කොරෝනා වෛරසය: ජනාධිපති ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව නගන චෝදනා මොනවා ද?

WHO director general Tedros Adhanom Ghebreyesus with Chinese President Xi Jinping

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සහ චීන ජනාධිපතිවරයා

කොරෝනාවෛරස් වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරන ලද ආකාරය දෝෂ දර්ශනයට ලක් කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එම ආයතනයට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සපයනු ලබන ප්‍රදානයන් අත්හිටවීමට පියවර ගත්තේය.

වෛරසය චීනයේ පැතිරයාමත් සමඟ එය පාලනය සඳහා විශේෂයෙන් ම එහි පළමු අදියරේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය කඩිනමින් පියවර නොගත් බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කරයි.

ජනාධිපති ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව නගන ඇතැම් චෝදනා සහ ඒ සම්බන්ධයෙන් එම සංවිධානය විසින් දක්වනු ලබන ප්‍රතිචාරය කෙරෙහි බීබීසීය මැදහත් විමසීමක් කරයි.

එල්ල කරනු ලැබ ඇති ප්‍රමුඛ චෝදනා සහ ප්‍රතිචාර මෙසේ පෙළ ගැසිය හැක.

1. පළමු චෝදනාව

"ලෝක සෞඛ්‍ය සංවිධානය වෛරසය පිළිබඳ තොරතුරු ලද වහා ම නියමිත මොහොතේ විනිවිද පෙනෙන සුලු මට්ටමින් සුපරීක්ෂාකාරීව තත්ත්වය අධීක්ෂණය කොට තොරතුරු හුවමාරු කර නොගැනීම."

එම ප්‍රකාශය ජනාධිපති ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව නිරන්තරයෙන් එල්ල කරන ලද දෝෂාරෝපණයේ ප්‍රධාන තේමාවයි.

ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් (Dr Tedros Adhanom Ghebreyesus) වෙත පසුගිය මැයි 18 වන දා යවන ලද ලිපිය මගින් එම කරුණ යළිත් අවධාරණය කර ඇති අතර, 2019 දෙසැම්බර් මාසය ආරම්භයේ හෝ ඊටත් පෙර චීනයේ වුහාන් නගරයෙන් Covid 19 වෛරසය පැතිරයාම සැල වූ වහා ම ලද විශ්වසනීය තොරතුරු දිගින් දිගට ම නොතකා හැර ඇති බවට එම සංවිධානයට චෝදනා කළේය.

එම කරුණු ඉදිරිපත් කිරීමේදී ජනාධිපති ට්‍රම්ප් විසින් වෛද්‍ය විද්‍යාත්මක ගවේෂණ පිළිබඳ වාර්තා සහ තොරතුරු වාර්තා කරන ලාන්සෙට් (Lancet) සංග්‍රහයේ ඇතුළත් කරුණු විශේෂයෙන් ම ඉස්මතු කර දක්වනු ලැබ ඇත.

ඊට ප්‍රතිචාරය දක්වමින් ලිපියක් සම්පාදනය කරන 'ලාන්සෙට්' (Lancet) කර්තෘ රිචර්ඩ් හෝර්ටන් (Richard Horton) මෙසේ සඳහන් කළේය.

"වෛරසයක් 'වුහාන්' නගරයෙන් ව්‍යාප්ත වීමක් පිළිබඳව 2019 දෙසැම්බර් මාසය මුලදී අප සඟරාව මගින් වාර්තා කරනු ලැබ නැත. චීන විද්‍යාඥයන්ගෙන් ලද පළමු තොරතුරු අප විසින් ප්‍රකාශයට පත්කරන ලද්දේ 2020 ජනවාරි 24 වෙනි දිනයි."

ජනාධිපති ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද පළමුවැනි චෝදනාව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

චීනය විසින් සපයන ලද තොරතුරු අනුව තමන් විධිමත් පියවර ගත් අතර, එම තොරතුරු එක්සත් ජනපදය ද ඇතුළුව ලොව පුරා වෛද්‍ය ප්‍රජාව සහ විද්‍යාත්මක අංශයේ විශේෂඥයන් සමඟ හුවමාරු කරගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය එමගින් පැවසීය.

"හේතුව හඳුනා නොගත් නියුමෝනියාවක්" ගැන චීනය විසින් 2019 දෙසැම්බර් 31 දා තමන් දැනුවත් කළ බව WHO පවසයි.

එසේ ම, එම කාරණය 2020 ජනවාරි මාසයේ 04 වන දින WHO සමාජ මාධ්‍ය ජාලයේ පළ කරනු ලැබ ඇත.

ඉන් අනතුරුව ජනවාරි පස්වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් නිල ප්‍රකාශයක් කර ඇත.

WHO බලධාරීන් එම ප්‍රකාශය මගින් තමන් වෙත වාර්තා වී ඇති ව්‍යාධිය පිළිබඳ වැඩිදුර තොරතුරු ''චීන බලධාරීන්ගෙන් ඉල්ලා'' ඇත.

ජනවාරි 12 වෙනිදා චීනය කොරෝනාවෛරසයේ ජානමය සුවිශේෂී නියාමයට අදාළ තොරතුරු ප්‍රසිද්ධියේ හුවමාරු කර ගැනීමට පියවර ගත්තේය.

අනතුරුව WHO කලාපීය නියෝජිත මණ්ඩලයක් ජනවාරි 20 සහ 21 යන දින දෙකේ 'වුහාන්' නගරයේ සංචාරය කළහ.

එම සංචාරයේ දී ඔවුන් විසින් අනාවරණය කර ගන්නා ලද තොරතුරු ඇතුළත් ප්‍රකාශයක් ජනවාරි 22 දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

වෛරසය ව්‍යාප්තිය පිළිබඳව චීන නායකයන් සමඟ සාකච්ඡා කරනු පිණිස WHO ප්‍රධානී වෛද්‍ය ටේඩ්රොස් (Dr Tedros) ජනවාරි 28 දා බෙයිජිං නගරය බලා ගමන් ගත්තේය.

අනතුරුව, ජනවාරි මස අවසානයේ නිවේදනයක් නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානය, කොරෝනාවෛරසය වේගයෙන් පැතිරයාමත් සමඟ ලෝක මට්ටමින් මහජන සෞඛ්‍යයට එල්ල වී පවතින හදිසි අවදානම තත්වයක් ප්‍රකාශයට පත් කළේය.

වෛරසය ලෝක මට්ටමේ තර්ජනයක් ද? නැද්ද? යන්න තීන්දු කරනු පිණිස එයින් සතියකට පෙර චීනයද ඇතුළත් රටවල් පහළොවක WHO විශේෂඥයන් මුණගැසුන බව වාර්තා කෙරුණත් ඔවුන් අතර එකඟතාවක් ඇති වී නැත.

2. දෙවැනි චෝදනාව

"සිය ස්ථාවරයට පටහැනි ඉතා පැහැදිළි සාක්ෂි තිබියදීත් ලෝක සෞඛ්‍යය සංවිධානය, Covid 19 වෛරසය මිනිසකුගෙන් තවත් මිනිසකුට ආසාදනය නොවන්නේය යන අදහස ජනවාරි මාසය පුරාම පුනරුච්චාරණය කරමින් සිටියේය."

WHO බලධාරීහු ජනවාරි 14 දින මෙවැනි 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කළහ.

"චීන බලධාරීන් විසින් සිදුකරන ලද මූලික ගවේෂණ අනුව වෛරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝවෙන බවක් තහවුරු කෙරන පැහැදිලි සාක්ෂි හමු වී නැත."

එහෙත් එදිනම තවත් ප්‍රකාශයක් කළ අලුතින් පැතිර යන ව්‍යාධීන් පිළිබඳව කටයුතු කරන ලෝක සෞඛ්‍යය සංවිධානයේ විශේෂ ඒකකයේ ප්‍රධානී මරියා වෑන් කර්කොව් (Maria van Kerkhove) WHO පළමු ප්‍රකාශය විසංවාදී තත්වයකට පත් කළාය.

මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දක්වමින් ඇය කියා සිටියේ ''වුහාන් නගරයේ සිදු කරන ලද ගවේෂණ අනුව, වෛරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට ගමන් ගැනීමට ඉඩකඩ පවතින බවට ''සීමිත'' සාක්ෂි නිරීක්ෂණය වූ බවය.

කොරෝනාවෛරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට ගමන් ගැනීමට හැකි බවට පැහැදිලි සාක්ෂි පවතින බව පැහැදිලිව තහවුරු කිරීම සඳහා ලෝක සෞඛ්‍යය සංවිධානයට ජනවාරි 22 දින තෙක් කල් ගත විය.

එම ප්‍රමාදය සිදුවුනේ එකී තොරතුරු ප්‍රකාශයට පත්කරනු ලැබීම ප්‍රමාද කරන ලෙස චීනය ඉල්ලා සිටි නිසා යයි පළ වූ මාධ්‍ය වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බැහැර කරනු ලැබ ඇත.

3. තෙවන චෝදනාව

"ලෝක සෞඛ්‍ය සංවිධානයට චීනයෙන් ස්වාධීන වීම අතින් ගැලවීමක් නැත."

ජනාධිපති ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් (Dr Tedros Adhanom Ghebreyesus) වෙත මෑතදී යොමු කරන ලද ඔහුගේ ලිපියක් මගින්, චීනය සමඟ කිට්ටු සමීප බවකින් කටයුතු කරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරයි.

එසේම 'කොරෝනාවෛරසය පාලනය කරනු ලැබීම අතින් විෂයමූල මට්ටමින් කටයුතු කිරීමට ලෝක සංවිධානය අසමත්ව ඇත' යන්න ජනාධිපති ට්‍රම්ප්ගේ චෝදනාව වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මෙහිදී ඉතා නිශ්චිත කාරණයක් වන්නේ, කොරෝනාවෛරස් වසංගතය මැඩලීම සඳහා චීනය ගත් පියවර සහ "විනිවිද පෙනෙන සුළු මට්ටමින් කටයුතු කිරීම" සඳහා බෙයිජිං පාලනයේ කැපවීම WHO බලධාරීන් විසින් ප්‍රසිද්ධියේ ම අගය කරනු ලැබීමය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම හැසිරීම ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකෝප කිරීමට පසුගිය සතිවල හේතු විය.

කෙසේවුවද, ජනාධිපති ට්‍රම්ප් ඇතුළු ලෝකයේ බොහෝ දේශපාලන නායකයන් මෙන්ම වෙනත් විශේෂඥයන් විසින් වෛරසය සම්බන්ධයෙන් චීනය එහි ආරම්භයේ දී දැක්වූ ප්‍රතිචාරය අගය කරනු ලැබ ඇත.

ජනවාරි මස 23 දින ප්‍රකාශයක් කළ ජනාධිපති ට්‍රම්ප්, වෛරසය පරාජය කිරීම සඳහා චීනය දරන ප්‍රයත්නයේ දී තම උපරිම සහයෝගය නොපැකිලව පිරිනමන බව කියා සිටියේය.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ, වෛද්‍ය මයිකල් රයන් (Dr Michael Ryan) ප්‍රකාශයක් කරමින් "වෛරසයට එරෙහි සටන දිගටම සිදුකරන අතරවාරයේ සිය සංවිධානයට චීනයත් සමඟ තොරතුරු හුවමාරුව විවෘත මට්ටමින් පවත්වා ගැනීමට අවශ්‍ය කරන" බව සඳහන් කර තිබුණි.

මේ අතර තායිවානයේ තත්වය කෙරෙහි බෙයිජිං බලධාරීන් විසින් කරනු ලබන අනවශ්‍ය බලපෑම සම්බන්ධයෙන් ද ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනයට ලක්වෙමින් පවතී.

එම ගැටලුව මතුවුනේ තායිවානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් නොවන හෙයින් එම රට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද සාමාජිකත්වය නොලබන හෙයිනි.

එවැනි තත්වයක් තිබුනත්, තමන් තායිවානය සමඟ සබඳතා පවත්වා ගන්නා අතර තොරතුරු හුවමාරු කර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

තම විද්‍යාඥයන් කණ්ඩායමක් වුහාන් නගරයේ සංචාරය කරමින් සිදු කළ නිරීක්ෂණ අනුව 'වෛරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට ගමන්කිරීමේ ඉඩකඩක් පවතින බවට පසුගිය දෙසැම්බර් මස අවසානයේ අනතුරු ඇඟවීමක් කළ බව තායිවානය පවසයි.

තම අනතුරු ඇඟවීම බරපතල මට්ටමින් සැලකිල්ලට නොගෙන නොතකා හරින ලද බවත් තායිවානය පවසයි.

එහෙත් තායිවානය සමඟ හුවමාරු කරගෙන ඇති මෙතෙක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති තොරතුරු අතර 'වෛරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට ගමන්කිරීමේ ඉඩකඩ පවතින බවට' ඔවුන්ගෙන් අනතුරු ඇඟවීමක් සිදු වූ බවට සාක්ෂි හමු නොවෙයි.

4. සිව්වන චෝදනාව

"ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගන්නා ලද ඉතා ම භයානක තීරණය සංචාරක තහංචි පැනවීමට එරෙහිවීමය."

එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය පෙබරවාරි මස 02 දා චීනය සහ තවත් රටවලට සංචාරක තහනමක් පනවනු ලැබීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම පියවර ප්‍රසිද්ධියේ දෝෂදර්ශනයට ලක් කරන ලද බවට වාර්තා නොමැති අතර එසේ විවේචනය කරනු ලැබීම බෙහෙවින් අසාමාන්‍ය වූ කරුණක් විය හැකිව තිබුණි.

එහෙත් ලෝක සෞඛ්‍යය සංවිධානය ජනවාරි මස 10 වන දා ප්‍රකාශයක් කරමින්,වෛරසය පැතිරීමට ප්‍රතිචාරයක් වශයෙන් ජාත්‍යන්තර සංචාරවලින් වළකින ලෙස දී තිබුණ උපදේශය සමඟ එකඟ නොවීය.

ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් සිය ස්ථාවරය යළි තහවුරු කරන ලද්දේ "සංචාරක තහංචි වෛරසය ආරම්භයේ දී එක්තරා කෙටි කාලයක් සඳහා යුක්ති සහගත කළ හැකි නමුත්, එය විශේෂ පලදායී ක්‍රියාමාර්ගයක් නොවන අතර,අනිත් අතින් එමගින් සමාජ ආර්ථික සංවර්ධනයට හානිකර ප්‍රතිවිපාක අත්කිරීමට ඉඩකඩ ඇති බව'' පෙබරවාරි මාසය අවසානයේ නිකුත් කරන ලද ප්‍රකාශනයක් මගින් පවසමිනි.