අතරවාරයේ චීන ජනතාව වවුලන් ආහාරයට ගන්නා බව සඳහන් වීඩියෝ පැතිර යාමත් සමග ඒ පිළිබඳ ප්‍රබල ආන්දෝලනයක් මතුවිය.

විශේෂයෙන් ම වවුල් මස්, කුකුළු මස් වැනි යයි පවසමින් චීන කාන්තාවක් පිසූ වවුලෙකු ප්‍රදර්ශනය කරන වීඩියෝවකට සමාජ ජාල ඔස්සේ දැඩි විරෝධය පළ වූ අතර, කොරෝනා වෛරසයට හේතුව චීන ජනතාවගේ ආහාර රටා බව ඇතැමෙකුගේ අදහස විය.

නමුත් එය වූහාන් ප්‍රදේශයේ හෝ චීනයේ පටිගත කරන ලද වීඩියෝවක් නොවේ.

අන්තර්ජාලයේ සංචාරක සටහන් තබන ජනප්‍රිය බ්ලොග් ලේඛිකාවක් වන මෙන්ග්යුන් වෑන් (Mengyun Wang) විසින් 2016 වසරේදී එම වීඩියෝව පටිගත කර තිබෙන්නේ පලාවු දූපත්වල සංචාරයක් අතරතුරදීය.

පසුගිය වසරේ අගභාගයේ වූහාන් ප්‍රදේශයේ නව කොරෝනා වෛරසය මතුවීමත් සමග එම වීඩියෝ පටය යළිත් වරක් සංවාදයට ලක්විය.

එයට එරෙහිව මතු වූ විරෝධයත් හමුවේ වවුලන් වෛරස්කාරකයන් බව නොදැන සිටියේ යයි පවසමින් මෙන්ග්යුන් වෑන් ඒ ගැන සමාව අයැද සිටියාය. වීඩියෝ පටය ද අන්තර්ජාලයෙන් ඉවත් කරගෙන තිබේ.

වවුලන් ද රෝගකාරකයක් විය හැකි බව චීනයේ පවත්වන ලද අලුත්ම පර්යේෂණවලදී නම් කෙරුණ ද, වවුල් සුප් චීන ජනතාව අතර සුලභ ආහාරයක් නොවන අතර වෛරසයේ මතුවීම පිළිබඳ තවදුරටත් පර්යේෂණ පැවැත්වේ.

Image copyright AFP

'සැලසුම් කළ' විපතක්

කොරෝනා වෛරසය පිළිබඳව විද්‍යාඥයන් කලෙක සිට දැන සිටි බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ල වූ එවැනි තවත් චෝදනාවකි.

යූටියුබ් තරුවක් සහ කුමන්ත්‍රණ (Conspiracy) ගැන නිතර අදහස් පළකරන්නෙකු වන ජෝඩන් සේතර් (Jordan Sathe)r පළමුවෙන්ම එවැනි චෝදනාවක් එල්ල කළ එක් පුද්ගලයෙකි.

ට්විටර් පණිවුඩ දාමයක් නිකුත් කළ ඔහු, එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ පර්බ්‍රයිට් ආයතනය (Pirbright Institute) විසින් ශ්වසන රෝගවලට ප්‍රතිකාර වශයෙන් කොරෝනා වෛරසයේ දුර්වල ප්‍රබේධයක් නිපදවීම සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීම පිණිස 2015 දී ඉදිරිපත් කළ අයදුම්පතක් ද ගෙන හැර දක්වා තිබුණි.

වත්මන් කොරෝනා වෛරසයේ මතුවීම, එන්නතක් නිපදවීම වෙනුවෙන් අනුග්‍රහය ලබා ගැනීම සඳහා සිතා මතාම සිදු කරන ලද්දක්ය යන්න බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම (Bill & Melinda Gates Foundation) පර්බ්‍රයිට් ආයතනයට අනුග්‍රහය දක්වන සංවිධානයක් වීම මගින් තහවුරු කෙරෙන බව ඔහුගේ තර්කය විය.

එහෙත් පර්බ්‍රයිට් ආයතනය පේටන්ට් බලපත්‍රය ලබාගෙන තිබෙන්නේ වත්මන් කොරෝනා වෛරසය සඳහා නොවේ; එය කුකුලන්ට වැළඳෙන, කක්කල් කැස්ස බෝකරන කොරෝනා වෛරස වර්ගයක් සඳහා ලබාගත්තකි.

කක්කල් කැස්ස බෝකරන වෛරස් වර්ගය සම්බන්ධ පර්යේෂණය සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම අනුග්‍රහය නොදැක්වූ බව පර්බ්‍රයිට් ආයතනයේ ප්‍රකාශිකා තෙරේසා මෝගන් (Teresa Maughan) බස්ෆීඩ් අඩවියට පවසා තිබුණි.

'ජීව විද්‍යාත්මක අවියක්'

අලුත්ම කොරෝනා වෛරසය චීනයේ "රහසිගත ජීව විද්‍යාත්මක ආයුධ වැඩසටහනේ" කොටසක්ය යන්න තවත් එවැනි පදනම් විරහිත චෝදනාවකි.

වෛරස විද්‍යාව පිළිබඳ වූහාන් ආයතනය විසින් එය මුදා හරින ලද බව 'කුමන්ත්‍රණ න්‍යාය' (Conspiracy Theories) පතුරවන්නන්ගේ අදහස වී තිබේ.

ඒ බොහෝ දෙනාගේ මතයට පදනම වී තිබෙන්නේ ඊශ්‍රායල ඔත්තු සේවා නිලධාරියෙකු උපුටා දක්වමින් වොෂින්ටන් ටයිම්ස් පුවත්පත පළකරන ලද වාර්තා දෙකකි.

එහෙත් එම ලිපි දෙකේම ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොවූ අතර, වෛරසය මුදා හැරි බවට "මෙතෙක් කිසිදු සාක්ෂියක් හෝ ඉඟියක් හෝ නැති," බව ඔත්තු සේවා නිලධාරියා පවසා තිබුණි.

අදාළ ලිපි දෙක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ හුවමාරු කරගෙන තිබූ අතර එය දස ලක්ෂ සංඛ්‍යාවක් විය හැකිය.

ඒ හා සමාන ලිපියක් පළ කරමින් ඩේලි ස්ටාර් (The Daily Star) පුවත්පත පවසා තිබුණේ වෛරසය "රහසිගත විද්‍යාගාරයක ආරම්භ වූවා" විය හැකි බවය. එහෙත් එය සනාථ කිරීම සඳහා සාක්ෂි නොමැති බව පවසමින් පුවත්පත පසුව එම ලිපිය සංස්කරණය කොට තිබුණි.

වූහාන් හි හුවානන් (Huanan) ප්‍රදේශයේ මත්ස්‍ය ආහාර වෙළෙඳසලෙන් වෛරසය ආරම්භ වූවා විය හැකි බව නිල පර්යේෂණ අනුව විශ්වාස කෙරේ.

වොෂින්ටන් ටයිම්ස් පුවත්පත මේ දක්වා බීබීසී ය කළ විමසීමට ප්‍රතිචාර දක්වා නැත.

කියවන්න: