කොරෝනාවෛරසය ගැන ඔබට ඇති ගැටලුවලට පිළිතුරු

Coronavirus Questions and answers Image copyright Getty Images

කොරෝනාවෛරසය ලොව පුරා රටවල් 18ක පැතිරී යාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය එය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකාවෙන්ද කොරෝනාවෛරසය ආසාදිත පුද්ගලයෙකු වාර්තා විය.

මේ අතර, කොරෝනාවෛරසය ප්‍රථමයෙන් පැතිරී ගිය චීනයේ වූහාන් හි දිවිගෙවූ ශ්‍රී ලාංකිකයන් 33 දෙනෙකු ගුවන් යානයක් මඟින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලධාරීහු ක්‍රියා කළහ.

බීබීසී සෞඛ්‍ය සහ විද්‍යා අංශයේ වාර්තාකරුවන් වන මිෂෙල් රොබර්ට්ස් සහ ජේම්ස් ගැලගර් මෙම නව වෛරසය සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලුවලට මෙසේ පිළිතුරු සපයති.

චීනයෙන් ඇණවුම් කර තැපැල් මාර්ගයෙන් එන භාණ්ඩවල තිබී කොරෝනාවෛරසය පුද්ගල ශරීරයකට සම්ප්‍රේෂණය විය හැකි ද?

එවැනි අවදානමක් සම්බන්ධයෙන් මේ දක්වා සාක්ෂි ඉදිරිපත් වී නොමැත. කොරෝනාවෛරස කුලයට අයත් සාර්ස් වැනි රෝග එය ආසාදිත පුද්ගලයෙකුගේ කැස්සෙන් හෝ කිවිසුම් යැවීමෙන් පිටවන ද්‍රව්‍ය භාණ්ඩවල තැවරී තිබීමෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය විය හැකිය.

නව කොරෝනාවෛරසය එලෙස බෝවන්නේ දැයි තවමත් සොයාගෙන නොමැත.

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන වෛරස මිනිස් ශරීරයෙන් පිටත නොනැසී පවතින්නේ පැය 24ක් පමණි. නමුත් නොරෝවෛරස් (උදරයට බලපාන දරුණු වෛරසයක්) ශරීරයකින් පිටත මාස ගණනාවක් නොනැසී පවතියි.

දැනට දන්නා කරුණු අනුව කොරෝනාවෛරසය සම්ප්‍රේෂණය වන්නේ එම රෝගය වැළඳුණ තවත් පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වීමෙනි. උදාහරණයක් ලෙස ඔබේ පවුලේ සාමාජිකයෙකුගෙන් හෝ සෞඛ්‍ය සේවකයෙකුගෙන් මෙය පැතිරී යෑමේ ඉඩකඩ ඇත.

Image copyright SriLankanAirlines/Facebook
Image caption චීනයේ වූහාන්හි දිවිගෙවූ ශ්‍රී ලාංකිකයන් රැගෙන ආ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යමණ්ඩලය

මෙවැනි වෛරස බොහොමයක් පැතිරී යෑම චීනයෙන් ආරම්භ වන්නේ ඇයි?

විශාල ජනගහනයක් සතුන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් දිවිගෙවීම මෙයට හේතුවය.

නව කොරෝනාවෛරසය ද සතුන් මාර්ගයෙන් මිනිසුන්ට වැළඳුණ බවට බොහෝ දුරට සැක පහළ කෙරේ. සර්පයන්ගෙන් මෙය සම්ප්‍රේෂණය වූ බවට සමහරු අදහස් පළ කර තිබිණි.

2003 දී ලොව පුරා පැතිරී ගිය සාර්ස් වෛරසය ද චීනයෙන් ආරම්භ වූ අතර, එය වවුලන් සහ උරුලෑවන්ගෙන් මිනිස් ශරීරයට ඇතුළු විය.

දකුණු චීනයේ පිහිටි මුහුදු ආහාර තොග වෙළෙඳපොළකින් මෙම නව වෛරසය පැතිරුණ බවට එය හඳුනාගත් මුල් අවදියේ දී පැවසිණි. එම වෙළෙඳපොළෙහි ජීවමාන කුකුළන්, වවුලන් සහ සර්පයන් විකුණනු ලබයි.

එම වෙළෙඳසැල තුළ ඔබ දකින්නට බලාපොරොත්තු වන්නේ හොඳින් කපා පිරිසිදු කර පිළිවෙලට ඔතන ලද මස් වර්ග නම් එහි යෑමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය.

මෙය සාර්ස් වැනි වෛරසයක් ද නැත්නම් සූකර උණ වගේ රෝගයක් ද?

නව කොරෝනාවෛරසය සාර්ස් රෝගයට සමානකම් දක්වන අතර, සූකර උණ මෙන් නොව මෙය දරුණු ශ්වසන රෝග තත්වයක් දක්වා වර්ධනය වේ.

නමුත් මෙය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන්නේ දැයි තවමත් පිළිතුරු නොමැති ගැටලුවකි.

Image copyright Getty Images
Image caption සර්පයන්ගෙන් තනන ලද වයින් වර්ග ද චීනයේ ඉහළ පෙළේ ආපන ශාලාවල කෑම ලයිස්තුවේ පවතී

සාර්ස් පැතිරී ගියේ කෙසේද? එය ආරම්භ වූයේ කෙසේද?

වවුලන් තුළ හටගත් සාර්ස් වෛරසය උරුලෑවන්ට වැළඳී ඇති අතර, ඔවුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වී තිබේ.

උරුලෑවන් ස්පර්ශ කිරීමෙන් සමහර පුද්ගලයන්ට සාර්ස් ආසාදනය වී තිබිණි.

නමුත් කැස්ස, කිවිසුම් යැවීමෙන් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට මෙන්ම වෛරසය රැඳී තිබෙන භාණ්ඩ ස්පර්ශකිරීමෙන්ද සාර්ස් රෝගය ආසාදනය විය හැකිය.

වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකි ක්‍රමයක් තිබේද?

පිරිසිදුව සිටීමේ සාමාන්‍ය ක්‍රමවලට වඩා වැඩි යමක් අනුගමනය කිරීම හැර, මේ සඳහා ස්ථීර ඖෂධයක් තවමත් සොයාගෙන නොමැත.

වෛරසය ආසාදිත පුද්ගලයෙකු හමු වූ විට හැකි ඉක්මනින් ඔහු හෝ ඇය අන් අයගෙන් වෙන් කර තැබීමට ක්‍රියා කරන අතර, ඔහු සම්බන්ධතා පැවැත්වූ වෙනත් පුද්ගලයන් ගැන සොයා බැලීමටද වෛද්‍යවරු ක්‍රියා කරති.

වෛරස වැළැක්වීමේ එන්නතක් ගැනීමෙන් ආසාදනය වීම වැළකේ ද?

කොරෝනාවෛරසය පුද්ගලයන්ට ආසාදනය වීම වැළැක්වීමට එවැනි කිසිදු එන්නතකට නොහැකිය. නමුත් එවැනි එන්නතක් නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වමින් සිටිති.

මෙය මින් පෙර මිනිසුන් අතර නොදැකපු වෛරසයක් හේතුවෙන් එය පාලනය කිරීමට වෛද්‍යවරුන්ට බොහෝ දේ පර්යේෂණ පැවැත්වීමට සිදු වේ.

Image copyright BSIP
Image caption වැඩිහිටි පුද්ගලයන්, දියවැඩියාවෙන්, පිළිකා සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට කොරෝනාවෛරසයෙන් වැඩි හානියක් වීමේ අවදානමක් පවතී

කොරෝනාවෛරසයේ ආයු කාලය කොපමණද?

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි දින දහයත් දෙකත් ඇතුළත ආසාදිත පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේ අවදානම පවතියි.

නමුත් ඉදිරියේ දී ලැබෙන දත්ත අනුව මෙම ඇස්තමේන්තු කිරීම් වෙනස් විය හැකිය.

වෛරසයේ ආයු කාලය ගැන දැනුවත් වීම ඉතා වැදගත්ය. එමගින් වෛරසය ආසාදනය වීම වැළැක්වීමේ වඩාත් ඵලදායී ක්‍රම හඳුන්වා දීමට වෛද්‍යවරු සහ සෞඛ්‍ය බලධාරීන්ට ඉඩ ලැබෙනු ඇත.

විශේෂයෙන්ම වඩාත් යෝග්‍ය නිරෝධායන ක්‍රම අනුගමනය කරමින් රෝගියා අන් අයගෙන් වෙන් කර තැබීමට ඔවුන්ට හැකියාව ලැබේ.

කොරෝනාවෛරසය ආසාදනය වූ රෝගීන් සම්පූර්ණ සුව වෙනවාද?

ඔව්. කොරෝනාවෛරසය ආසාදනය වූ රෝගීන් බොහෝදෙනෙකු අත් විඳ ඇත්තේ සුළු රෝග ලක්ෂණ පමණි.

ඒ අතර, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ ශ්වසන අපහසුතා දක්නට ලැබේ. පුද්ගලයන් බොහෝ දෙනෙකු සම්පූර්ණයෙන් සුව වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

නමුත්, වැඩිහිටි පුද්ගලයන්, දියවැඩියාවෙන්, පිළිකා සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට කොරෝනාවෛරසයෙන් වැඩි හානියක් වීමේ අවදානමක් තිබේ.

කොරෝනාවෛරසය වැළඳීමෙන් සඳුදා (පෙබරවාරි 03) වන විට 361 දෙනෙකු මියගොස් ඇති අතර 17,000කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. චීනයෙන් පිටත 150කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී තිබේ. චීනයෙන් පිටත වාර්තා වී තිබෙන්නේ එක් මරණයක් පමණි. ඒ, පිලිපීනයේය.

කොරෝනාවෛරසයේ බලපෑමෙන් ඇතිවන සුළු රෝගී තත්වයන් සුව අතට හැරීමට සතියක පමණ කාලයක් ගතවන බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

Image copyright Getty Images
Image caption සංචාරය කිරීමට පෙර නවතම උපදෙස් සහ සීමා පිළිබඳ සොයාබැලීම ඔබේ වගකීමකි

මේ කාලය තුළ චීනයේ සංචාරයක නිරත වීම සුදුසුද?

ජාත්‍යන්තර සංචාරයට අනවශ්‍ය ලෙස සීමා පැනවීමෙන් තොරව රෝගය එක් රටකින් තවත් රටකට ව්‍යාප්ත වීම වැළැක්විය යුතු බව දැනට ලැබී ඇති දත්ත මත ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබා දී ඇත.

කෙසේනමුත්, මේ වන විටත් රටවල් කීපයක් සංචාරක සීමා පනවා තිබේ.

සංචාරය කිරීමට පෙර නවතම උපදෙස් සහ සීමා පිළිබඳ සොයා බැලීම ඔබේ වගකීමකි.

2019 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ චීනයේ සංචාරය කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී තිබිය හැකිද?

කොරෝනාවෛරසය ආසාදිත පුද්ගලයන් ප්‍රථම වතාවට හඳුනාගත්තේ 2019 දෙසැම්බර් මස චීනයේ වූහාන් නගරයෙනි.

ඊට පෙර වෛරසය ආසාදනය වූ බව සැකකරන පුද්ගලයන් ගැන වාර්තා වී නොමැත.

වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට රෝග ලක්ෂණ මතු වීම දින 1 සිය 14 දක්වා කාලය තුළ සිදුවිය හැකිය.

මෙය මිනිස් ශරීරයට ආසාදනය වූයේ කෙසේදැයි තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත.

කෙසේනමුත්, මෙය සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන බව විශේෂඥයෝ පවසති.

Image copyright Getty Images
Image caption පිරිසිදුව සිටීමේ සාමාන්‍ය ක්‍රමවලට වඩා වැඩි යමක් අනුගමනය කිරීම හැර, මේ සඳහා ස්ථීර ඖෂධයක් තවමත් සොයාගෙන නොමැත

වෛරස්වලින් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු පියවර කිහිපයක්

ශ්වසන රෝග සඳහා භාවිත කරන ආරක්ෂිත ක්‍රමවේද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ද පිළිපැදිය හැකි බව වෛද්‍යවරු පවසති. අතර ඒ සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක පහත දක්වා ඇත.

  • නිතරම තම දෑත් සබන් ගා සෝදා ගත යුතු අතර මෙය පොදු ස්ථානයක සිටී නම් කළ යුතුමය. සබන් වෙනුවට දෑත් පිරිසිදු කරන වෙනත් ආදේශක වුවද භාවිත කළ හැකිය.
  • කසින විට සහ කිවිසුම් පිට කරන විට ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් මුව සහ නාසය වසාගැනීම සඳහා භාවිත කළ යුතුය. ටිෂූ කඩදාසි භාවිතයෙන් පසු ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය. කසින විට සහ කිවිසින විට වැලමිට නවා මුව සහ නාසය ආවරණය වන පරිදි එය කළ යුතුය.
  • සෑම විටම ශ්වසන රෝගීන් ඇසුරෙන් ඉවත් වී සිටිය යුතු අතර පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැළකී සිටිය යුතුය.
  • ශ්වසන රෝග ලක්ෂණ පහළ වූයේ නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබාගත යුතුය.
  • මස්, මාළු ආහාරයට ගැනීමේදී හොඳින් පිසින ලද ඒවා ගත යුතුය.
  • වන සතුන්ගෙන් හෝ සත්ව ගොවිපළවල සේවය කරන්නේ නම් රෝගී සත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය. මියගිය සතුන් පරිභෝජනයට නොගත යුතුය.

මේ තොරතුරුද කියවන්න: