කොරෝනා වෛරසය කෙතරම් මාරාන්තිකද?

Image copyright Getty Image

එක්සත් රාජධානියේ රජයේ වෛද්‍ය උපදේශකවරුන් විශ්වාස කරන්නේ නව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්විය හැක්කේ 0.5% ත් 1%ත් අතර ප්‍රමාණයක් පමණක් බවය.

මෙම අගය දැනට තහවුරු වී ඇති ආසාදිතයන්ගෙන් මරණයට පත්වූ ප්‍රතිශතයට වඩා අඩු අගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ ලොව පුරා ආසාදිතයන්ගෙන් 4%ක් මරණයට පත් වී ඇති බවය. මාර්තු 23 වනදා වන විට එක්සත් රාජධානිය තුළ මරණ ප්‍රතිශතය 5%ක් විය.

මීට හේතුව එක්සත් රාජධානිය තුළ සියලු ආසාදිතයන් පරීක්ෂාවට ලක් කොට තහවුරු නොකිරීමය.

පරීක්ෂාවට ලක් කළ යුත්තේ කවුරුන්ද යන වග තීරණය කිරීමට එක් එක් රටවල් තමන්ගේ නිගමනයන් අනුව කටයුතු කරති. එම නිසා ඒ ඒ රටවලින් වාර්තාවන ආසාදිතයන්ගේ ප්‍රමාණය සහ මරණ ප්‍රතිශතය සංසන්දනය කිරීමේදී වැරදි මගපෙන්වීමක් ලබා දිය හැකිය.

Image copyright Getty Image

මරණ අනුපාතිකය රඳා පවතින තවත් සාධක කිහිපයක් පවතී. ඔබේ වයස, ඔබේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය සහ ඔබට ලැබෙන සෞඛ්‍ය සේවා පහසුකම්වල තත්වය ඉන් කිහිපයකි.

ඔබට පවතින අවදානම කෙතරම් ද?

වයස්ගත සහ අසනීපයෙන් පසුවන පුද්ගලයන්ට නව කොරෝනාවෛරසය වැළඳුනහොත් මරණයට පත්වීමට ඇති සම්භාවිතාව වැඩිය.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තු අනුව වයස අවුරුදු 80ට වැඩි උදවියට පවතින මරණ අවදානම සාමාන්‍ය ප්‍රමාණයට වඩා දස ගුණයකින් ඉහළය. වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට පවතින්නේ ඊට වඩා බොහෝ සෙයින් අඩු අවදානමකි.

වයස්ගත පුද්ගලයන්ට පවතින අවදානම ඉතා ඉහළ වුවත් "වයස්ගත උදවියගෙන් අති විශාල පිරිසකට අඩු හෝ මධ්‍යම ප්‍රමාණයේ රෝග තත්වයන් පෙන්නුම් කරනු ඇති," බව එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය උපදේශක, මහාචාර්ය ක්‍රිස් විටි පවසයි.

නමුත් මෙය තරුණයන් විසින් නොතකා හරිනු ලැබිය යුතු සුළු ආසාදනයක් ලෙස නොසිතිය යුතු යයි ඔහු අනතුරු අඟවන්නේ ඇතැම් තරුණයන්ට පවා අධිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදු වූ බව අවධානයට ලක් කරවමිනි.

ඒ අනුව බලන කල මෙම ආසාදනයේ අවදානම තීරණය වන්නේ වයස මත පමණක් ම නොවේ.

චීනයෙන් වාර්තා වූ පළමු ආසාදිතයන් 44,000කගේ තත්වය විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී ගියේ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ හෘද හෝ ශ්වසන රෝග පවතින උදවියට පවතින අවදානම සාමාන්ය මට්ටම මෙන් අඩු වශයෙන් පස්ගුණයකින් වත් ඉහළ බවය.

මේ සියලුම සාධකයන් මත මෙහි මරණ අනුපාතිකය රඳා පවතින බැවින් එක් එක් රටවලින් වාර්තාවන ආසාදිතයන් හෝ සියලු කාණ්ඩවලට අයත් ආසාදිතයන් කෙරෙහි පවතින මරණ අවදානම පිළිබඳව පූර්ණ නිගමනයකට ඒමට හැකියාවක් නැත.

ආසාදිතයන්ගෙන් වාර්තාවන මරණවල රටාව අනුව වැඩිම අවදානමක් පවතින්නේ කාටද යන්න පැවසිය හැකි නමුත් එය නියත වශයෙන් ම අගයක් ලෙස පැවසිය නොහැකිය.

දැනට තහවුරු වූ ආසාදිතයන්ගෙන් මරණයට පත් වූ සංඛ්‍යාව ගණනය කොට ලබා ගන්නා අගය සැබෑ මරණ අනුපාතිකය ලෙස සැලකිය නොහැක.

සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බොහෝ පුද්ගලයන් වෛද්යවරයෙකු වෙත යොමු නොවන බැවින් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් ලේඛනගත නොවේ.

මාර්තු 17 වනදා වන විට එක්සත් රාජධානියෙන් වාර්තා වී තිබුනේ ආසාදිතයන් 2000ක් පමණි. නමුත් එම අවස්ථාවේ දී එක්සත් රාජධානියේ ප්‍රධාන විද්‍යා උපදේශක ශ්‍රීමත් පැට්රික් වැලන්ස් ගේ තක්සේරුව වූයේ රට තුළ ආසාදිතයන් 55,000ක් පමණ සිටින බවය.

මරණයට පත් වූ සංඛ්‍යාව 55,000න් බෙදූ විට ලැබෙන මරණ අනුපාතිකයට වඩා අතිශයින් වැඩි අගයක් එම මරණ සංඛ්‍යාව 2000න් බෙදූ විට ලැබේ.

සැබෑ මරණ අනුපාතිකය තීරණය කිරීමේ දී මෙම ඇස්තමේන්තු කෙතරම් වැරදි සහගත අගයන් ලබා දෙන්නේද යන්න තහවුරු වන්නේ ලේඛනගත නොවන ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සමාජයේ සිටීම හේතුවෙනි.

රටින් රටට මරණ අනුපාතය වෙනස් වන්නේ අයි?

ආසාදිතයන් සොයා ගැනීම සඳහා එක් එක් රටවල් යොදා ගන්නා ක්‍රමවේදයන් හි පවතින කාර්යක්ෂමතාවය මත එය රඳා පවතින බව ඉම්පීරියල් කොලේජ් සිදු කළ සමීක්ෂණ වර්තාවක දැක වේ.

වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂාව රටින් රටට වෙනස් වේ. ආසාදිතයන් සොයා ගැනීම සඳහා පනවන නීති රටින් රටට වෙනස් ය. මෙම සාධක ද කාලයත් සමඟ වෙනස් වේ.