ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ඉන්දීය නිල සංචාරය

Image copyright Getty Images

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවේ සිදු කරන සිය පළමු නිල සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගිත්වයෙන් පැවති දැවැන්ත මහජන රැළියක් ඇමතීය.

ඇමරිකානු ජනාධිපතිවරයා "නමස්තේ" යැයි පවසමින් කතාව ආරම්භ කළ විට අති විශාල අත්පොළසන් නාදයක් ඇසිණි. ඉන්දීය ඉතිහාසයේ වැදගත් චරිත මෙන්ම, ක්‍රිකට් සහ බොලිවුඩ් ගැන ඔහු සිය කතාවේ සඳහන් කළේය.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන් ප්‍රාන්තය වන ගුජරාටයේ මොටෙරා ක්‍රීඩාංගණයේ දී මෙම උත්සවය පැවැත්විණි.

ට්‍රම්ප්ගේ මෙම සංචාරයේ දී ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර සබඳතා තර කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.

"ඉන්දියාව සෑම විටම අපගේ හදවත් තුළ ඉතා සුවිශේෂී ස්ථානයක රැඳී තිබෙනවා," ට්‍රම්ප් පැවසීය.

අගමැති මෝදි ට ප්‍රශංසා කරමින් ඔහු පැවසුවේ, "සෑම කෙනෙකුම ඔහුට ආදරෙයි, නමුත් මම ඔබට දෙයක් කියන්නම්, ඔහු ඉතා දැඩි පුද්ගලයෙක්. ඔබ ගුජරාටයේ ආඩම්බරය පමණක් නොවේ, වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ඉන්දියානුවන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි බවට ජීවමාන සාක්ෂිය ඔබයි," යනුවෙනි.

කෙසේ වෙතත්, ඔහුට ඉන්දීය වචන කීපයක් උච්ඡාරණය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. එම අවස්ථාවේ ඔහු සිටි නගරය වන අහමදාබාද් මෙන්ම, මෝදි බොහෝ සේ අගය කරන ඉන්දීය දාර්ශනිකයෙකු වන ස්වාමි විවේකානන්ද යන නම් කියවීම අපහසු විය. පුරාණ වේද හින්දු ග්‍රන්ථ ඔහු හැඳින්වූයේ "වෙස්ටාස්" යනුවෙනි.

ඔහු සිය කතාව අවසන් කළේ, "දෙවියන් ඉන්දියාවට ආශීර්වාද කරත්වා, දෙවියන් ඇමරිකා එක්සත් ජනපදයට ආශීර්වාද කරත්වා. අපි ඔබට ආදරෙයි, අපි ඔබට බොහෝ සේ ආදරෙයි" යැයි පවසමිනි.

Image copyright Getty Images

අගමැති මෝදිට පසු ජනාධිපති ට්‍රම්ප් සිය කතාව පැවැත්වූ අතර, බීබීසී වාර්තාකාරිය රාජිනී වෛද්‍යනාදන් පවසන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ කතාව අතරතුර පැමිණ සිටි පිරිස පිටත් වීම ආරම්භ කළ බවය.

ට්‍රම්ප්ගේ සංචාරය සිදුවන්නේ මෝදි වාසිදායක අවස්ථාවකය. මෑතක දී මෝදි ප්‍රමුඛ ඉන්දීය ආණ්ඩුවේ මතභේදාත්මක තීරණ අවධානයට ලක්ව තිබිණි.

ඇතැම් රටවලින් පැමිණෙන මුස්ලිම් නොවන සංක්‍රමණිකයින්ට රැකවරණය ලබා දීමේ නව පුරවැසි නීතියක් ඉන්දියාව දෙසැම්බර් මාසයේදී සම්මත කළේය. මෙය රට පුරා දැවැන්ත විරෝධතාවලට තුඩු දුන් අතර, ඉන්දියාවේ මිලියන 200 කට අධික මුස්ලිම් ජනතාව වෙනස් කොට සැලකීම ගැන විවේචකයෝ රජයට චෝදනා කළහ. නමුත් රජය ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

සඳුදා ට්‍රම්ප්ගේ සංචාරයට පැය කිහිපයකට පෙර ද දිල්ලියේ සමහර ප්‍රදේශවල ගැටුම් වාර්තා විය. පුරවැසි නීතියට විරෝධය දක්වන කණ්ඩායම් සහ ඊට පක්ෂ අය එකිනෙකාට ගල් ප්‍රහාර එල්ල කර ගත් බව පැවසේ.

මෝදි ප්‍රමුඛ රජය ඉන්දීය පාලිත කාශ්මීරය යථා තත්ත්වයට පත් කිරීමට තවමත් උත්සහ කරමින් සිටියි. අදාළ කලාපයේ ස්වයංපාලනය 2019 අගෝස්තු මස දී අර්ධ වශයෙන් අවලංගු කිරීම සහ සන්නිවේදනය අවහිර කිරීමෙන් මුස්ලිම් බහුතරයක් දිවි ගෙවන මෙම නිම්නය තුළ විරෝධතා ඇවිලී ගියේය.

ජංගම දුරකථන සබඳතා සහ අන්තර්ජාලය අර්ධ වශයෙන් යථා තත්වයට පත් කර ඇති නමුත්, ප්‍රාන්ත රාජ්‍ය නායකයින් සහ තවත් සිය ගණනක් තවමත් නිවාස අඩස්සියේ සිටිති.

විදෙස් නායකයින් මෙම තීරණ ගැන ඉන්දියාවෙන් ප්‍රශ්න නගන්නට විය.

එහෙත් සඳුදා ගුජරාටයට පැමිණි ට්‍රම්ප් පිළිගැනීම සඳහා මෝදි අති උත්කර්ෂවත් උත්සවයක් සංවිධානය කර තිබිණි. ක්‍රීඩාංගණය වෙත යන අතර මාර්ගයේ පෙළ ගැසී සිටි ජනතාව ඔහුට සුබ පතනු දක්නට ලැබිණි. ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලින් පැමිණි රංගන ශිල්පීන් මෙහි දී රැඟුම් එළිදැක්වූහ.

Image copyright Getty Images

මොටෙරා ක්‍රීඩාංගණයට යන මාර්ගය දෙපස දැන්වීම් පුවරුවල "දැවැන්ත පුද්ගලයන් දෙදෙනෙක්, එක් වැදගත් අවස්ථාවක්" වැනි දෑ සටහන් කර තිබිණි.

පසුගිය වසරේ 50,000 ක සහභාගීත්වයෙන් ට්‍රම්ප් සහ මෝදි අතර යූස්ටන් නුවර පැවති උත්සවයට මෙය සමාන කර ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප්, ගුජරාටයේ උපත ලැබූ ඉන්දීය නිදහස් සටනේ නායක මහත්මා ගාන්ධි වසර 13 ක් දිවි ගෙවූ සබාර්මතී ආශ්‍රමයේ ද කෙටි වේලාවක් ගත කළේය.

ඔහු සහ ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් රෙදි වියන යන්ත්‍රයක් ද ක්‍රියාත්මක කර බැලූහ. නිදහස් ව්‍යාපාරයේ කොටසක් ලෙස, ආනයනය කරන රෙදි වෙනුවට දේශීය රෙදි නිෂ්පාදනය ගාන්ධි ඉන්දියාවේ ප්‍රචාරය කළේය.

කෙසේනමුත්, මෙතෙක් කතා බහට ලක් වූ වෙළෙඳ ගනුදෙනු පිළිබඳ සාකච්ඡා පැවැත්වේ ද යන්න ගැන තවමත් ඉඟියක් ලැබී නොමැත.

එක්සත් ජනපදය ඉන්දියාවේ වැදගත්ම වෙළෙඳ හවුල්කරුවෙකු වන අතර 2018 දී ද්විපාර්ශ්වික වෙළෙඳාම ඩොලර් බිලියන 142.6ක් විය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ බිරිඳ "ප්‍රේමයේ සංකේතය" ලෙසින් හැඳින්වෙන ටජ් මහල් මන්දිරය ද නැරඹුහ.