ලොව පුරා "දරුවන්ගේ අනාගතය අනතුරේ" - විශේෂඥයෝ පවසති

Unsafe future of children Image copyright Getty Images

දරුවෙකුට නිරෝගී ලෙස හැදී වැඩීමේ අවස්ථාව සහ ඔවුන්ගේ අනාගතයට සුදුසු පරිසරයක් ලබා දීමට කිසිදු රටක් සමත් වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

දේශගුණික විපර්යාස, හානිකර වෙළෙඳ දැන්වීම් ඔස්සේ ප්‍රචාරය කරන ක්ෂණික ආහාර පරිභෝජනය සහ අඩු වයසින් මත්පැන් පානය කිරීම හේතුවෙන් දරුවන් අවදානමට පත්ව ඇතැයි විශේෂඥයෝ පවසති.

කෙසේනමුත්, දරුවන්ගේ යහපැවැත්ම සහ කාබන් විමෝචනය අවම කිරීමට මේ වන විට ක්‍රියාත්මක වී ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ද නම් කර ඇත.

අධ්‍යාපනය, පෝෂණය සහ ළමා මරණ සංඛ්‍යාව වැනි කාරණා සැලකිල්ලට ගෙන සෞඛ්‍ය සහ යහපැවැත්ම පවත්වාගෙන දරුවෙකුට "සමෘද්ධිමත්" දිවි පෙවතක් ගත කිරීමේ හැකියාව අනුව රටවල් 180 ශ්‍රේණිගත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සහ ලැන්සෙට් කොමිසම එක්ව ක්‍රියා කර තිබේ.

රටවල කාබන් විමෝචන මට්ටම් අනුව ද ශ්‍රේණිගත කිරීම් සිදු කර තිබේ.

Image copyright THE LANCET

ලොව පුරා රටවල ආණ්ඩු විසින් විප්ලවීය වෙනස්කම් සිදු නොකරන්නේ නම්, පසුගිය දශක දෙක තුළ අත් කරගත් ප්‍රගතිය "ආපසු හැරෙනු" ඇතැයි ළමා සෞඛ්‍ය විශේෂඥයන් හතළිස්‌ දෙනෙකු පමණ අනතුරු අඟවා ඇත.

"ලොව පුරා සිටින සෑම දරුවෙකුටම මේ වන විට දේශගුණික විපර්යාස සහ වාණිජමය තර්ජනවල බලපෑම්වලට මුහුණ දීමට සිදු වී තිබෙනවා" යැයි මෙම කොමිසමේ සම සභාපතිත්වය දරණ නවසීලන්තයේ හිටපු අගමැතිනි හෙලන් ක්ලාක් පැවසුවාය..

"අනාගතයේ දී ඔවුන්ට උරුම වන ලෝකය ආරක්ෂා කිරීම සඳහා රටවල් ළමා සහ නව යෞවනයන්ගේ සෞඛ්‍යය පිළිබඳ ක්‍රියාමාර්ග නැවත සකස් කළ යුතුයි."

වර්තමාන ප්‍රක්ෂේපනවලට අනුකූලව 2100 වර්ෂය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක හතරකින් ඉහළ යා හැකි අතර, එයින් අනාගත පරපුරට "විනාශකාරී සෞඛ්‍ය ප්‍රතිවිපාකවලට" මුහුණ දීමට සිදු වෙනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති. සාගර මට්ටම ඉහළ යාම, තාප තරංග, දැඩි මන්දපෝෂණය සහ මැලේරියාව වැනි බෝවන රෝග ඉහළ යෑම ඉදිරියේ දී සිදු විය හැකිය.

Image copyright Getty Images

"බිලියන දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන්නේ මානුෂීය අර්බුද,ගැටුම්, ස්වාභාවික විපත් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සංවර්ධනයට බාධා ඇති වී තිබෙන රටවලයි," කොමිසමේ සම සභාපතිත්වය දරන සෙනෙගාල්හි අමාත්‍ය ආවා කොල්-සෙක් පැවසීය.

ලෝකයේ අඩු ආදායම්ලාභී රටවල හරිතාගාර වායු විමෝචනය අවම මට්ටමක පැවතියද දේශගුණික විපර්යාසවල සෘණාත්මක බලපෑම්වලට එම රටවල් ලක්වන බව පෙනෙන්නට තිබේ.

"දරුවන්ගේ වර්තමාන යහපැවැත්ම සඳහා ජාතික වශයෙන් සිදු කරන ක්‍රියාකාරකම්, ගෝලීය වශයෙන් අන් දරුවන්ගේ අනාගතය බිඳ දැමීම හරහා කළ යුතු නැහැ" යනුවෙන් කොල්-සෙක් පැවසුවේය.

සාගින්න, දුප්පත්කම සහ දේශගුණික ක්‍රියාමාර්ග ඇතුළු තිරසර සංවර්ධන ඉලක්ක 17ක් සඳහා 2015 දී ලෝකයේ රටවල් එකඟ වූ නමුත්, වසර පහක් ගත වී ඇතත් තවමත් සැලකිය යුතු ප්‍රගතියක් ලබා නොමැත.

එක්සත් රාජධානියේ නීතිය අනුව 2050 වන විට කාබන් විමෝචනය මුළුමනින්ම පාහේ නතර කෙරෙනු ඇති අතර, යම් ප්‍රමාණයක් ඉතිරි වුවහොත් එය ශාක රෝපණය වැනි ක්‍රියාකාරකම් මගින් වළක්වා ගැනීමට අපේක්ෂා කෙරේ.

කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ඉලක්ක කරා ළඟා වීම සඳහා නව පෙට්‍රල්, ඩීසල් හෝ දෙමුහුන් මෝටර් රථ අලෙවිය සැලසුම් සහගත ලෙස තහනම් කිරීමේ දින වකවානු 2040 සිට 2035 දක්වා ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුව ගත් පියවර මේ මස මුලදී එම කර්මාන්ත ක්ෂේත්‍රය තුළ කැළඹීමක් ඇති කිරීමට ද හේතුවිය.

කෙසේ වෙතත්, දරුවන්ගේ යහපැවැත්ම සහ සෞඛ්‍ය යන කාරණාවල දී ලෝකයේ හොඳම රටවල් දහය අතර සිටියත්, අනාගත පරපුර සඳහා දේශගුණික වශයෙන් යෝග්‍ය පරිසරයක් සැපයීමේ රටවල් අතර එක්සත් රාජධානියට හිමි වී ඇත්තේ 133 වෙනි ස්ථානයයි.

එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව ද දරුණුතම කාබන් විමෝචකයන් අතර සිටිති.

'කොල්ලකාරී අලෙවිකරණය'

හානිකර අලෙවිකරණයෙන් දරුවන්ට ඇති වී තිබෙන තර්ජනය ගැන ද වාර්තාවේ අවධාරණය කර ඇත.

මත්පැන්, පිටි සහිත ක්ෂණික ආහාර සහ අධික සීනි සහිත සිසිල් බීම ඇතුළු වසරකට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් 30,000කට පමණ මේ දරුවෝ නිරාවරණය වෙති.

Image copyright Getty Images

ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් අතර සමාජ මාධ්‍ය භාවිතය දැඩි ලෙස ඉහළ යෑම හේතුවෙන් "කොල්ලකාරී අලෙවිකරණය" වෙන කවරදාටත් වඩා අනතුරක් බවට පත් වී ඇතැයි කොමිෂන් සභාවේ සාමාජික ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි ගෝලීය සෞඛ්‍ය හා තිරසරභාවය පිළිබඳ මහාචාර්ය ඇන්තනි කොස්ටෙලෝ අනතුරු ඇඟවීය.

"අපගේ දරුවන් ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය වෙළෙඳ දැන්වීම් ගැන අපට කරුණු හා සංඛ්‍යා දත්ත ලැබී තිබෙනවා" යැයි ඔහු පැවසුවේය.

2019 දී එළිදැක්වූ වාර්තාවක ඇස්තමේන්තු කර ඇති පරිදි ලෝකයේ ළමුන් සහ වැඩිහිටියන් බිලියන 2.3 කට ආසන්න ප්‍රමාණයක් අධික බරින් යුක්ත වන අතර, ළමුන් මිලියන 150 කට වැඩි ප්‍රමාණයකගේ වර්ධනය අඩාල වී තිබේ.

ළමා සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සාධාරණ ලෙස ක්‍රියා කරමින්, 2030 වන විට කාබන් විමෝචනය අවම කිරීමේ ඉලක්ක කරා ළඟාවීමේ මාවතේ යන රටවල් වන්නේ ශ්‍රී ලංකාව, ඇල්බේනියාව, ආර්මේනියාව, ග්‍රෙනාඩා, ජෝර්දානය, මෝල්ඩෝවා,ටියුනීසියාව, උරුගුවේ සහ වියට්නාමයයි.

දරුවන් වෙනුවෙන් පෙනී සිටින ගෝලීය ව්‍යාපාරයක් සඳහා ඉල්ලීමක් කරමින් ඒ සඳහා නිර්දේශ කීපයක් වාර්තාවේ එළිදක්වා තිබේ.

  • මෙම පෘථිවිය තුළ දරුවන්ට අනාගතයක් ඇති බව සහතික කිරීම සඳහා කාබන් විමෝචනය ඉතා ඉක්මණින් නතර කළ යුතුයි.
  • තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා අප දරන උත්සාහයේ කේන්ද්‍රය ලෙස සැලකිය යුත්තේ දරුවන් සහ නව යෞවනයන්ය.
  • ළමා සෞඛ්‍ය හා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා සියලු අංශවල නව ප්‍රතිපත්ති සහ ආයෝජන ඇති කළ යුතුය.
  • ප්‍රතිපත්තිමය තීරණ වලට දරුවන්ගේ අදහස් ද ඇතුළත් කළ යුතුය.
  • හානිකර වාණිජ අලෙවිකරණය සම්බන්ධයෙන් ජාතික නියාමනය දැඩි කිරීම සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට නව විකල්ප ලේඛනයක සහය ලබා ගැනීම.

"මෙය දරුවන් සහ නව යෞවනයන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් බිහි වුණ නව යුගයක උපත ලෙස හඳුන්වනවා. එය අපේ පරම්පරාව සිදු කරන උත්තරීතරම පරීක්ෂණයයි," ලැන්සෙට්හි ප්‍රධාන කර්තෘ ආචාර්ය රිචඩ් හෝර්ටන් පැවසීය.

මේ තොරතුරුද කියවන්න: