කොරෝනා වෛරසයට බිලි වූ විසි එක් හැවිරිදි තරුණිය

Image copyright FAMILY PICTURE

කිසිදු සෞඛ්‍ය අවදානමක් නොතිබුණු 21 හැවිරිදි තරුණියක කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගිය බව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි.

බකිම්හැම්ශයර් ප්‍රාන්තයේ පදිංචි ක්ලෝයි මිඩ්ල්ටන් පසුගිය සතියේ මිය ගිය බව අයගේ පවුලේ ඥාතීහු පවසති.

ෆේස්බුක් හි පණිවිඩයක් තබන කිලෝයි ගේ නැන්දණිය පවසන්නේ ඇය කොවිඩ් - 19 නිසා මිය ගිය අතර මෙම වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා "ඔබේ කාර්යභාරය" ඉටු කරන ලෙසය.

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ මෙම වෛරසය වැළඳීම නිසා මිය ගොස් ඇති අයගෙන් බහුතරය වෙනත් සෞඛ්‍ය අවදානම් පෙර සිට පැවති අය බවය.

එම නිසා තරුණ උදවිය මේ පිළිබඳව වැඩි අවධානයක් නොදැක්වීම පිළිබඳව බලධාරීන්ගේ අවධානයට ලක්ව තිබේ.

නමුත් ඉහත කී සටහනේ පැවසෙන්නේ මෙම වෛරසය කෙරෙහි බරපතල අවධානය යොමු කර සියලු වෛද්‍ය මගපෙන්වීම් පිළිපදින ලෙස ක්ලෝයි ගේ පවුලේ සාමාජිකයන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

"කරුණාකර නැවත සිතන්න" යයි ක්ලෝයි ගේ මව වන ඩියාන් මිඩ්ල්ටන් ලියා ඇත.

"මගේ පෞද්ගලික අත්දැකීම අනුවයි මම කියන්නේ. මේ රුදුරු වෛරසය 21 හැවිරිදි මගේ දියණියගේ ජීවිතය බිලි ගත්තා."

ඇයගේ තවත් නන්දනියක වන මිස්ට්‍රි ද ලියා ඇත්තේ "මගේ ලස්සන, කාරුනාවන්ත ලේලිය" කොවිඩ් -19 නිසා මිය ගිය බවය.

"ඇයට මීට පෙර කිසිදු අසනීපයක් තිබුනේ නැහැ." ඇය පවසන්නීය.

"මෙම වෛරසයේ යථාර්ථය අපේ දෑස් ඉදිරියේ දිගහැරෙමින් තිබෙනවා. කරුණාකර ආණ්ඩුවේ මගපෙන්වීම් පිළිපදින්න. ඔබේ යුතුකම කරන්න. ඔබත් රැකෙන්න. අන් අයත් රකින්න. වෛරසය පැතිරෙන්නේ නැහැ. මිනිසා එය පතුරවනවා," මිස්ට්‍රි තවදුරටත් පවසන්නීය.

තරුණ තරුණියන් කලබල විය යුතුද?

ක්ලෝයි ගේ සහෝදරිය ඇමි ලුවිස් පවසන්නේ "මෙම විනාශකාරී තත්වයට බොහෝ මිනිසුන් පත්වන්නට කලින් මේ ගැන බරපතළ ලෙස සිතන්නට," තිබුණු බවය.

පසුගිය සති අන්තයේ කොරෝනාවෛරසය ආසාදනය වීම නිසා බ්‍රිතාන්‍යයේ මිය ගිය 18 හැවිරිදි පුද්ගලයා වෙනත් බරපතළ රෝග තත්වයන්ගෙන් පසු වූ බව වාර්තා කොට තිබුණි.

මෙය කෙතරම් මාරාන්තිකද?

වයස්ගත සහ අසනීපයෙන් පසුවන පුද්ගලයන්ට නව කොරෝනාවෛරසය වැළඳුනහොත් මරණයට පත්වීමට ඇති සම්භාවිතාව වැඩිය.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තු අනුව වයස අවුරුදු 80ට වැඩි උදවියට පවතින මරණ අවදානම සාමාන්‍ය ප්‍රමාණයට වඩා දස ගුණයකින් ඉහළය. වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට පවතින්නේ ඊට වඩා බොහෝ සෙයින් අඩු අවදානමකි.

වයස්ගත පුද්ගලයන්ට පවතින අවදානම ඉතා ඉහළ වුවත් "වයස්ගත උදවියගෙන් අති විශාල පිරිසකට අඩු හෝ මධ්‍යම ප්‍රමාණයේ රෝග තත්වයන් පෙන්නුම් කරනු ඇති," බව එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය උපදේශක, මහාචාර්ය ක්‍රිස් විටි පවසයි.

නමුත් මෙය තරුණයන් විසින් නොතකා හරිනු ලැබිය යුතු සුළු ආසාදනයක් ලෙස නොසිතිය යුතු යයි ඔහු අනතුරු අඟවන්නේ ඇතැම් තරුණයන්ට පවා අධිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදු වූ බව අවධානයට ලක් කරවමිනි.

චීනයෙන් වාර්තා වූ පළමු ආසාදිතයන් 44,000කගේ තත්වය විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී ගියේ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ හෘද හෝ ශ්වසන රෝග පවතින උදවියට පවතින අවදානම සාමාන්‍ය මට්ටම මෙන් අඩු වශයෙන් පස්ගුණයකින් වත් ඉහළ බවය.