අවුරුදු කෝටි පන්දාහක උරුමයක් අහිමිවීමේ අනතුරක්!

The Shoebill, a large bird that lives in wetlands and swamps across Africa

ඡායාරූප මූලාශ්‍රය, Claudia Gray/ZSL

මිනිසා විසින් වනජීවීන් විනාශයේ අද්දරට තල්ලු කරනු ලැබීමේ ප්‍රතිවිපාකයක් වශයෙන් අවුරුදු කෝටි ගණනක් රාශීභූත වූ පරිසර ඉතිහාසයක් මිහිතලයට අහිමි කෙරෙන අනතුරක් එල්ල වී ඇති බව විද්‍යාඥයෝ පවසති.

මිහිමත අන් කිසි ම දෙයකට වඩා වේගයෙන් "දුර්ලභ සහ අසිරිමත්" වනසතුන් නිහඬව ම වඳ වීමේ අනතුර කරා තල්ලු කර දමමින් ඇති බව එම විද්‍යාඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

ජෛව විවිධත්වය නිරූපණය කරනු ලබන අතිවිශේෂ දුර්ලභ ජීවීන් සංඛ්‍යාවකට නිවහන වූ වනබිම් පෙර නොවූ විරූ මට්ටමින් මානව ක්‍රියාකාරකම්හි ගොදුරු බවට පත්ව ඇත.

එම විනාශය සිදු කෙරෙමින් පවතින ප්‍රදේශවලට කැරිබියානු කලාපය, ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක් ඔස්සේ විහිදෙන බටහිර කඳුකර කලාපය සහ ගිනිකොන ආසියාවේ විශාල භූමි භාගයක් ඇතුළත් කරනු ලැබෙයි.

විද්‍යාඥයන්ගේ අදාළ සමීක්ෂණයේ තොරතුරු 'Nature' සඟරාවේ පළ කරනු ලැබ ඇති අතර, ජීවීන්ගේ පරිසරාත්මක සුවිශේෂීභාවය සැලකිල්ලට ගනිමින්, පරිසර සංරක්ෂණයේදී ප්‍රමුඛත්වය ලැබෙන සත්ව වර්ග ගැන විශේෂයෙන් සඳහන් කරනු ලැබ ඇත.

"මෙම ජීවීන් ඉතා ම දුර්ලභ, එසේ ම අරුම පුදුම සත්ව විශේෂ කොටසක්. මිහිමත ඔවුන්ට සමාන වෙනත් දේවල් නැහැ," ලන්ඩන් නගරයේ 'ඉම්පීරියල්' සරසවියේ 'EDGE of Existence' ව්‍යාපෘතියේ රිකී ගුම්බ්ස් (Rikki Gumbs) පවසයි. (EDGE of Existence - ජීවයේ පැවැත්මෙහි අවසානය)

ඡායාරූප මූලාශ්‍රය, ZSL

වැඩිදුරටත් අදහස් දක්වන රිකී මෙසේ සඳහන් කරයි.

''ලෝක මට්ටමින් ජෛව විවිධත්වය රැකගන්න අපි දැඩි ක්‍රියාමාර්ග නොගත්තොත්, සොබා දහම අතින් තක්සේරු කළ නොහැකි මට්ටමේ අහිමි වීමකට ලෝකය මුහුණ දේවි.''

පර්යේෂකයෝ පරිණාමාත්මක ඉතිහාසයේ දැනට තර්ජනයකට ගොදුරුව ඇති ජීවීන් වර්ග කොපමණ දැයි ගණනය කරති.

එම හැදෑරීමේ ක්‍රමය ජීව විද්‍යාවේ පෙන්නුම් කරන්නේ 'branches on the tree of life' නම් රූපකය මගිනි. නවීන ජීව විද්‍යාවේ එම රූපකය මුලින් ම පාවිච්චි කරන ලද්දේ චාර්ල්ස් ඩාර්වින් විසිනි. 'branches on the tree of life' රූපකය මගින්, විවිධ ජෛව කණ්ඩායම් අතර සහසම්බන්ධය පෙන්නුම් කෙරෙයි. එය උපයෝගී කර ගනිමින් සිදුකළ පර්යේෂණවලට අනුව ජීවීන් වර්ග 25,000ක් පමණ දැන් සිටින්නේ වඳ වී යාමේ අනතුරකය.

නාගරික සංවර්ධනය, වන විනාශය සහ මහාමාර්ග ඉදිකරනු ලැබීම වැනි මිනිසුන්ගේ ක්‍රියා නිසා අඩු තරමින් අවුරුදු කෝටි පන්දාහක් තරම් සංයුක්ත පරිසර උරුමයක් විනාශ කෙරෙමින් පවතින බව විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගනු ලැබ ඇත.

''ජීවීන් සමාන්තරව විකාශය වන හෙයින් වඳ වී යාමට හැකි සංඛ්‍යාව අතිවිශාල විය හැකි බවත්, උරග වර්ග පමණක් ගනු ලැබුණත් ඔවුන් අවුරුදු කෝටි 1300 ක් පමණ ඉතිහාසයක් සහිත බවත් රිකී ගුම්බ්ස් පෙන්වා දෙයි. එය විශ්වයේ වයස තරම් දීර්ඝ කාලයකි.

ඡායාරූප මූලාශ්‍රය, Sandeep Das/ZSL

කාලයේ ගමන තුළ සිය ශාරීරික හැඩයේ වෙනසක් නොවූ පෞරාණික පරපුරක් සහිත, ආහාර සඳහා කෘමි විශේෂ අනුභව කරනු ලබන 'පැන්ගෝලින්' (pangolin) සහ ඇමෙරිකානු වල් ඌරෙකුගේ පෙනුම සහිත 'ටේපර්' (tapir) වැනි ජීවීන් වර්ග පසුවන්නේ වඳ වී යාමේ අන්තරායක් තුළය. පාද රහිත කටුස්සන්ගේ පටන් අන්ධ සර්පයන් දක්වා ජීවීන් වැනි දුර්ලභ සත්ව වර්ග පෙළක් එම අනතුරේ සිටිති.

වඳ වී යාමේ අනතුරෙහි සිටින බොහෝ සත්ව වර්ග ඔවුන් ජීවත් වන වනවාසයෙහි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන්නෝ ද වෙති. උදාහරණයක් වශයෙන්, 'ඇමේසන්' වනගැබ සිය නිවහන කර ගත් 'ටේපර්' (tapir) ජීවීහු සිය වසුරු හෙළා බීජ වැපිරීමෙන් වැහි වනාන්තරයේ පුනර්ජනනීය ක්‍රියාවලිය සඳහා දායක වෙති.

එසේ ම, කුහුඹුවන් සහ කෘමීන් ආහාරයට ගැනීමේ විශේෂඥයන් වන 'පැන්ගෝලින්'(pangolin) ජීවීන් 'ආහාර චක්‍රය ('food web) සමතුලිත කිරීම අතින් අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරති.

ලන්ඩන් 'ඉම්පීරියල්' සරසවියේ 'EDGE of Existence' ව්‍යාපෘතියේ සම පර්යේෂක ආචාර්ය ජේම්ස් රොසින්ඩෙල් (Dr James Rosindell) අදහස් පළ කරමින්, පරිසර සංරක්ෂණය සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනු ලැබීමේ උවමනාව තම පර්යේෂණයේදී ලද තොරතුරු මගින් අවධාරණය කෙරෙන බව කියා සිටියි.

දුර්ලභ ගණයේ ජීවීන් සඳහා ඉතිරිව ඇති වනගැබත් 'මිනිසුන්ගේ නොනවතින දැඩි බලපෑම්වලට' ගොදුරු වෙමින් ඇති බවත් ආචාර්ය ජේම්ස් රොසින්ඩෙල් පෙන්වා දෙයි.

2010 පරිසර සංරක්ෂණය අතින් ඉතා තීරණාත්මක වසරකි. ස්වාභාවික ලෝකය රැකගැනීම සඳහා නව ඉලක්ක පිළිබඳව මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ගිවිස ගැනීමට නියමිතය. ජෛව විවිධත්වය තේමාව කර ගත් එක්සත් ජාතීන්ගේ සමුළුව කල් තබනු ලැබ ඇත.

කොරෝනා වසංගතයත් සමග ඇති වූ අවුරුදු ගණනාවක් විය හැකි හානිකර පසුබෑමක් ඉදිරියේ තිබියදී, පරිසර සංරක්ෂණ කාර්යභාරය සහ ඒ සඳහා අරමුදල් සම්පාදනය ව්‍යාකූල තත්ත්වයකට ඇද වැටී ඇතැයි පරිසර සංරක්ෂණය සඳහා ක්‍රියා කරන කණ්ඩායම් පවසති.

දශ ලක්ෂයක් තරම් වනජීවීන් සහ පැළෑටි මේ වන විට වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇතැයි පසුගිය වසරේ පැවති ජාත්‍යන්තර විද්‍යාඥයන්ගේ සාකච්ඡාවකදී කියැවිණි.

බීබීසී පරිසර වාර්තාකාරිනී හෙලන් බ්‍රිජ්ගේ ලිපියක් ඇසුරිනි.

කියවන්න: