කොරෝනා වෛරසය ලොව විශාලතම සරණාගත කඳවුර කොක්ස් බසාර්ටත් ඇතුළුවෙයි

කඳවුර තුළ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් මිලියනයක්

ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,

කඳවුර තුළ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් මිලියනයක්

ලොව විශාලතම සරණාගත කඳවුර වන, බංග්ලාදේශයේ කොක්ස් බසාර් තුළින් කොරෝනාවෛරස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවූ බව එරට බලධාරීහු පවසති.

මෙම සරණාගත කඳවුර තුළ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් මිලියනයක් පමණ වාසය කරන අතර ඔවුන් අතරින් කොරෝනාවෛරස් ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ.

තහවුරු වූ ආසාදිතයන් දෙදෙනා වෙන් කොට තබා ප්‍රතිකාර කරන බව බංග්ලාදේශ බලධාරීහු බීබීසීයට පැවසූහ.

තවත් සරණාගතයන් 1900ක් පමණ පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෙන් කර තබා ඇත.

ලොක්ඩවුන්

කොක්ස් බසාර් කඳවුරේ සිටින සරණාගතයන් පසුගිය මාර්තු මස 14 වැනිදා පටන් ජීවත් වන්නේ ලොක්ඩවුන් නීති රීති යටතේය.

මෙම සරණාගත කඳවුරුවල වෙසෙන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් මියන්මාරයේ සිට බංග්ලාදේශයට පලා ආවේ මියන්මාර හමුදාව ඔවුන් වෙසෙන පෙදෙස්වල මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුවය. එම මෙහෙයුම් ආරම්භ වූයේ 2017 දීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Image

ඡායාරූප ශීර්ෂ වැකිය,

රෝහින්ග්‍යා මුස්ලිම්වරු 750,000ක් දේශසීමාව තරණය කොට බංග්ලාදේශයට පලා ගියහ

මෙහිදී රෝහින්ග්‍යා මුස්ලිම්වරු 750,000ක් දේශසීමාව තරණය කොට බංග්ලාදේශයට පලා ගියහ.

ඒ වන විටත් මියන්මාර සරණාගතයන් ලක්ෂ ගණනක් බංග්ලාදේශයේ සිටියහ.

වසංගතය පැතිර ගියහොත්

කොක්ස් බසාර් කඳවුරේ පවතින තදබදය සහ පිරිසිදු ජලය හිඟ වීම තුළ කොරෝනාවෛරසය පැතිර ගියහොත් ඉන් ඇතිවිය හැකි දරුණු බලපෑම පිළිබඳව අනතුරු ඇඟවීම් සහන ආයතන විසින් සිදු කරනු ලැබ තිබුණි.

මෙම වසංගතය පැතිර ගියහොත් අඩුපහසුකම් සහිත සෞඛ්‍ය සේවාවන්ට එය දරාගත නොහැකි වනු ඇති බවට ආධාර ආයතන බිය පළ කරති.

යථාර්ථය දෙස බැලුවොත්

"දැන් කොරෝනාවෛරසය ලෝකයේ තියෙන විශාලතම සරණාගත කඳවුරට ඇතුල් වෙලා තියෙන්නේ. ඒ අනුව අපට පෙනෙන්නට තියෙන යථාර්ථය දෙස බැලුවොත්, ඉදිරියේ දී දහස් ගණනක් කොවිඩ්-19 රෝගයෙන් මිය යන්නට ඉඩ තියෙනවා," බංග්ලාදේශයේ Save the Children ආයතනයේ, වෛද්‍ය ශාමින් ජහාන් පැවසීය.

"මේ වසංගතය නිසා බංග්ලාදේශය දශක කිහිපයක් ආපස්සට යන්න ඉඩ තියෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Image

ඡායාරූප ශීර්ෂ වැකිය,

වර්ග කිලෝමීටරයක් තුළ රොහින්ග්‍යා සරණාගතයන් 40,000ත් 70,000ත් අතර ප්‍රමාණයක්

කොක්ස් බසාර් හි වර්ග කිලෝමීටරයක් තුළ රොහින්ග්‍යා සරණාගතයන් 40,000ත් 70,000ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බව International Rescue Committee හි බංග්ලාදේශය භාර අධ්‍යක්‍ෂ මනිෂ් අග්‍රවාල් පෙන්වා දුන්නේය.

මෙම කඳවුරු තුළ දැඩි සත්කාර ඒකක පහසුකම් ඇතුළු වෛද්‍ය සේවා සීමා සහිත වීමත්, කඳවුරු තුළ පවතින තදබදය සහිත ජීවන මට්ටම ගැනත් සලකා බැලීමේ දී කොරෝනාවෛරසය ඉක්මනින් පැතිර යා හැකි බවට සහන සේවා ආයතන බිය පළ කර තිබුණි.

පොලිසිය සහ හමුදාව විසින් කොක්ස් බසාර් දිස්ත්‍රික්කයට දිවෙන සියලුම ප්‍රධාන පිවිසුම් මත මාර්ග බාධක දමනු ලැබ ඇති අතර සරණාගත කඳවුරු වටා මුර සංචාර සිදු කරනු ලබයි.

ඉතිහාසය

2017 වසරේදී මියන්මාර් යුද්ධ හමුදාව දියත් කළ මර්දනය හේතුවෙන් රෝහින්ග්‍යා වැසියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූහ.

මියන්මාරය නිරන්තරයෙන් අවධාරණය කළේ, රඛයින් ප්‍රාන්තයේ අන්තවාදී තර්ජනයකට මුහුණ දීම සඳහා තම හමුදා මෙහෙයුම් දියත් කළ බවය.

හේග්හි ජාත්‍යන්තර අධිකරණයේදී සාක්ෂි දෙමින් අවුං සාන් සූචී කියා සිටියේ, මෙම තත්ත්වය රජයේ ආරක්ෂක මුරපොළවලට රෝහින්ග්‍යා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් නිර්මාණය වූ 'අභ්‍යන්තර සන්නද්ධ ගැටුමක්' බවය.

2017 වසර ආරම්භ වෙන විට කලින් බුරුමය ලෙස හැඳින්වුන වත්මන් මියන්මාරයේ දශ ලක්ෂයක් පමණ රෝහින්ග්‍යා ජනතාව වාසය කළ අතර ඔවුන්ගෙන් වැඩිදෙනාගේ වාසභූමිය වුණේ රඛයින් (Rakhine) ප්‍රාන්තයයි.

එම ජනතාව අනවසර සංක්‍රමිකයන් ගණයට ඇතුළත් කරන මියන්මාරය, එම ජනයාට පුරවැසිභාවය පිරිනැමීම ප්‍රතික්ෂේප කරයි.

තමන්ට එරෙහිව සිදු කෙරෙන වධ හිංසාවන් සම්බන්ධයෙන් රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් දීර්ඝ කාලයක සිට පැමිණිලි කරන අතරවාරයේ, 2017 වසරේදී රඛයින් පළාතට දැවැන්ත යුද හමුදා ප්‍රහාරයක් එල්ල විය.

කියවන්න: