කොරෝනාවෛරසයට බිලි වූවන් සංඛ්‍යාව සාර්ස් මරණ සංඛ්‍යාව ඉක්මවයි

A woman wears a mask as she passes a propaganda mural in Beijing, China. Photo: 8 February 2020 Image copyright Getty Images
Image caption නව කොරෝනාවෛරසය ආසාදිත 40,000කට අධික පිරිසක් හඳුනා ගෙන ඇත

කොරෝනාවෛරසය හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 2003 වසරේ සාර්ස් වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉක්මවා තිබේ.

නව කොරෝනාවෛරසයේ කේන්ද්‍රය වන චීනයේ පමණක් මේ වන විට මරණ 908 ක් වාර්තා වෙතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

2003 වසරේදී පැතිර ගිය සාර්ස් වසංගතය හේතුවෙන් රටවල් විස්සකට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් 774 ක් මරණයට පත් වූහ.

නව කොරෝනාවෛරසය අසාදිත සංඛ්‍යාව මේ වන විට 40,100 ඉක්මවන අතර ඉන් අතිබහුතරය වාර්තා වන්නේ, චීනයෙනි.

නව කොරෝනාවෛරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි මස කටයුතු කළේය.

කොරෝනාවෛරසය සම්බන්ධයෙන් අලුත්ම තත්ත්වය

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
වූහාන් සිට TikTok ඔස්සේ අත්දැකීම් බෙදා ගත් ඔස්ට්‍රේලියානුවා

2019-nCov ලෙස නම් කර ඇති නව කොරෝනාවෛරසය පළමුව වාර්තා වූයේ හූබෙයි පළාතේ අගනුවර වන වූහාන් නගරයෙනි. වසංගතය හමුවේ වූහාන් නගරය සති ගණනාවක් පුරා අකර්මණ්‍ය වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් අධානම් ගේබ්‍රියෙසස් සෙනසුරාදා කියා සිටියේ වෛරසය තවමත් හූබෙයි පළාත තුළ පවතින අතර පසුගිය දින කිහිපය තුළ රෝගීන් සංඛ්‍යාවේ සුළු ස්ථාවර මට්ටමක් පෙන්නුම් කරන බවය.

බොහෝ විට වසංගතවල පැතිර යාමේ වේගය යළි වැඩි වීමට පෙර, වේගයේ යම් කිසි අඩුවක් දක්නට හැකි බැවින් නව කොරෝනාවෛරසය ස්ථාවර මට්ටමක නැවතී තිබේ ද, නැද්ද යන්න කීමට තවමත් කල් වැඩි බව ඔහු කියා සිටියේය.

නමුත් වෛරසය පැතිර යාමේ වේගය මදක් අඩුවීම එය මර්දනය කිරීම සඳහා "අවස්ථාවක් වනු ඇති" බව ඔහු පැවසීය.

මාර්තු 01 වන දා වන තුරුවත් හූබෙයි පළාතේ පාසල් වසා තැබෙනු ඇති බව චීනයේ රජයේ මාධ්‍ය ඉරිදා වාර්තා කළේය.

Image copyright EPA
Image caption දින ගණනාවක නිරෝධායනයකින් පසු සංචාරකයෝ 'ද වර්ල්ඩ් ඩ්‍රීම්' නෞකාවෙන් පිටව ගියහ

මේ අතර හොංකොංහි නැංගුරම් ලූ නිරෝධායනයට ලක් කළ සුඛෝපභෝගී සංචාරක නෞකාවක මගීන්ට ඉන් ගොඩබැසීමට අවසර ලැබිණි. ඒ, මගීන් හෝ නෞකාවේ කාර්ය මණ්ඩලයට වෛරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමෙන් අනතුරුවය.

'ද වර්ල්ඩ් ඩ්‍රීම්' සංචාරක නෞකාව වෙන ම රඳවා ගැනුණේ එහි මීට පෙර යාත්‍රා කළ මගීන් අට දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමගය.

චීනයේ ප්‍රධාන භූමියේ සිට පැමිණෙන ඕනෑ ම පුද්ගලයෙකු අනිවාර්යයෙන් සති දෙකක නිරෝධායනයකට ලක් කිරීමේ වැඩසටහනක් වෙන ම පරිපාලන කලාපයක් වශයෙන් පවතින හොංකොං සෙනසුරාදා හඳුන්වා දිණි. ඒ අනුව සංචාරකයන් ඔවුන්ගේ හෝටල් කාමර තුළ හෝ ආණ්ඩුවෙන් පාලනය කෙරෙන මධ්‍යස්ථාන තුළ හුදෙකලාව රැඳී සිටිය යුතු අතර හොංකොං වාසීන් සිය නිවාස තුළ ම රැඳී සිටිය යුතුය.

එම නීතිය කඩ කරන්නන් දඩයකට හෝ සිර දඬුවමකට යටත් කරනු ඇත. හොංකොං දූපතෙන් මේ දක්වා කොරෝනාවෛරස් රෝගීන් 26 ක් හඳුනා ගෙන ඇත.

කොරෝනාවෛරසය ආසාදිත හැට හැවිරිදි ඇමරිකානු ජාතිකයෙකු බ්‍රහස්පතින්දා වූහාන්හි රෝහලකදී මරණයට පත් විය. වෛරසය හේතුවෙන් මරණයට පත්, චීන ජාතිකයෙකු නොවන පළමු රෝගියා එම පුද්ගලයාය.

සෙනසුරාදා වන විට සිය ඕට්-සව්වා කලාපයෙන් නව හැවිරිදි පිරිමි දරුවෙකු ඇතුළු තවත් රෝගීන් පස් දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ප්‍රංශය තහවුරු කළේය. ඒ අනුව මේ දක්වා ප්‍රංශයෙන් කොරෝනාවෛරස් ආසාදිත 11 දෙනෙකු හඳුනා ගෙන ඇත.

ප්‍රංශයේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යවරිය කියා සිටියේ අලුතින් හඳුනා ගත් පස් දෙනා ම එක ම ස්ථානයක නවාතැන් ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන් බවය. සිංගප්පූරුවට ගොස් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ද එහි නවාතැන් ගෙන ඇති බව අමාත්‍යවරිය සඳහන් කළේය. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොමැති බව පැවසේ. එම ස්ථානයේ නවාතැන් ගත් තවත් හය දෙනෙක් නිරීක්ෂණය යටතේ පසු වෙති.

Image copyright EPA
Image caption වෛද්‍ය ලී වෙන් ලියැන්ග්ගේ මරණය සම්බන්ධයෙන් විශාල වශයෙන් කණගාටුව සහ කෝපය පළ වේ

මේ අතර, ම කොරෝනාවෛරසය පැතිර යාම පිළිබඳ කල් තියා අනතුරු ඇඟවීමට උත්සහ කළ චීන වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් චීනය තුළ විශාල වශයෙන් කනගාටුව සහ කෝපය පළ වේ.

වූහාන් මධ්‍යම රෝහලේ අක්ෂි විශේෂඥයෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය ලී වෙන් ලියැන්ග් කොරෝනාවෛරසය සම්බන්ධයෙන් දෙසැම්බර් 30 වන දා සෙසු වෛද්‍යවරුන්ට අනතුරු අඟවා තිබිණි.

ඒ සමග පොලිසිය ඔහුට නිශ්ශබ්දව සිටින ලෙස දැන්වා ඇත්තේ බලධාරීන් වෛරසය පිළිබඳ පුවත මහජනයාගෙන් සඟවා තැබීමට උත්සහ කරමින් සිටින පසුබිමකදීය.

වූහාන්හි රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනය වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර