ගුරු - ගෝල පෙම් සබඳතා තහනම් කළ සරසවියක්

ලන්ඩනයේ පිහිටි University College London (UCL) විශ්වවිද්‍යාලය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ලන්ඩනයේ පිහිටි University College London (UCL) විශ්වවිද්‍යාලය

ගුරු - ගෝල පෙම් සබඳතා තහනම් කිරීමට එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් පියවර ගෙන තිබේ.

ලන්ඩනයේ පිහිටි University College London (UCL) නමැති විශ්වවිද්‍යාලය ගෙන ඇති මෙම පියවර ක්‍රියාධාරයන්ගේ පැසසුමට ද ලක් වී ඇත.

ඔවුන් කියා සිටින්නේ මෙය "අන් අයගේ ද ඇස් අරවන" පියවරක් බවය.

මෙම ප්‍රතිපත්තිය බලාත්මක කිරීම සඳහා අනෙකුත් විශ්වවිද්‍යාල ද පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශිෂ්‍ය සංගම් පවසති.

එක්සත් රාජධානියේ රසල් ගෘප් ශ්‍රේණිගත කිරීමට අනුව ඉහළින් ම සිටින සරසවි 24ට අයත් විශ්වවිද්‍යාලයක් විසින් මෙවැනි පියවරක් ගනු ලැබූ ප්‍රථම වතාව ලෙස UCL වාර්තාගත වනු ඇත.

UCL විශ්වවිද්‍යාලය සඳහන් කර ඇත්තේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සහ ලිංගික විෂමාචාර වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බවය.

පෞද්ගලික සබඳතා පිළිබඳ මෙම ප්‍රතිපත්ති මාලාවට ආචාර්ය මණ්ඩලය පමණක් නොව විශ්වවිද්‍යාලයේ සියළු කාර්ය මණ්ඩලය අත්සන් තැබිය යුතුය.

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යයන කටයුතුවලට සෘජු අධීක්ෂණයක් නොකරන යම් සේවකයෙකු හෝ සේවිකාවක විසින් සිසුවෙකු හෝ සිසුවියක සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන යනු ලබන්නේ නම් එය ද විශ්වවිද්‍යාල පරිපාලනයට කල් තියා හෙළිදරව් කළ යුතුය.

"පබ් එකේදී හමුවෙමු කියල එයා මට කිව්වා"

තම සරසවි දිවිය තුළ ලත් අත්දැකීමක් විස්තර කිරීමට තරුණියක් ඉදිරිපත් වුවාය. ඇය එමා ලෙසින් හඳුන්වමු. ඇය UCL විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යාවක නොවේ.

සිය ශාස්ත්‍රීය නිබන්ධනය අධීක්ෂණය කරමින් සිටි ආචාර්යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ඇය මෙසේ පැවසුවාය.

"අපේ හමුවීම් ඔහු සැලකුවේ පෙම්වතුන්ගේ හමුවීමක් වගේ. මට ඔහුව හමුවෙන්න සිද්ධ වුණේ පබ් එකේදී. කාර්යාලයේ දී නොවෙයි. වේදිකා නාට්‍ය බලන්න යන්න අහනවා. අවසානයේ දී එයා හිතාගෙන හිටියේ අපි එකිනෙකා කෙරෙහි හැඟීමක් පවතින දෙන්නෙක් කියල."

ඇයගේ ශාස්ත්‍රීය නිබන්ධනය නැවත ඇය වෙත භාරදීම සඳහා පැමිණ හමුවන ලෙස අධීක්ෂක ආචාර්යවරයා දන්වා තිබුණි. ඇය ඒ සඳහා එකඟ වූයේ තමන්ට සුබ පැතීම ඔහුගේ අරමුණ වන්නට ඇතැයි සිතූ බැවිනි.

"සුබ පතනවා වෙනුවට එයා මාව පබ් එකට අරන් ගියා. එයා මගේ අතින් අල්ලාගෙන හැසිරුනේ මගේ පෙම්වතා වගේ. අනවශ්‍ය කතා කියන්න ගත්ත." එමා පැවසුවාය.

එවකට එමා විසි හැවිරිදි වුවාය. අද ඇය පවසන්නේ සමීප ඇසුරුකිරීම් පිළිබඳව විශ්වවිද්‍යාලය තුළ යම් ප්‍රතිපත්තියක් හෝ තහනමක් තිබුනේ නම් ඒ පිළිබඳව පවසා එවැනි හමුවකට එකඟ නොවී සිටින්නට තමන්ට හැකියාවක් ලැබෙන බවය.